කන්න, බොන්න, වැසිකිළි යන්න ඉඩ දෙන්නේ නැතිව ඩුබායි අජ්මාන් නුවර ඒජන්සියක ශ්‍රී ලාංකික කතුන් 16ක් හිරකරගෙන

ගෙවීමට ඇති ණය මුදල් හා සිය දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් විදේශ රටක සුද්ධ පවිත්‍ර කරන්නියක ලෙස සේවයට ගිය එක්දරු මවක් දින 39ට පසු හිස් අතින් ආපසු ඉකුත් 18දා අලුයම සිය නිවෙස වෙත පැමිණි පුවතක් කෑගල්ල මොළගොඩ කෝන්ගස්ගොඩැල්ල ග්‍රාමයෙන් වාර්තා වෙයි.

කෑගල්ල, මොළගොඩ, කෝන්ගස්ගොඩැල්ල ග්‍රාමයේ එස්.පී. රසිකා දමයන්ති ජිනදාස නමැති 31 හැවිරිදි එක්දරු මව මෙලෙස යළි දිවයිනට පැමිණ තිබිණි.
යුද හමුදා නිලධාරියකු සමඟ විවාහ වී සිටින රසිකා පසුව ඔහුගෙන් වෙන්වී යළි මවුපියන් පදිංචි මොළගොඩ නිවෙසට පැමිණ ඔවුන් සමඟ පදිංචිව සිටියාය. අවුරුදු 06ක දියණියක් සිටින රසිකාට ගෙවී ගිය කාලය තුළ ගත් ණය මුදල් හා සිය එකම දියණියට හොඳ අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් කුරුණෑගල විදේශ රැකියා ආයතනයකින් ඩුබායි රාජ්‍යයේ අජ්මාන් නගරයේ නිවෙසක සුද්ධ පවිත්‍ර කරන්නියක් ලෙස පසුගිය නොවැම්බර් 09දා දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන මෙරටින් පිටත්ව ගියාය.

පිටත්ව යෑමට පෙර කුරුණෑගල විදේශ රැකියා ආයතනයෙන් තමන්ට රුපියල් ලක්‍ෂ දෙකක මුදලක් ලබාදෙන බවටත් ඉන් රුපියල් විසිහයදහසක් විදේශ ගමන් බලපත්‍රය සෑදීමට හා ඇඳුම් පැලඳුම් ලබා ගැනීමට තමාට මූලික වශයෙන් ලබා දුන් බවද පැවැසුවාය. ඉතිරි රුපියල් එක් ලක්‍ෂ හැත්තෑ හතර දහසක මුදල සතියකින් සිය මවට ගෙවන පොරොන්දුව මත ඇය විදේශ ගතවූවාය.
ඩුබායි රාජ්‍යයේ අජ්මාන් නගරයේ පිහිටි සිය විදේශ රැකියා ආයතනයට රැගෙන ගොස් තමා එහි දින ගණනාවක් තබාගෙන නිවෙසකට යොමු කළ බවත් පසුව එම නිවෙසේ පැය කිහිපයකට පසු යළි විදේශ රැකියා ආයතනයට රැගෙන ආ බවත් කියයි.

එතැන් පටන් තමන් ඇතුළු ශ්‍රී ලාංකික කාන්තාවන් 16ක් පමණ එහි රඳවා ගෙන කෑම බීම නොදී වැසිකිළි යෑමට අවස්ථාව නොදී සිය මවුපියන්ට කතා කිරීමට අවස්ථාව නොදී තල්ලු කිරීම් හා පහරදීම් සිදුකළ බවද ඇය කියා සිටියාය. පසුව මේ සම්බන්ධයෙන් හිතවතුන්ගේ මාර්ගයෙන් කෑගල්ලේ මොළගොඩ පදිංචි සිය පියා වන එස්.පී. ජිනදාස මහතාට ලබාදුන් දුරකථන ඇමතුමකින් පසු ඒ මහතා හිතවත් කිහිප දෙනකුගේ සහාය ඇතිව රුපියල් එක් ලක්‍ෂ හාරදහක මුදලක් කුරුණෑගල විදේශ රැකියා ආයතනයට ගෙවා ඉකුත් 18දා අලුයම යළි සිය නිවෙස වෙත පැමිණි බවද ප්‍රකාශ කළාය.

එස්.පී. රසිකා දමයන්ති ජිනදාස (අවු. 31) මෙසේ වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

දුව පුංචි කාලෙදීම මහත්තයා මා අතහැර දමා ගියා. ඊට පස්සේ මම මගේ අම්මා, තාත්තා ළඟට දුව රැගෙන ආවා. ඒ ඇවිල්ලා ඉන්න කොට කිහිප දෙනකුට ණය වුණා. ණය මුදල් ගෙවා ගැනීමටත් එකම දියණියට හොඳ අධ්‍යාපනයක් ලබාදීමටත් සිතා කුරුණෑගල විදේශ රැකියා ආයතනයකට මා ගියා. මා මීට පෙර විදේශ රටක රැකියාවකට ගිහිල්ලා තිබුණේ නැහැ. ගියාට පස්සේ මට කීවා එහේ විදේශ රැකියා ආයතනයෙන් ගෙවල්වල පිරිසුදු කරන්න දානවා කියලා. මම ඒකට කැමැති වුණා.

පඩිය රුපියල් හතළිස් අටදහසක් දෙනවා කියලා කීවා. යන්න පෙර ලක්‍ෂ දෙකක් දෙනවා කියලා කීවා. ඒජන්සියෙන්ම පාස්පෝට් එක හදලා දුන්නා. වෛද්‍ය වාර්තා ගත්තා, යන්න පෙර ඇඳුම් ගන්න කියලා මුදලක් මගේ අතට දුන්නා. එතන ගිය මුළු වියදම රුපියල් විසිහය දහසක් කියලා කීවා. ඉතිරි රුපියල් එක් ලක්‍ෂ හැත්තෑ හතර දහස සතියකින් අම්මට දෙනවා කීවා. පස්සේ මම 2018 නොවැම්බර් 09 දින ඩුබායි බලා පිටත්ව ගියා.

ඩුබායිවලින් අජ්මාන් නගරයේ විදේශ රැකියා ආයතනයට මාව රැගෙන ගියා. ඒ ඒජන්සියේ ලංකාවේ කාන්තාවන් දෙදෙනෙක් වැඩ කරනවා. ගිහින් සති දෙකක් පමණ ඒ ඒජන්සියේ හිටියා. ඒ කාලය තුළදී ලංකාවේ ඉන්න අම්මාටයි, තාත්තාටයි කතා කරන්න දුන්නේ නැහැ. කන්න බොන්න දුන්නේ නැහැ. වැසිකිළි යන්න දුන්නේ නැහැ. ඒ වගේම විදේශ රැකියා ආයතනයේ සිටින කාන්තාවන් දෙදෙනාගේ ඇඳුම් පවා හෝදන්න සිද්ධ වුණා.

මේ ඒජන්සියේ කාන්තාවන් 16ක් පමණ හිරකරගෙන ඉන්නවා. ඒ හැමෝටම එකම විදියට සලකනවා. සමහර කාන්තාවන්ට ඒජන්සියේ කාන්තාවන් දෙන්නා ගහනවා. කිසිම තොරතුරක් ලංකාවේ අයට දෙන්නත් එපා කියන්නත් එපා කියනවා. මෙහෙ හොඳට වැඩ කරගෙන ඉන්නවා කියලා කියන්න කියනවා. පස්සේ මම විඳින දුක කාන්තාවකට දවසක මම කීවා. ඊට පස්සේ ඒ කාන්තාව ලංකාවේ ඉන්න තාත්තාට කියලා තිබුණා. පස්සේ තාත්තා මාව ලංකාවට ගැනීමට කටයුතු කරමින් සිටියා.

පස්සේ තාත්තාගෙන් ඒජන්සිය රුපියල් හත්තෑ දහසක් අය කරගෙන තිබුණා. මට ආපසු එන්න කියලා ගුවන් ටිකට් පත සඳහා තිස් හතර දහසක මුදලක් සමඟ එක් ලක්‍ෂ හාරදහසක් තාත්තා ඒජන්සියට බැන්දට පස්සේ මා පසුගිය 18දා ලංකාව බලා ආවා. මේ වගේ තවත් කාන්තාවන් 16ක් ඒජන්සියේ හිරකරගෙන ඉන්නවා. එයාලට ලංකාවට එන්න ගුවන් ටිකට් පතට මුදල් ගෙවන්න කෙනෙක් නැහැ.

ඒ නිසා ඔවුන් එහි අඬ අඬා ඉන්නවා. මම යනකොට අරන් ගිය රෙදි ටික ඒජන්සියේ කාන්තාව විසිකර දැම්මා. තාත්තාගේ පිහිටෙන් මම ලංකාවට පැමිණියත් ඉතිරි 16 දෙනා පිළිබඳ සිතන කොට ලොකු දුකක් දැනෙනවා යැයි ඇය ප්‍රකාශ කළාය.

මව්බිම