"පුතා දැන් චීනෙ ඉගෙන ගන්නවා, මං ඩිරෙක්ටර් කෙනෙක්, රන්ජන් මට ව්‍යාඝ්‍රා කියමින් අපහාස කළා.." - ශෂී වීරවංශ නඩු දමයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව මාධ්‍ය සාකච්ජාවක් පවත්වා අසත්‍ය හා අපහාසාත්මක කරුණු ප්‍රසිද්ධ කළ බවට රුපියල් මිලියන දෙසිය පනහක වන්දියක් ඉල්ලා රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායකට එරෙහිව
ඇය නුගේගොඩ දිසා විනිසුරු නිල්මිණි ෆර්ඩිනැන්ඩස් මහත්මිය ඉදිරියේ නඩු පවරා ඇත.

නීතීඥ මනෝහර ද සිල්වා මහතාගේ උපදෙස්  මත පවරා ඇති නඩුවේ මෙසේ සඳහන් කර තිබේ.

පැමිණිලිකාරිය හෝකන්දර පදිංචි රණසිංහ රන්දුණු මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති (ශෂි වීරවංශ) මහත්මියය.

වගඋත්තරකරු මාදිවෙල කෝට්ටේ මන්ත්‍රී නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි රන්ජන් රාමනායක මහතාය.
පැමිණිලිකාරිය තම වන්දිය ඉල්ලීම සඳහා කීර්තිනාමයේ වටිනාකම අධිකරණයේ හඟවනු පිණිස විස්තරයක් කර තිබූ අතර එහි සඳහන් ආකාරයට ඇය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි රන්දුනු නමින් හඳුන්වන ආයතනයක අධ්‍යක්ෂවරියකි.  එසේම 2009 වසරේ සිට ත්‍රිමාන චිත්‍ර ශිල්පිනියක ලෙසත්, ටෙලිනාට්‍යවල ළමා ගීත රචිකාවක ලෙසත් දායකත්වය දරන බව සටහන් කර තිබුණි.. 

පැමිණිලිකාරිය දරුවන් තිදෙනකුගේ මාතාවක් බවත් වැඩිමල් පුතා කොළඹ ප්‍රසිද්ධ විදුහලක ඉගනුම ලැබූ බවත් චීනයේ විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබන බවත් එහි දක්වා ඇත.
ඉකුත් 2016 වසරේ 26 වැනි දින අසල්වාසී තරුණයකු තම පුතාගේ මිතුරන් සමග නිවසේ රාත්‍රිය ගත කර නිදා සිටියදී හෘදයාබාධයකින් මිය යාම සම්බන්ධයෙන් ඉකුත් 2017 වසරේ ජනවාරි මස 11 වැනි දින හෝ  ඊට ආසන්න දිනයක මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇති රන්ජන් රාමනායක පැමිණිලිකාරිය සම්බන්ධයෙන් අපහාසාත්මක අසත්‍ය ප්‍රකාශයක් කර ඇති බව ඇය දන්වා සිටී.

මෙහිදී රන්ජන් කියූ වචන උපුටා දක්වා තිබුනේ,
'මේ ධනවත් කාන්තාවට තරුණ ජවයක් තිබුණා. තරුණයෙක් ආශ්‍රය කිරීමේ ආශාවක් තිබුණා. මුදල් අවශ්‍ය තරම් වියදම් කළා. යාන වාහන අරන් දුන්නා. අධි මාත්‍රා ඖෂධ භාවිත කළා. තරුණයා සාතනය කළා. මේ සාතන ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නළිගොඩ, වසීම් තාජුඩින් වගේ ඝාතන බවට අපි දකිනවා.' ලෙසිනි.
මෙය අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශයක් බවත් එමගින් තමන්ට සිදුවූ අපහාසයට රුපියල් මිලියන දෙසිය පනහක් හා ඊට සරිලන පොලිය ද, අධිකරණයට සෑහීමකට පත් වන වෙනත් දිමනා ද ලබා දෙන ලෙස ශෂී වීරවංශ රන්ජන්ගෙන් මෙම නඩු පැවරීම තුළින් ඉල්ලා ඇත.