"මම සින්දු කියන්නේ මගේ අම්මගේ කැමත්ත නිසා. පුංචි කාලේ ඉදලම මම සීයාගේ සිංදුවලට ආසයි.." - පවන් මල්ලවාරච්චි

මිල්ටන් මල්ලවාරච්චිගේ පුත් රනිල් මල්ලවාරච්චිගේ එකම පුත් වන පවන් මල්ලවාරච්චි ගායන ක්‍ෂෙත්‍රයට එන්නේ නොහිතූ වෙලාවක. කුඩා වියේදීම සිය දෙමව්පියන් සමග ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන පවන් නව යෞවනයකු ලෙස ලංකාවට විත් සිය පියා සමග ප්‍රසංගයක් පවත්වන්නේ මිල්ටන් ලෝලී රසවතුන්ගේ ජීවිතවලට නැවුම් හුස්මක් පිඹිමින්. එදා මිල්ටන්ගෙන් හිස්වුණ ගායන ලොවේ අඩුව රනිල්ගේ හඩින් පිරුණ අතර අද ඒ අඩුව රනිල් හා පවන්ගේ
හඩවලින් පිරී ඉතිරී යමින් පවතිනවා.  ඔහු ගැනයි.

පවන් ඔබගේ සංගීත දිවියේ නවතම තොරතුරු මොනවාද ?
ඔක්තෝම්බර් 13 වැනිදා ඔස්ට්‍රේලියාවේදි මමත් මගේ පියාත් ප්‍රසංගයක් පැවැත්වූවා. එහි සංගීත අධ්‍යක්ෂණයට සරත්ද අල්විස් මහත්මයා ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට ආවා. එතුමාත් මෙහිි සිටින දක්ෂ වාදන ශිල්පීනුත් එකතු වෙලා තමයි මෙම ප්‍රසංගයට සංගීතය සැපයුවේ. මේ මොහොතේ මෙම ප්‍රසංගය සංවිධානය කළ නුගේගොඩ සාන්ත ජෝන් ඔස්ට්‍රේලියානු ශාඛාවේ බර්ටි ගුණතිලක මහත්මයට ස්තූති කරන්න කැමැතියි.

ඔබ ප්‍රසංග සදහා ගීත ගායනයට යන්නේ ඔබගේ පියා රනිල් සමගද ?
මේ වනවිට මම තනිවම සංදර්ශන කිහිපයක් පැවැත්වූවා. මම ලන්ඩන් නගරයේ සංදර්ශන 4 ක් පැවැත්වූවා. ඒ එකකටවත් තාත්තා සහභාගි වුණේ නැහැ. ළගදීම ඩුබායිවල පැවැත්වෙන ප්‍රසංගයටත් මම යන්නේ තනිවමයි. එම ප්‍රසංගයේදී ලංකාවේ සංගීත ක්ෂෙත්‍රයේ ප්‍රවීනයන් වන කිර්ති පැස්කුවල්” නීලා වික්‍රමසිංහ යන ශිල්පීන් සමග ගයන්න මට අවස්ථාව ලැබී තිබෙනවා. මෙම ප්‍රසංගයට සාරංග දිසාසේකර හා සංගීත අධ්‍යක්ෂණයෙන් නාලක සජිත් සහභාගි වෙනවා.

නැවතත් ලංකාවේ ප්‍රසංගයක් කරන්න අදහසක් නැතිද ?
ලබන මාර්තු මාසයේ ලංකාවේ සංගීත ප්‍රසංගයකට අපිට කතා කරලා තියෙනවා. මාර්තු මාසේ දෙවැන සතියේ තමයි දින යෙදිලා තියෙන්නේ. තවමත් එය සාකච්ඡා මට්ටමේ පවතින්නේ. ඒ කතාබහ සාර්ථක වුණොත් අපි මාර්තු මාසයේ සරත්ද අල්විස්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ඒ ප්‍රසංගය පවත්වනවා.

පවන් ඔබ ගායනයට එන්නේ කුඩා කළ පටන් තිබුණ බලාපොරොත්තුවකට අනුවද ?
මම ගයන්න එන්නේ මගේ මවගේ කැමත්ත නිසා. මම කුඩා කාලේ ඉදන්ම සීයාගේ ගීත වලට ආසා කළා. මගේ පියාත් ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්. ඔවුන් දෙදෙනාගේම ගායන හැකියාවන් මටත් පිහිටලා තියෙනවා කියලා මම හිතනවා. මම පැවැත්වූ හැම ප්‍රසංගයකටම හොද ප්‍රතිචාර තිබුණා. විශේෂයෙන් මගේ සීයාට වගේම මගේ පියාටත් එම ප්‍රසංග වලදී ඉහළ ප්‍රතිචාර ලැබුණා. මේ ගැන හිතද්දි හරි සතුටක් දැනෙනවා.

ලංකාවේ රසිකයන් ඔබ හා සම්බන්ධ වෙන්නේ ?
ලංකාවට ආවහම විදේශ රටවල ප්‍රසංග වලට ගියහම ෆේස්බුක් හරහා ලංකාවේ අය මාත් එකක් කතාබහ කරනවා. මම හතරවැනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තේ රෝයල් ඉන්ස්ට්ටියුට් එකෙන්. එහි මිතුරෝ මට තවමත් කතාබහ කරනවා.

දිගටම සීයාගේ ගීත වලින්ම ක්ෂේත්‍රයේ පවතින්නද අදහස ?
දිගටම සීයාගේ ගීතම ගයන්නේ නැහැ. මේ වනවිට මගේම ගීත හතක් පටිගත කරලා තියෙනවා. ඒවා යු ටියුබ් එකෙන් අහන්න පුළුවන්. දැනට මම අධ්‍යාපන කටයුතු කරගෙන යන නිසාත් මම අනාගතය තෝරගන්න බලාපොරොත්තු වන වෘත්තිය වන්නේ ගුවන් නියමුවෙකුවීම. ඒ නිසා වෘත්තීය ගායකයෙක් විදිහට නම් මට ඉන්න ඉඩක් ලැබෙන එකක් නැහැ. නමුත් මම ඉඩ ලැබෙන විදිහට ගයනවා.

වේදිකාවේ ගයද්දී ඔබට වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන ගීත මොනවාද ?
ගොඩක් ප්‍රතිචාර ලැබෙන්නේ සීයාගේ අවසර නැත මට” එදා රෑ ගුවන් තොටුපළේදී” සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම් ගීත වලට. සීයාගේ හැම ගීතයකටම වාගේ රසිකයෝ ආසා කරනවා මට දැනිලා තියෙනවා.

දැනට ඔබත් ඔබේ පවුලත් ඔස්ට්‍රේලියාවේ ගතකරන ජීවිතය ?
අපි ඉන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ. මම අධ්‍යපානය ලබන්නේ මෙල්බර්න් නගරයේ තියෙන ආර්. එම්. අයි. ටි. යුනිවර්සියේ. මගේ නංගි අනපූජා. ඇය මෙහේ පාසැල් අධ්‍යාපනය ලබනවා. මගේ පියා මෙහේ රුකියාවක් කරනවා. අම්මා නිරාෂා. ඇය තමයි අපි තුන්දෙනාගේ ජීවිතයේ හැම දෙයක්ම සොයා බලමින් උපදෙස් දෙමින් අපගේ දියුණුව සලසා දෙන්නේ.

මල්ලචාරච්චි පවුලේ සෙසු සාමාජිකයන් ජීවත් වෙන්නේ ලංකාවේද ?
මගේ පියාගේ සහෝදර සහෝදරියන් ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. මවගේ සහෝදර සහෝදරියන් ඉන්නේ ලංකාවේ. ඒ නිසා අපට ඔස්ට්‍රේලියාවේදී පියාගේ ඥාතීනුත් ලංකාවේදී මවගේ ඥාතීනුත් ඇසුර කරන්න ලැබෙනවා. අපේ පවුලම වරින් වර ලංකාවට ඇවිදින් කාලය ගත කරනවා.

ක්ෂේත්‍රයට එන නවකයින් ඔබගේ සීයාගේ ගීත ගයා ජනප්‍රියවීම ගැන මොකද හිතන්නේ ?
සීයාගේ ගීත නෙවෙයි ජෝතිපාලයන්ගේ වැනි පැරණි ගායන ශිල්පීන් බොහෝමයකගේම ගීත අලූත් අය ගයනවා. එහෙම වෙලා තියෙන්නේ එම ගීත මිනිස්සු අතරට ගොඩක් ගිහින් තියෙන නිසයි. එම ගීත ඔවුන් ගැයුවා කියලා මගේ අකමැත්තක් නැහැ. ඒත් ඔවුන් දිගටම සීයාගේ ගීත ගයමින් හිටියොත් එයාලට අනන්‍යතාවයක් හදාගන්න ලැබෙන්නේ නැහැ.

උපන් රටෙන් පිට ගෙවෙන ජීවිතය හොදයි කියලාද හිතෙන්නේ ?
මම උපන් රටෙන් පිට රටකට එන්නේ මට අවුරුද දහයේදී. දැන් අවුරුදු 9 ක් විතරක් මෙල්බර්න්වලයි අපි ජීවත් වෙන්නේ. මේ රටින් ගොඩක් දෙවල් මට ලැබුණා. මගේ අධ්‍යපනය” සංගීත දඣෂතා දියුණු කරගන්න අවස්ථාව ලැබුණා.

කවදා හෝ ලංකාවේ පදිංචි වෙන්න අදහසක් තියෙනවාද ?
මගේ නැගණිය වසර කිහිපයකින් විශ්විද්‍යාලයට පිවිසෙනවා. ඉන් පසුව මගේ දෙමව්පියන් 2021 විතර වෙද්දි ලංකාවේ පදිංචියට එන්න සැලසුම් කරනවා. ඒ වෙද්දි මගේ උපාධියත් අවසන් වෙනවා. මගේ උපාධිය ගුවන් නියමු වෘත්තිය. ලංකාවේ මට මගේ වෘත්තියට වටිනාකමක් ලැබුණොත් මම ලංකාවේ මගේ පවුලේ අය සමග පදිංචි වෙනවා. එහෙම නොලැබුණොත් මම මගේ රැකියාව ලැබෙන රටකට ගිහින් රැකියාව කරනවා.

ධම්මිකා සුරංජි පතිරණ