සාමාන්‍ය පවුලක ඉපිද ක්‍රිකට් නිසා කෝටිපතියෙකු වූ සචින් තෙන්ඩුල්කාර්ගේ කතාව - (Photos)

සචින් මුල්වරට අන්තර්ජාතික තරග අත්දැකීම ලැබුවේ පකිස්තානය වෙනුවෙන් පන්දු රැකීමෙනි. ඔහුගේ මුල්ම අන්තර්ජාතික තරගයට වසර දෙකකට පෙර එනම් 1987 වසරේ දී මුම්බායිහි දී පැවති පාකිස්තානය සහ ඉන්දියාව අතර පැවති ප්‍රදර්ශනාත්මක ඕවර 40 තරගයක් අතරමඟදී පාකිස්තාන ක්‍රීඩකයින් වූ අබ්දුල් කදීර් සහ ජාවෙඩ් මියන්ඩැඩ් තරගයට ක්‍රීඩා කිරීම අත්හැර ඔවුන්ගේ හෝටලයට ගියහ. ආදේශක ක්‍රීඩකයින් නොමැති නිසා පකිස්තාන නායක ඉම්රාන් ඛාන් ඉන්දියානු කණ්ඩායමෙන් ඉල්ලීමක් කළේ පන්දු රකින්නන් දෙදෙනෙක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව එවකට 13 හැවිරිදි වියේ වූ සචින් තෙන්ඩුල්කාර් තවත් ක්‍රීඩකයෙක් සමඟ ආදේශක පන්දු රකින්නෙක් ලෙස පකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය. එදා ඇරැඹි ක්‍රිකට් ගමන නැවතුණේ ඔහුගේ පරපුරෙහි විශිෂ්ටතම පිතිකරු ලෙසින් පුළුල් පිළිගැනීමකට ලක්වය. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් ඵලදායි ලකුණු රැස් කරන්නා ලෙස නම් ලද සචින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කෙරුණු ටෙස්ට් තරග සහ එක්දින ජාත්‍යන්තර තරගවලදී, ජාත්‍යන්තර ශතක 100ක් රැස්කළ පළමු හා එකම ක්‍රිකට් ක්‍රීඩකයා වීමට සමත් විය. එනම් ටෙස්ට් ශතක 51ක් සහ එක් දින ශතක 49ක් ලෙසටය. ජාත්‍යන්තර තරගවලදී ලකුණු 30,000 සීමාව පසුකළ එකම ක්‍රීඩකයාද ඔහුය.

1989 වසරෙහිදී ඔහුගේ ටෙස්ට් මංගලාවතරණයෙන් පසුව, ටෙන්ඩුල්කාර් විසින් ඔහුගේ පළමු ශතකය සාක්ෂාත් කර ගත්තේ, 1990 වසරෙහිදී එංගලන්තයට එරෙහිව ඕල්ඩ් ට්‍රැෆර්ඩ්, මැන්චෙස්ටර්හිදීය. එදා ඔහු විසින් නොදැවී ලකුණු 119ක් රැස් කර ගන්නා ලදී. ටෙස්ට් තරගවලදී, ලෝකයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන සියලු ජාතීන්ටම එරෙහිව ටෙන්ඩුල්කාර් විසින් ශතක රැස් කරගෙන ඇති අතර, ඔවුන් සියල්ලන්ටම එරෙහිව ලකුණු 150 බැගින් රැස් කරගත් දෙවන පිතිකරැවා විය.

සිම්බාබ්වේ හැරෙන්නට, අනෙකුත් සෑම ටෙස්ට් ක්‍රීඩාකරන ජාතියකටම එරෙහිව අවම වශයෙන් එක් ක්‍රීඩා පිටියකදී හෝ ඔහු ශතකයක් රැස්කර ඇත. ඕස්ට්‍රේලියාවට එරෙහිව බැංගලෝරයේදී සිය 20 වැන්න රැස් කරත්ම, 2010 ඔක්තෝබරයේදී, ටෙන්ඩුල්කාර් විසින් බ්‍රයන් ලාරාගේ ලකුණු 150 ක් හෝ ඊට වැඩි රැස් කරගත් අවස්ථා 19 වාර්තාව පසුකර ගියේය. 2004 වසරෙහිදී, ඩැකා නගරයෙහි බංගබන්දු ජාතික ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව නොදැවී ලකුණු 248ක් රැස්කරත්ම, ඔහු තම වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය.

ටෙන්ඩුල්කාර් විසින් ද්විත්ව ශතක හයක් රැස් කරගෙන ඇති අතර, 15 වතාවක් නොදැවී සිට ඇත. විවිධ ක්‍රිකට් ක්‍රීඩා පිටි 30ක් තුළ, ඔහුගේ ශතක වාර්තා වී ඇති අතර, එයින් 27ක් ඉන්දියාවෙන් පිටත ස්ථානවලදී රැස් කර ඇත. 2012 මාර්තු මාසයේදී, බංග්ලාදේශයට එරෙහිව ලකුණු 114ක් රැස්කළ විට ඔහු තමන් ගේ සියවැනි ශතකය සනිටුහන් කළේය.

ටෙන්ඩුල්කාර් ඔහුගේ එක්දින තරග සහභාගීත්වය 1989දී ඇරැඹුවත් ඔහුගේ පළමු ශතකය රැස් කළේ – තරග 79ක් ක්‍රීඩා කිරීමෙන් පසුව – වසර 1994දීය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය. සිංගර් ලෝක තරගාවලියේ තුන්වන තරගයේදී, ඕස්ට්‍රේලියාවට එරෙහිව ඔහු ලකුණු 110ක් රැස් කරගත් අවස්ථාවේදීය.

මේ වනවිට ඔහු විසින් ටෙස්ට් ශතක හතක් රැස් කරගෙන තිබුණි. එතැන් සිට ස්ථීර එක්දින ජාත්‍යන්තර තත්ත්වය සහිත සියලුම ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතීන්ට එරෙහිව, ඔහු විසින් ශතක රැස් කරගෙන ඇත. එක්දින ජාත්‍යන්තර තරගවලදී ද්විත්ව ශතකයක් රැස්කළ පළමු ක්‍රීඩකයාද ඔහුය. ඉන්දියාව තුළදී ඔහු විසින් එක් දින ජාත්‍යන්තර ශතක 19ක් රැස්කර ඇති අතර, පිටරට සහ ස්වාධීන ස්ථානයන්හිදී ශතක 30ක් රැස් කරගෙන ඇත. මෙම ශතකයන්ගෙන් හතක් රැස් කරන ලද්දේ සාජා ක්‍රිකට් සංගම් ක්‍රිඩාංගණයේදීය. ලකුණු 90 සහ 99 අතරදී ඔහු 18 වතාවක් දැවීගොස් ඇති අතර ලකුණු 80 සහ 89 අතරදී 17 වතාවක් දැවී ගොස් ඇත.

1973 වසරේ අප්‍රේල් 24 වෙනිදා බොම්බායේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක උපත ලද සචින් රමේශ් තෙන්ඩුල්කාර් මරාති නවකතාකරුවෙකු ලෙස ප්‍රකට රමේෂ් තෙන්ඩුල්කාර්ගේ පවුලේ බඩපිස්සාය. ප්‍රකට සංගීතඥ සචින්දේව් බර්මන්ට අනුව ඔහුට සචීන් නම ලබාදී තිබේ. සචින් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන්නේ වයස අවුරුදු 11දීය. එහෙයින්ම ඔහු පාසල් ක්‍රිකට් තරගවලදීත් වාර්තා රැසක් පිහිටුවා තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව තුළ අපුරු නමක් දිනූ හාදයෙකි.

පසුගිය වසරේ 2017 මැයි මාසෙ 26 වෙනිදා සචින් නම් වූ මේ සුපිරි පිතිකරුවා ගැන නිපදවුනු වාර්තාමය චිත්‍රපටියක්ද තිරගත වූ අතර දමිළ සහ තෙළිඟු භාෂාවලින්ද එය හඬ කවා ඇත. එසේම සචින් පසුගියදා තම කුළුඳුල් ගීතයද එළිදක්වා තිබේ. එම ගීතය සංගීතවත් කොට තිබෙන්නේ ඒ.ආර්. රහුමාන් විසිනුයි. මෙවන් අපූරු පිළිගැනීමක් සහිත සචින් ඉන්දියාවේ සුපිරි ජිවිතයක් ගත කරන්නට අවශ්‍ය පසුබිම ක්‍රිකට් ක්‍රීඩාව මගින්ම තනාගෙන තිබේ.

ඇත්තටම ක්‍රිකට් ක්‍රිඩාවෙන් සමුගන්නා විට සචින් ඉන්දියාවේ පොහොසත්ම ක්‍රිකට් තරුව ලෙස නම් දරා සිටියේය. 2013 වනවිට ඒ කාලයේ වත්කම ඩොලර් මිලියන 160ක් විය. මූලික වැටුප මිලියන 4කි. මිලියන 18ක් විවිධ අනුග්‍රාහකත්වයන් මගින් ලැබෙන ආදායම් අතර විය. සචින්ගේ බිරිය අංජලි වෛද්‍යවරියකි දෙන්නාම සරුසාර බව පෙන්වන මාලිගා බඳු බංගලාවන්ට කැමැත්ත දක්වති.

ඔහු වරෙක සිය බිරිය අංජලී සමඟ මුම්බායි සුපිරි නිවෙසක් මිලයට ගත්තේය. බන්ද්‍රා කුර්ලා සංකීර්ණයට අයත් මේ නිවාසය වර්ග අඩි 1600ක් පුරා පැතිර ඇති වාහන නැවතුම් ස්ථාන 2ක් සහිත ඉන්දීය රුපියල් කෝටි 7.15ක් මිල වුවකි. බටහිර බන්ද්‍රා ප්‍රදේශයේ තවත් බංගලාවක් ඉන්දියානු රුපියල් කෝටි 39කට මිලදී ගත් සචින් එය පෙරැළිකාර ලෙස වෙනසකට ලක් කළේය. ඔහුගේ බිරිය අංජලිහට අයත් තවත් විශාල බංගලාවක් ගැන තොරතුරු වාර්තාවෙයි. මුම්බායිවල මලබාර්හිල්වල පිහිටි මේතා හවුස් නමැති එම නිවස ඉන්දියානු ව්‍යපාරිකයෙක් පසුව ඉන්දිය මුදලින් කෝටි 145කට මිලට ගත්තේය. ‘Blue Waters Villa’ නම් වූ ඔහුගේ කේරලයේ ජලතලයක් ආශ්‍රිත බංගලාව කෝටි 78ක් වටිනා වත්කමකි.

සචීන් වඩාත් ප්‍රසිද්ධ ඔහුගේ කාර් එකතුව නිසාය. මුල්කාලයේ වටිනා කාර් අතළොස්සකට සීමා වූ මේ එකතුව පසුව ඔහුගේ සුවිසල් ගරාජය පුරා විසිරුණු සුවිශේෂී &සචින් කාර් එකතුව* ලෙස ප්‍රසිද්ධව තිබේ. ඔහු සතුව වැඩිපුරම ඇත්තේ Nissan GT-R සහ BMW රථය. කලින් ඔහු වඩාත් ප්‍රිය කළ Ferrari Modena රථයක්ද තිබුණි. Turbo V8 එන්ජිමක් සහිත ඔහුට ඕනෑ ආකාරයටම නිමකර ඇති BMW 750Li M Sport ක්‍රිඩා රථයක් අලුතෙන්ම එකතුවට එක්ව තිබේ. සවයංක්‍රීය ගියර් වේග8කින් යුතු පැයට කිලෝමීටර 250ක උපරිම වේගයක් කරා ළඟාවිය හැකි මෙය ඔහුගේ ප්‍රියතම රථයකි. ඉන්දියානු මුදලින් කෝටි 2.29ක් වන BMW i8 මාදිලියේ hybrid sports car රථයක්ද ඔහු සතුය.

ලෝකයේ වේගවත්ම සහ බලවත්ම SUV වාහනයක් වන BMW X5 M50d මාදිලියේ සචින් සතු රථය වෙන කිසිවෙකුටවත් ලබාගත නොහැකි ඔහු වෙනුවෙන්ම බී.එම්.ඩබ්ලිව්. ආයතනය මගින් නිපදවා ලබාදුන් තෑග්ගකි. ඔහු එම ආයතනයේ ඉන්දියානු සන්නාම තානාපති ලෙස ක්‍රියාකිරීම වෙනුවෙනි. ඉන්දියාවේ වෙනත් තැනක දක්නට නොලැබෙන සචින් සතු රිදී පැහැති BMW M6 Gran Coupe මාදිලියේ කාර් රථය ඉන්දිය රුපියල් කෝටි 1.9 වටිනා රථයකි. ඔහුගේ BMW M5 “30 Jahre M5” Limited Edition රථය එම රථ නිපදවා වසර 30ක් පිරීම සමරා නිපදවු සීමිත රථ 300 අතරින් එකකි. සචින් වැඩියෙන්ම ප්‍රියකරන ඔහු මුම්බායි පුරා තනිවම පදවාගන යන අයුරැ බොහෝ දෙනා දැක ඇති රතුපැහැ NISSAN GT-R රථයට ඔහු කෙතරම් වහ වැටී සිටිත්ද යත් එය ලබා ගැනීම සඳහා ඔහුට අයත් Ferrari 360 Modena රිය අහිමි කර ගත්තේය.

එම FERRARI 360 MODENA රථයටද යස ඉතිහාසයක් තිබේ. එම රථය Fiat සමාගම මගින් සචින් වෙත ලබාදුන් සමරු තෑග්ගකි. “Ferrari Ki Sawaari” බොලිවුඩ් ප්‍රචාරක දැන්වීමට පෙනී සිටීම වෙනුවෙන් සචින් වෙත සමාගම මෙය ලබා දුන්නේ ලෝ ප්‍රකට ෆෝමියුලා 1 තරඟ ජයග්‍රාහකයකු වන මයිකල් ෂූමාකර් අතිනි. MARUTI 800 රථය සචින් මුලින්ම මිලදිගත් රියයි. එය 1989දී ටෙස්ට් කණ්ඩායමට තේරිපත්වූ විට ඔහු මිලදී ගත් මුල්ම රියයි. BMW’ සමාගමේ ‘M’මාදිලියේ රථ සඳහා වහවැටෙන්නට පෙර සචින් පිස්සු වැටි උන්නේ MERCEDES-BENZ C36 AMG කාණ්ඩයේ රථ සඳහාය. 1999 කාණ්ඩයේ MERCEDES-BENZ SL600 සචින්ගේ ප්‍රියතම බෙන්ස් කාරයයි. SUV BMW X5කාරයට පිස්සු වැටෙන්නට පෙර අවුඩි සමාගම තෑගි දුන් Audi Q7 4.2 TDI Quattro රිය කලින් ඔහුගේ ප්‍රියතම රථයකි.

සුගත් පී. කුලතුංග ආරච්චි