රවිට ඇමැතිකම දීම පොල් බෑය හොරාගෙන දුවන බල්ලාට උම්බලකඩෙන් ගැහුවා වාගේ වැඩක් - නලින්ද ජයතිස්ස

රවි කරුණානායක මහතාට ව්‍යාපාර සංවර්ධන ඇමැතිකම දීම පොල් බෑයක් හොරාගෙන ‘දුවන බල්ලාට උම්බලකඩයකින් ගැහුවා වගේ වැඩක්’ යැයි කළුතර දිස්ති‍්‍රක් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස මහතා පසුගිය (22 දා)  දහවල් ප‍්‍රකාශ කළේය.

ඒ මහතා එසේ ප‍්‍රකාශ කළේ තම විමධ්‍යගත ප‍්‍රතිපාදන යටතේ මිලට ගත් පොත් කට්ටල කළුතර දිස්ති‍්‍රක්කයේ පුස්තකාලවලට බෙදා දීම වෙනුවෙන් කළුතර දිසා ලේකම් කාර්යාලයේ පැවැති උත්සව සභාවෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට කරුණු දක්වමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

පසුගිය දින 50 කට වඩා වැඩි කාලයක් ජනතාව බලා සිටියේ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සිදුවන්නේ කුමක්ද යන්නයි. දැන් රටේ ඇමැති මණ්ඩලය දෙස බලා සිටිනවා.

මෙවරත් ඇමැති මණ්ඩලය පත් කර ඇත්තේ කිසිම විද්‍යාත්මක පදනමකට නොවෙයි. ජලසම්පාදනය භාර රාවුෆ් හකීම් මහතාට උසස් අධ්‍යාපනයත් භාරදී තිබෙනවා. දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ජල ප‍්‍රහාර එල්ල කරන්න ලේසියි. ජල බවුසර් අයිති ඇමැතිටම උසස් අධ්‍යාපනයත් දී තිබෙන නිසා.

මෙවර වයස අවුරුදු 40 ට අඩු කාටවත් කැබිනට් ඇමැති තනතුරු නැහැ. අවුරුදු 75 ට වැඩි දෙන්නෙක් කැබිනට් මණ්ඩලයේ ඉන්නවා. මේ අය එක්ක රටක් ගෙන යන්න පුළුවන්ද කියන එක ප‍්‍රශ්නයක්. මේ ඇමැති මණ්ඩලය පත් කිරීම පරණ වයින් පරණ බෝතලයටම දමා දුන්නාක් වැනි වැඩක්.

මුදල් ඇමැතිකමින් ඉල්ලා අස්වූ රවි කරුණානායකට ව්‍යාපාර සංවර්ධන ඇමැතිකම දීල තිබෙනවා. රටේ ව්‍යාපාර සංවර්ධනය කෙසේ වෙතත් ඔහු තමාගේ ව්‍යාපාර නම් සංවර්ධනය කර ගනීවි. ඒක පොල් බෑයත් අරන් දුවන බල්ලාට උම්බලකඩයකින් දමල ගැහුවා වගේ වැඩක්.

දැන් ව්‍යවස්ථාවේ හිල් හොයන්නේ ඇමැති මණ්ඩලය වැඩිකර ගන්නයි.

දිවයින