"කරීනා මගේ අම්මා කියලා මම කිසිම වෙලාවක පිළිගන්නේ නැහැ. ඒක මට කරන්න බැහැ" - සයිෆ්ගේ දියණිය කියයි

කාලෙන් කාලෙට අලූත් තරු පායන බොලිවුඞ්වල මේ දවස්වල සුපර් හිට් එක වෙලා තියෙන්නේ ඔයාල ගොඩක් ආදරය කරන තරු දෙපළකගේ තරු දියණියක්. නම කිව් සැණින් මේ වෙනකොටත් ඔයාල ගේ හිත් වල මැවෙන තරමටම පුංචි කාලයක් ඇතුළත ඇය ගොඩක් ජනප්‍රිය වෙලා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. සාරා අලී ඛාන්. ජනප්‍රිය නළු සායිෆ් අලී ඛාන්ගේ සහ අම්රීතා සිං ගේ වැඩිමහල් දියණිය.
එහෙමත් නැතිනම් ශර්මිලා තාගෝර් නම් සුරූපී නිළියගේ මිනිබිරිය. සාරා ගොඩක් වාසනාවන්ත චරිතයක්. එයාගේ සීයා තමයි මන්සූර් අලී ඛාන් පතාවුඩි. ඉන්දියානු රජ පෙළපතකටත් ඔවුන් නෑකම් කියනවා. සාරා ඉපදුණේ 1995 අගෝස්තු මාසයේ 12 වෙනිදා. ඒ කියන්නේ දැන් එයාගේ වයස 23ක්. කොලොම්බියානු විශ්වවිද්‍යාලයෙන් නීතිය සහ දේශපාලනය සම්බන්ධ උපාධියක් ලබාගත්තට පස්සේ ඇය බොලිවුඞ් වලට එන්න දෙපාරක් හිතන්නේ නැහැ.

සාරාට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. ලොකු මල්ලි තමයි ඊබ්‍රහීම් අලී ඛාන්. එයත් ළමා නළුවෙක් විදිහට 2008 වසරේ තෂාන් චිත්‍රපටයෙන් බොලිවුඩයට පිවිසුණා. සාරාගේ දෙවැනි මල්ලි තමයි තායිමූර් අලී ඛාන්. හැබැයි එයා අමිරීතාගේ දරුවෙක් නෙවෙයි. සායිෆ්ගේ දෙවන කසාද බිරිඳ වන කරීනා කපූර් ගේ දරුවෙක්. සාරා කියන්නේ ගොඩක් බුද්ධිමත් කෙල්ලෙක්. යමක් ගැන තීරණයක් ගන්නකොට එයා දෙතුන් පාරක්ම හිතල බලනවා. රංගනය කියන්නේ සාරාට ආගන්තුක දෙයක් නෙවෙයි. මොකද එයාට ඒක ජාන වලින්ම ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පුංචි කාලේ එයා රූපවාහිනී වෙළෙඳ දැන්වීම් වලත් ජනප්‍රිය චරිතයක් කියලයි බොලිවුඞ් වලින් ආරංචි වෙන්නේ.

ජනප්‍රිය බොලිවුඞ් නිළි ඓශ්වර්යා රායි තමයි සාරාගෙ මෝටිවේෂන් එක. කවදාහරි දවසක ඓශ්වර්යා වගේ ජනප්‍රිය දක්‍ෂ නිළියක් වෙනව කියලා පුංචි දවස්වල එයා සායිෆ් එක්කත් කියල තියෙනවා. ඒ නිසාමද කොහේද පාසල් කාලෙ පවා තාත්තත් එක්ක ලෝකේ වටේ යන ගමන් ඓශ්වර්යා සහභාගී වූ සෑම ප්‍රසංගයක්ම නරඹලා තියෙන්නෙත්. මේ හැමදේම අතරේ අවාසනාවකට වගේ 2004 වසරේ සාරාගේ අම්මයි තාත්තයි දික්කසාද වෙනවා. එතකොට සාරාට වයස අවුරුදු 09යි. ඒ දවස්වල තමයි සාරා අධ්‍යාපන කටයුතුවලට විදෙස්ගතවෙන්නේ. සාරා සහ සායිෆ් අතර තියෙන්නේ තාත්තයි දුවයි අතර තියෙන සම්බන්ධයට වඩා යාළුවෝ දෙන්නෙක් අතර තියෙන සම්බන්ධයක්. ඒ නිසාම සාරාට තාත්තාගේ වෙන්වීම ඒ තරම් ලොකුවට දැනුණේ නැහැ. තමන් ගේ කුඩම්මා වන කරීනා ගැන වුණත් සාරා කිසිම වෙලාවක තරහින් කතා කරන්නේ නැහැ. ඒ නිසාම තමයි මාධ්‍ය සාකච්ජා වලදි එයා මෙහෙම කතාවක් කියලා තිබුණේ.

 ”අතීතය දිහා බලලා මම කිසිම වෙලාවක පසුතැවෙන්නේ නැහැ. අම්මා මගේ ජීවිතේ සෙවනැල්ල වගේ පිටුපසින් සිටිනවා. තාත්ත වුණත් සායිෆ් කියන්නේ මගේ අතීතය. වර්තමානයේ අපි හොද යාළුවො වගෙයි ඉන්නේ. කරීනා මගේ අම්මා කියලා මම කිසිම වෙලාවක පිළිගන්නේ නැහැ. ඒක මට කරන්න බැහැ. නමුත් මම ඇගේ දක්‍ෂතාවලට ගරු කරනවා. එයාගේ තියෙන ඒ දක්‍ෂකම නිළියක් විදිහට මගේ ඇතුළට ගන්නත් මම සූදානම්”

බොලිවුඞ් වලට එන්න කලින් සාරා ගොඩක් මහත කෙල්ලෙක්. කවුරුත් හිතුවේ නැහැ එයා කවමදාකවත් බොලිවුඞ් වලට ඒවි කියලා. නමුත් සාරා ඒ කිසිම දේකට සැලූණේ නැහැ. එයා අභියෝග වලට අභියෝග කළා. අවුරුදු හතරක උපාධිය වසර තුනකින් ඉවර කරපු සාරා වසර එකහමාරක්ම කළේ තමන්ගේ ශරීරය කෙට්ටු කරගන්න මහන්සි වුණු එක. මේ වැඬේ ලේසි වුණේ නැහැ කියලා තමයි සාරා මාධ්‍ය වලට කියල තිබුණේ.

 ”පුංචි කාලේ ඉදල මම හොදට කාල බීලා හිටපු චරිතයක්. ඒ නිසා කිසිම වෙලාවක මම මගේ ශරීරයේ හැඩය ගැන හිතුවේ නැහැ. මටවත් හිතාගන්න බැරි විදිහට මම මහත් වුණා. නමුත් වසර එක හමාරක් වගේ කාලයකදී උත්සාහය නිසාම මට පුළුවන් වුණා මගේ ඇඟ දැන් තියෙන තත්වයට පත්කරගන්න. කලින් ෆොටෝ එක්ක දැන් රූපය සංසන්ධනය කරනකොට මටම හිතාගන්න බැහැ මේ ඉන්නේ මම ද කියලා. ඒක පුදුමයක්”

 2018 කියන්නේ එයාගෙ බොලිවුඞ් ආගමනය සිද්ධවුණු වසර. කේදර්නාත් කියන අපූරු ආදර කතාවක් රැගත් චිත්‍රපටයකින් තමයි මේ පුංචි කෙල්ල සිනමාවට පය තියන්නේ. අභිෂේක් කපූර්ගේ අධ්‍යක්‍ෂණයක් වුණු කේදර්නාත් චිත්‍රපටයේ සාරාට රඟපාන්න ලැබුණේ බොලිවුඩයේ තවත් නැගී එන ජනප්‍රිය තරුවක් වන සුෂාන්ත් සිං රාඡ්පූත් එක්ක. හිංදු කෙල්ලෙක් සහ මුස්ලිම් කොල්ලෙක් අතර ගොඩනැගෙන සංවේදී ආදර කතාවක් තමයි චිත්‍රපටයට පාදක වෙන්නේ. මේ වෙනුවෙන් සාරා ගොඩක් මහන්සි වුණා. හින්දි භාෂාව හොඳින් උච්චාරණය කරන්න ඇයට උදව් කළේ සුෂාන්ත්. ඒ නිසා මේ දවස්වල ඒ දෙන්න හොඳම හොඳ යාළුවො. සාරා ගේ දක්‍ෂකම ගැන ජනප්‍රිය පුවත්පත් ලේඛිකාවක වන මීනා අයියර් කියන්නෙ මෙහෙම කතාවක්.

 ”ඇත්තමයි චිත්‍රපටය නැරඹුවාට පස්සෙ මට හිතාගන්න බැරි වුණා. සාරා කොයි තරම් දක්‍ෂ දැරියක් ද? අනිවාර්යෙන්ම ඇය ඇගේ මිත්තණිය හා මව වගේම ජනප්‍රිය චරිතයක් වේවි. මෙය ඇගේ පළමු රංගනය ලෙස පෙනෙන්නේ නැහැ. ඒ තරමටම ඇය පරිනතයි. බොලිවුඩයේ අනාගතය ගැන අපිට බිය විය යුතු නැහැ”

කේදර්නාත් චිත්‍රපටයේ සාරා රඟපාන්නේ මන්දකානී එහෙමත් නැත්නම් මුක්කු කියන චරිතය. ඉන්දියානු රුපියල් කෝටි 35ක වියදමක් දරා නිපැයූ කේදර්නාත් මාසයක් යන්නත් කළින් ඉන්දියානු රුපියල් කෝටි 72.4 ක් උපයන්න සමත්වෙලා තිබුණා. ඒ කියන්නේ සාරා දැනටමත් බොක්ස් ඔෆිස් මැෂිමක් වෙලා කියන එක තමයි. කේදර්නාත් චිත්‍රපටය තිරගතවීමත් සමඟම විචාරකයින් සාරාගේ රංගනය එයාගේ අම්මා වන අම්රීතා ගේ රංගනය එක්ක සංසන්දනය කරන්නත් අමතක කළේ නැහැ. හැමෝම කියන්නේ එයා අම්මටත් වඩා දක්‍ෂ තරුණියක් කියල තමයි.

සාරාගේ දෙවන චිත්‍රපටය තිරගත වෙන්නෙ පළවෙනි චිත්‍රපටය තිරගත වෙලා මාසයක්වත් යන්න කලින්. ඒ තමයි ගේ නිෂ්පාදනයක් ලෙසින් එළි දකින රෝහිත් ෂෙට්ටි අධ්‍යක්‍ෂණය කරන සිම්බා කියන ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටය. මේ චිත්‍රපටයේ සාරා එක්ක ප්‍රධාන චරිත රඟපාන්නේ බොලිවුඩයේ සිහින කුමරෙකු වන රන්වීර් සිං. 2015 වසරේ තිරගත වූ තෙළිඟු චිත්‍රපටයක නැවත නිෂ්පාදනයක් ලෙස තමයි මේ චිත්‍රපටය එළි දකින්නේ. සාරා මෙහි රඟපාන්නේ ප්‍රියා භක්ෂී කියන තරුණියකගේ චරිතයක්. ඒ චරිතයටත් සාරා ගොඩක් ආදරය කරනවා කියල තමයි මාධ්‍යයට කියල තිබුණේ. සිම්බා චිත්‍රපටයේ එන ජනප්‍රිය ගීතයක් මේ දවස්වල යූ ටියුබ් මාධ්‍යයේ කෝටි ප්‍රකෝටි ගණනක් නරඹලත් තියෙනවා. සාරා කියන්නේ නිළියක් විදිහට දිගටම බොලිවුඞ්වල වැඩ කරන්න එයා කැමතියි කියල තමයි.

 අමිල නුවන් මධුසංඛ
gossip lanka