"කෑම වලටම මාසෙට ලක්ෂ දෙකක් යනවා, කීයක් හරි දෙන්නේ ඩිලන්ත මාලගමුව විතරයි" ලෝකෙන්ම එක වූ ලූෂන් මුල්ම වරට රහසක් කියයි!

WBPF කායවර්ධන ෆෙඩරේෂනය විසින් සංවිධානය කළ දසවැනි WBPF කායවර්ධන ශූරතාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් සමත් වුනා. පසුගිය 16 වන දින තායිලන්තයේදි මෙම තරගාවලිය පැවැත්වුනා.

මෙහි ශූරතාවය දිනූ ලූෂන් පසුගිය 18 වනදා ශ්‍රී ලංකාවට පැමිණියා. එලෙස පැමිණි ලූෂන් තමන් පැමිණි කටුක ගමන්මග පිළිබඳ මෙන්ම අභියෝග පිළිබඳවද මාධ්‍යයට පවසා තිබුනා.
"ආසියානු ශූරතාවය දිනුවට පස්සේ මගේ අරමුණ වුණේ ලෝක ශූරතා තරගාවලියට තරග කරන එක. ඒක වෙනුවෙන් තමයි මම පුහුුණුවීම් කළේ. හරියාකාරව පුහුණුවීම් කරලා කොහොම හරි ඒක මගේ රටට ගේන්න පුලූවන් වුණා. කවදා හරි අනිවාර්යයෙන් මම ලෝක ශූරතාවක් ගේනවා කියන අදහස මගේ හිතේ තිබුණා. මේ මගේ හිතේ තිබ්බ බලාපොරොත්තු ඉටුවීමක්."

"සම්මේලනය මාව සම්බන්ධ කර ගන්නාවානම් අනිවාර්යයෙන්ම ඉදිරි තරග සඳහා මම සම්මෙලනය හරහා සහභාගි වෙනවා. සම්මේලනයත් එක්ක මගේ කිසිම ඝට්ටනයක් නැහැ. වෛරයකුත් නැහැ. අපි හමෝම කී‍්‍රඩා කරන්නෙ රට වෙනුවෙන්. ලබන අවුරුද්දේ ජූලි මාසයේ සහ සැප්තැම්බර් මාසයේ මගේ ඊළග තරග තියෙනවා. මම දැන් සූදානම් වෙන්නේ ඒ තරග වෙනුවෙන්. කොහොම හරි මම ඒකටත් තරග කරනවා."

"මේ වගේ ඇගක් හදාගන්න පෝෂ්‍යදායි ආහාර ගන්න ඕනේ. අපේ රටේ ගොඩක් පෝෂ්‍යදායි ආහාර තියෙනවා. හරි ආකාරයෙන් පුහුණුවීම් කරන්න ඕනේ. නිසියාකාරව ශරීරය පාලනය කළොත් තමයි මේ ආකාරයේ ශරීරයක් හදාගන්න පුලූවන්. සාමාන්‍යයෙන් දවසට පැය දෙකක් විතර තමයි මම පුහුණුවීම්වල නිරතවෙන්නෙ. සමහර වෙලාවට උදේ හවස පුහුණුවීම් කරනවා. ඒක වෙනස්වෙනවා ශරීරයේ ස්වභාවයත් එක්ක. හැමදාම ජිම් එකට නොගියා කියලා මේ ඇගට මොකුත් වෙන්නෙත් නැහැ. අපේ ඇග වගේම හදවතත් ශක්තිමත් කරගෙන තමයි අපි මේ ඉන්නේ. අවුරුද්දක් ව්‍යායාම නොකර හිටියත් අපිට කිසි ප‍්‍රශ්නයක් නැහැ."

"මාසෙට මගේ පෝෂ්‍යදායි ආහාර වලට පමණක් රුපියල් ලක්‍ෂ දෙකක් පමණ වැය වෙනවා. එක තරගාවලියකට සූදානම් වෙද්දී සමාන්‍යයෙන් ලක්‍ෂ දහ අටක් විස්සක් විතර යනවා. දැනට මට සුලූ මුදලක් ලැබෙනවා ඩිලන්ගෝ ටැක්සි එකෙන්. ඒ කියන්නෙ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවගෙන්. ඔහු තමයි දැනට මට අනුග‍්‍රහය දක්වන්නේ. ඔහුගෙන් ලැබෙන මුදල හැරුණම ඉතිරි වියදම් ඔක්කොම මගේ අතින් තමයි කරගන්නේ. මම වෙනත් රැකියාවක් කරන්නෙ නැහැ. කාය වර්ධනය තමයි දැන් මගේ වෘත්තිය ම්ටටමට පත්වෙලා තියෙන්නේ. ජයග‍්‍රහණය අරන් ලංකාවට අවට පස්සේ කී‍්‍රඩා අමාත්‍යංශය මට කතාකරලා සුබ පැතුවා. එයාලා සමහරවිට මට උදව් කරයි. එහෙත් දැනට ඒක හරියටම කියන්න බැහැ."

"තහනම් උත්තේජක කියන එකයි සප්ලිමන්ට් කියන එකයි ලොකු විෂයක්. ඒක ගැන සුලූවෙන් කතා කරන්න බැහැ. ඒ නිසා ලෝක කුසලානයකට වගේ ලොකු තරගායවලියකට යනකොට අනිවාර්යයෙන් තහනම් උත්තේජක සම්බන්ධයෙන් පරීක්‍ෂණයකයට අපිට මුහුණ දෙන්න වෙනවා. අපි මේ පාර යදිදිත් එහෙම පරීක්‍ෂණයකට මුහුණ දුන්නා. එකේ කිසි ගැටලූවක් නැහැ."

නොයෙකුත් බාධක දුෂ්කරතා මැද මවුබිමට අභිමානයක් ගෙනා ලූෂන්ට උණුසුම් සුභ පැතුම්!