"මගේ තාත්තා මට ඩ‍්‍රම් සෙට් එකක් ගෙනත් දුන්න වෙලාවෙ මට දැනුණ සතුටම මමත් ලහිරුගෙ ඇස් දෙකෙන් දැක්කා" සූරියවැව ලහිරුගේ හීනය සැබෑ කළ රොෂාන් ප්‍රනාන්දු කියන සංවේදී කතාව

කාලෙන් කාලෙට බුකියේ විවිධ කතා හුවමාරු වෙනවා. පසු ගිය දින කිහිපය තුලදීනම් වැඩිපුරම කතාබහට ලක් වුනේ තමන්ටම කියලා හදාගත්තු ඩ‍්‍රම් සෙට් එකකින් අපූරුවට වැඩ දාන තරුණයෙක්ගේ වීඩියෝවක්.  මේ විඩියෝව නිසා ඔහු සමාජ ජාල තුළ තරුවක් බවට පත් වුණා.

කුඩා කළ සිට තිබුණු තමන්ගේ එකම හීනේ හැබෑකරගන්න වෙරදරණ මේ අපූරු තරුණා ගැන අප මීට පෙර හෙළි කළා.
නමින් ඔහු කොඩිප්පිලි රණසිංහගේ ලහිරු සම්පත්.මීගහජදුර මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඔහු ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය තරුවක් පවට පත් වුනේ  xරේ කොළ සහ හිස් බූලි එකතුකරලා තමන් ම නිර්මාණය කරගත් ඩ්‍රම් එකක් වේග රිද්ම ගීතයකට වාදනය කර එහි වීඩියෝවක් අන්තර්ජාලයට එක් කිරීමත් සමඟයි.

සමාජ ජාලා මාධ්‍යයේ ජනප්‍රිය වුණු මේ අපූරු වාදකයා පසුගියදා ෂා FM සිංදු කාමරයට සහභාගි වී තිබුණා. එහිදි ඔහු විසින් සිංදුවකට අපූරු ලෙස ඩ්‍රම්ස් වාදනයක්ද එක් කළා.

මේ තරුණායගේ අපූරු හැකියාව අප මාධ්‍යන්හි විකාශනය වන අයුරු දුටු ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ නායකයා වන රොෂාන් ප්‍රනාන්දු මෙම තරුණයාට නවීන ඩ්‍රම්ස් වාද්‍ය භාණ්ඩයක් පරිත්‍යාග කිරීමට තීරණය කළා. ඒ අනුව නවීන ඩ්‍රම්ස් සෙට් එකක් රොෂාන් ප්‍රනාන්දුගේ නිවසේදී ළහිරු වෙත පරිත්‍යාග කළා.. මේ ඒ ගැන සූරියවැව ලහිරු සහ රොෂාන් ප්‍රනාන්දු කියපු කතාවයි.

සූරිය වැව ලහිරු


මගේ නම කොඩිප්පිලි රණසිංහගේ ලහිරු සම්පත්. හම්බන්තොට දිස්ත්‍රික්කේ මීගහජදුර” සූරියවැව තමයි මගේ ගම් පළාත. මට සහෝදරයො දෙන්නෙකුයි සහෝදරියො තුන්දෙනෙකුයි ඉන්නව. ඒ අයගෙන් අක්කල දෙන්න විවාහවෙලා. නංගි තාම ඉස්කෝලෙ යනව. අයියල දෙන්න අම්මටයි තාත්තටයි හයියක් වෙලා ගොවිතැන් වැඩ කරනවා.

මටත් ස්ථිර රස්සාවක් නෑ. පවුලෙ අනිත් අය වගේම ගොවිතැන් වැඩ තමයි කරන්නෙ. ඉඩක් ලැබුණ වෙලාවට යාළුවකුගෙ බස් එකක රියැදුරෙක් විදියට ටැම්පරි වැඩ කරනව. ගොඩක් දුරට ඉගෙන ගන්න පුළුවන් වුණා නම් හොඳ රස්සාවක් කරන්න තිබුණ. සාමාන්‍ය පෙළ වෙනකං විතරයි ඉගෙන ගත්තෙ. ඒත් විභාගය පාස් වෙන්න බැරි වුණා. එතනින් එහාට ඉගෙනීම ගැන හිතුවෙ නෑ.

ඉගෙන ගන්න කාලෙත් ගොඩක් උනන්දුව තිබුණෙ සංගීතය පැත්තට. ඒ නිසාම විෂයක් විදියට ඉස්කෝලෙදි සංගීතය ඉගෙන ගත්තා.

එතකොට ලහිරු කොහොමද ඩ‍්‍රම් සෙල්ලම් කරන්න පුරුදු වුණේ?


ඩ‍්‍රම් සෙල්ලම් කරන්න කොහෙන්වත් පුරුදු වුණේ නෑ. පොඩි කාලෙ ඉඳල ලොකු ආසාවක් තිබුණා. ඒ නිසා එක්ස්රේ කාඞ්” බූලි කෑලි” බෝතල්” බයිසිකල් කොක්රීල් වගේ දේවල්වලින් ගෙදරදිම ඩ‍්‍රම් එකක් හදා ගත්ත. මගේ අයිය කෙනෙකුත් ඔක්ටපෑඞ් එකක් හදාගත්ත. අපි දෙන්නත් එක්ක රේඩියෝ එකේ සින්දු දාගෙන ඒ වාදනයට සෙල්ලම් කළා.

වීඩියෝ කරල අන්තර්ජාලයට එකතු කළේ කවුද?


ෆෝන් එක පුටුවක් උඩින් තියල මම ම වීඩියෝ කරල ෆේස්බුක් එකට දැම්ම. ඉන් පස්සෙ අපේ ගමේම අයිය කෙනෙක් ඒකට මගේ ෆෝන් නොම්මරයත් එකතු කරල. ඒ බව මම දැනගත්තෙ එක එක්කෙනා මට කතා කරල වීඩියෝ එක ගැන කියන කොටයි.

වීඩියෝ එක අන්තර්ජාලයට එකතු කළේ යම් අදහසක් ඇතුවද?

නැහැ නැහැ... කිසිම අදහසක් ඇතුව මේ වීඩියෝ එක දැම්මෙ නෑ. මීට කලිනුත් නංගියි මමයි එකතුවෙලා කියන සින්දුවකුත් ෆේස්බුක් එකට දැම්මා. ඒත් මෙහෙම දෙයක් වුණේ නෑ.

මේ ජනප්‍රියත්වය නොපැතූ දෙයක්?

ඔව්. හීනෙකින්වත් බලාපොරොත්තු නොවුණ දෙයක් මේ සිද්ධ වුණේ.

‘සිංදු කාමරේ. අත්දැකීම මොන වගේද?

ෂා එකේ ඩිලන් සහ කෙවින් කියන මහත්වරු මට කතා කළා. ඒකත් මට හීනයක් වගේ. මම එයාලගෙන් ඇහුව එයාල වගේ වෙන කවුරු හරි කතා කරල මාව බයිට් කරනවද කියල.

ඒ” විදුලි ඩ‍්‍රම් එකක් සෙල්ලම් කළ පළමු වතාවද?

නැහැ. මීට කලින් ගෙවල් පැත්තෙ පොඩි සංගීත කණ්ඩායමක සෙල්ලම් කළා. ඒක වැඩි කාලයක් පවත්වගෙන යන්න බැරි වුණා.

ලහිරුට සින්දු කියන්න බැරිද?

සින්දු කියන්නත් පුළුවන්. මට විතරක් නෙමෙයි. අයියලට වගේම නංගිටත් පුළුවන්.

එහෙනම් රියැලිටි වැඩසටහනකට ඉදිරිපත් නොවුණෙ?

ඒ වගේ ඒවට ලොකු වියදමක් කරන්න ඕනනෙ. යන්න එන්න වගේම හැම දේකටම. ඉතිං එහෙම කරන්න වත්කමක් නැති නිසා. ඒවාට ඉදිරිපත් වෙන්න හිතුවෙ නෑ.

ෆ්ලෑෂ් බැක් නායක රොෂාන් ප්‍රනාන්දු ලහිරුගෙ හීනය අද හැබෑ කරල තියෙනව.

රොෂාන් මොනවද ඔබට කිව්වෙ?


ඇත්තටම රොෂාන් මහත්තය මුලින්ම මට දුරකථනයෙන් කතා කරල කිව්වෙ ඔයාට හොඳට සෙල්ලම් කරන්න පුළුවන්. හොඳ ටැලන්ට් තියෙනව” මම කැමතියි උදව් කරන්න කියල. එතුමාව

මුණගැහෙන්න එන්න කියලත් කිව්ව.

මොනවද ඔබට රොෂාන්ගෙන් ලැබුණෙ?


අලූත්ම අලූත් එකොස්ටික් ඩ‍්‍රම් සෙට් එකක් මට තෑගි කළා. ඒ වගේම එතනදි ලැබුණ වෙලාව ඇතුළත ගොඩක් උපදෙස් දුන්න වගේම ටෙක්නික් පැත්තෙන් ගොඩක් දේවල් කියල දුන්න.

අලූත් ඩ‍්‍රම් එකේ වීඩියෝ එකකුත් එෆ්බී එකට එකතු වේවි?

ඔව්. එහෙම කරන්න තමයි මමත් හිතුවෙ.

ලහිරුට මේ වෙනකොට සංගීත කණ්ඩායම්වලින් ආරාධනා ලැබිල තියෙනවද?

ඔව්... සංගීත කණ්ඩායම් කිහිපයකින්ම කතා කළා. ඒත් ඒ කාටවත් ස්ථිර වචනයක් දුන්නේ නෑ. බලමු කියල තමයි කිව්වෙ.

මෙතනින් එහාට මොකක්ද ලහිරුගෙ ඉලක්කය?


මගෙ ලොකු බලාපොරොත්තුවක් නම් නෑ. ඒත් සංගීතය පැත්තෙන් ඉස්සරහට යන්න ලොකු ආසාවක් තියෙනව.

රොෂාන් ප්‍රනාන්දු

ඇත්තටම ගොඩක් දෙනෙක් මට ඒ වීඩියෝ එක එවල තිබුණ. ඒ අය විශ්වාස කරන්න ඇති ෆ්ලෑෂ් බැක් රොෂාන්ට ඒක යැව්වොත් අනිවාර්යයෙන් දෙයක් කරාවි කියල.

ඒ වීඩියෝ එකත් එක්ක මම මගේ අතීතයට ගියා. මීට අවුරුදු ගාණකට කලින් ඔය විදියටම බයිසිකල් කොක්රීල් වලින් හයිහැට් එකක් හදාගෙන සෙල්ලම් කරපු කාලයක් මටත් තිබුණා. එදා මේ වගේ සමාජ ජාල නොතිබුණත් මගේ තාත්ත යාළුවකුගෙන් පොලියට සල්ලි අරගෙන මට ඩ‍්‍රම් සෙට් එකක් ගෙනත් දුන්න වෙලාවෙ මට දැනුණ සතුට මම අද ලහිරුගෙ ඇස් දෙකෙන් දැක්කා.

ලහිරුත් එක්ක රැඳුන පැය එකහමාරක පමණ කාලය තුළ මට පුළුවන් උපදෙස් මම ඔහුට ලබා දුන්න.

කෙනකුගේ අනාගතය තීරණය වෙන්න හැකියාවයි හැදියාවයි ගොඩක් වැදගත් වෙනව.

මං මගේ කොටස කළා. ඒ ගැන ගොඩක් සතුටුයි.

මහේෂ් එදිරිසිංහ