ගාල්ලේදී පිහිපහරකින් කෙළවර වූ තරුණියකගේ පැහැරගැනීම

ගාල්ල නගරයේදී තරුණියක් පැහැර ගෙන යාමට සූදානම් වූ අවස්ථාවේ ඇයව බේරා ගැනීමට ඉදිරිපත් වූ තරුණයෙකුට සිදුකළ පිහි ඇනුමකින් එම තරුණයා බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

බද්දේගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මෙම තරුණිය ගාල්ල බස් නැවතුම්පොල අසල වෙළදසැලක සේවය කරමින් සිටියදී යුද හමුදා සෙබලෙකු වන ඇගේ හිටපු පෙම්වතා ත්‍රිරෝද රථයකින් පැමිණ තරුණිය පැහැර ගෙන යාමට උත්සාහ කර ඇති බව සඳහන්.
එහිදී එම වෙළදසැලේම සේවය කරන තරුණයෙකු ඇයව බේරා ගැනීමට ඉදිරිපත් වී ඇති අතර, එම අවස්ථාවේදීයි සැකකාර සෙබලා මෙම පිහි ඇනුම සිදුකර ඇත්තේ.

කෙසේ වෙතත්, පිහි ඇනුම සිදුකළ සෙබලා සහ ත්‍රිරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කලක පටන් තමන්ට මෙම තරුණයාගෙන් හිරිහැර සිදුවන බවට තරුණිය පොලීසියට මීට පෙර පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබූ බවයි වාර්තා වන්නේ.