හොඳම වැඩේ නියෝජ්‍ය ඇමතිකම කැබිනට් ඇමතිගේ නෝනට දෙන එකයි !

නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ කැබිනට් අමාත්‍යවරුන් අතර ගැටුම් ඇති වීමෙන් නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කිරීමට අවස්ථාවක් නොලැබෙන බව සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

තමන්ට සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලැබුණු නමුත් මාස දහයක් තුළ මේ රටේ සමාජය සවිබල ගැන්වීමට හැකියාවක් නොමැති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
තමන් මෙතෙක් නියෝජ්‍ය අමාත්‍ය ධුර දෙකක් දරා ඇති බවත් දෙවන වතාවේදී අමාත්‍යවරයා තමන්ට කිසිදු වැඩක් කිරීමට ඉඩ ලබා නොදුන් බවත් තෙවරප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ කියා වෙනසක් මීට නොමැති බවත් පුද්ගලයින්ගේ ගතිගුණ මීට බලපාන බවත් පැවසූ ඒ මහතා "මම කියන්නෙ මේ නියෝජ්‍ය ඇමතිකම කියන එක, හොඳම දේ තමයි කැබිනට් ඇමතිතුමාගෙ නෝනට දෙන එක. වැඩ කරන්න පුළුවන් ලේසියෙන්. මේකෙ ගැටළු තියෙනවා." යනුවෙන් ඒ මහතා පැවසීය.

තෙවරප්පෙරුම මහතා මේ අදහස් පළ කළේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.