අනියම් බිරිය බලන්න ආ සූරියවැව හිටපු ඕඅයිසීට නිවැසියන්ගෙන් ප්‍රහාරයක්‌

සිය අනියම් බිරිය බැලීමට ඉකුත් 28 දා රාත්‍රි සූරියවැවට පැමිණි සූරියවැව පොලිසියේ හිටපු ස්‌ථානාධිපතිවරයකුට නිවැසියන් විසින් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇතැයි සූරියවැව පොලිසිය පවසනවා.

මෙලෙස පහරකෑමට ලක්‌ව තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ සූරියවැව පොලිස්‌ ස්‌ථානයේ 2008-2009 වසරවලදී ස්‌ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ දැනට වැඩ තහනමකට ලක්‌ව සිටින පොලිස්‌ පරීක්‍ෂකවරයෙක්.
තුවාලකරු සූරියවැව පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ ඇතිවූ මිත්‍රත්වයක්‌ දුරදිග ගොස්‌ මෙම අනියම් සබඳතාව ඇතිවී ඇති බවත් එම කාන්තාවගේ සැමියාද එම කාලයේදීම කිසියම් අයකුගේ වෙඩි පහරකට ලක්‌ව මියගොස්‌ ඇතැයිද පැවසෙනවා.

දෙදෙනාගේ අනියම් සබඳතාව මීට කලකට පෙර නැවතී ඇති අතර එතැන් පටන් දෙදෙනා අතර මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ආරවුල් ඇතිවී තිබෙනවා.

අනියම් බිරිය ඔහු පැමිණෙන විට මගහැර යැම හේතුවෙන් ආරවුල් දුරදිග ගොස්‌ ඇති බව සඳහන්.

හිටපු ස්‌ථානාධිපතිවරයා පසුගිය දින කිහිපයේම දිගින් දිගටම ඇය සොයා සූරියවැවට පැමිණ ඇති අතර පසුගිය 28 දින රාත්‍රි සූරියවැව නගරයේ පිහිටි ඇයගේ නිවසට පැමිණ ඇති හෙතෙම නිවැසියන්ගෙන් කාන්තාව කොහිදැයි විමසා තිබෙනවා.

එහිදී ඇය නිවසේ නොමැති බව පැවසීමෙන් දෙපාර්ශ්වය අතර ගැටුමක්‌ ඇතිවී ඇති අතර පසුව නිවසේ සිටි කාන්තාවගේ පියා සහ සහෝදරයා විසින් මොහුට පහරදී ඇති බවයි සඳහන් වන්නේ.

පහරකෑමට ලක්‌වූ හිටපු ස්‌ථානාධිපතිවරයා සූරියවැව පොලිසියට පැමිණිල්ලක්‌ කර සූරියවැව රෝහලට ඇතුළත් වී තිබෙනවා.

රෝහල් ගතව සිටි පහර කෑමට ලක්‌ වූ පුද්ගලයා රාත්‍රි 10 ට පමණ රෝහලෙන් පලාගොස්‌ නැවත එම නිවැසියන් සමග ආරවුලක්‌ ඇතිකර ගෙන ඇති අතර එහිදී බහින් බස්‌වීම දුරදිග ගොස්‌ නිවැසියන් විසින් මොහුට තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සූරියවැව පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත තුවාල ලබා සූරියවැව නගරයේ නිවසක්‌ අසල වැටී සිටි හිටපු ස්‌ථානාධිපතිවරයා පොලිසිය විසින් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන ඇති බව සඳහන්.

මෙම පහරදීම සම්බන්ධයෙන් සූරියවැව පදිංචි අනියම් බිරියගේ පියා සහ සොහොයුරා සූරියවැව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකක්‌ මත මුදාහැර තිබෙනවා.

ඉදිරි නඩු දිනයේදී සැකකරුවන්ට එරෙහි චෝදනා ගොනු කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා සූරියවැව පොලිසියට නියෝග කළා.
gossip lanka