gossip lanka

මවගේ අනියම් සැමියා අවුරුදු දෙකේ දරුවාගේ අත්පා, මුහුණ, මුත්‍රාශය ඇතුළු ශරීරය පුරාම දුම්වැටිවලින් පුච්චලා... තුවාල සියයකට වැඩියි

සියඹලාණ්‌ඩුව පොලිස්‌ බල ප්‍රදේශයට අයත් මුතුකණ්‌ඩි පහේ කණුව ප්‍රදේශයේ වයස අවුරුදු 1 මාස 10 ක පිරිමි දරුවකු මවගේ අනියම් පුරුෂයා විසින් බීමත්ව මාස දෙකකට අධික කාලයක්‌ දුම්වැටියකින් දරුවා පුළුස්‌සා ඇත. දරුවා 27 වැනිදා සවස සියඹලාණ්‌ඩුව පොලිස්‌ භාරයට ගෙන ඇත.

 මෙම දරුවාගේ පිටුපස කොන්ද, කකුල්, අත්, මුහුණ, මුත්‍රාශය ඇතුළු ශරීරය පුරාම පිළිස්‌සුම් තුවාල 100 කට අධික සංඛ්‍යාවක්‌ දක්‌නට ලැබේ.
මේ දරුවාගේ මව රත්නපුර ප්‍රදේශයේ පදිංචිව විවාහ වී සිටි අතර එහිදී මෙම දරුවා ලැබී ඇත. දරුවා ලැබීමෙන් පසු දරුවාගේ පියා මවත් දරුවාත් දමා ගොස්‌ ඇත.

අනතුරුව සැකකරු සමග දරුවාගේ මව අනියම් සම්බන්ධතාවක්‌ ඇති කරගෙන අනියම් පුරුෂයාගේ ගමට පැමිණ ඇත. ඔහුද විවාහක පුරුෂයකු වන අතර බිරිඳගෙන් වෙන් වී ඇත.

ඔහු අධික බීමතින් පැමිණ මේ දරුවා විටින් විට කිහිප වතාවකදී පුළුස්‌සා ඇති බව මව පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

මෙම දරුවාගේ ආච්චිට මේ ගැන දැනගැනීමට ලැබී ඇත්තේ දරුවාගේ මව ආච්චිට දුරකථන ඇමතුමක්‌ ගත් අවස්‌ථාවේ දරුවාට අනියම් සැමියා පහර දෙන ශබ්ද ඇසීමෙනි. එවිට දරුවා එපා නම් තමාට දරුවා ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමට අනුව දරුවා ආච්චිට භාරදෙන විට දරුවාගේ පිළිස්‌සීම් තුවාල දැක පොලිසියට දැනුම් දී ඇත.

මේ අනුව සියඹලාණ්‌ඩුව පොලිසිය මගින් දරුවාත් සැකකාර මවත් පොලිස්‌ භාරයට ගෙන ඇත. පිළිස්‌සීම් කළ අනියම් සැමියා ප්‍රදේශයෙන් පලාගොස්‌ ඇති අතර ඔහු සොයා පරීක්‍ෂණ සිදුකෙරේ.

 ප්‍රතිකාර කිරීම සඳහා දරුවා සියඹලාණ්‌ඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇත. සැකකාර මව සියඹලාණ්‌ඩුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 මොනරාගල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස්‌ පරිදි සියඹලාණ්‌ඩුව පොලිස්‌ ස්‌ථානාධිපති පො. ප. ප්‍රියන්ත බණ්‌ඩාර, පො.ප. බණ්‌ඩාර, කා. උ.පො.ප. දිල්රුක්‍ෂි, කා. පො. සැ. (2161) වීරක්‌කොඩි, කා. පො. කො. (8163) කුමාරි, (9072) මල්මි යන නිලධාරීහු පරීක්‍ෂණ සිදුකළහ.
gossip lanka