හම්බන්තොට ඇතැම් පාසල්වල ගුරුවරුන්ට තෑගිදෙන්න දෙමව්පියෝ සල්ලි එකතු කරලා - දුප්පත් දෙමව්පියෝ අසරණ වෙති !

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ පාසැල් කිහිපයකම ප්‍රාථමික අංශවල ගුරුවරුන්ට වර්ෂ අවසානයේ තෑගි බෝග ලබාදීමට ඇතැම් දෙමාපියන් මුදල් එකතු කිරීම හේතුවෙන් ඇතැම් දූප්පත් දෙමාපියන් දැඩි අසරණ තත්වයකට පත් වි තිබේ.

 දෙමාපියන් පවසන්නේ පාසලේ ප්‍රාථමික අංශවල ගුරුවරුන් සමග දැඩි හිතවත්කමින් සිටින ඇතැම් දෙමාපියන් ගුරුවරුන්ට තෑගි බෝග දීමට අනෙකුත් දෙමාපියන්ගෙන්ද මුදල් එකතු කරන බවත්, එහිදී දූප්පත් දෙමාපියන්ට මේ සදහා මුදල් දිය නොහැකි නමුත් දරුවා පාසල තුළදි කොන්වීමකට ලක්‌වේය යන බිය නිසා ණයට, පොලියට හෝ කණ කර ආභරණ හෝ විකුණා මේ සදහා මුදල් ලබා දීමට සිදූව ඇති බවයි දෙමාපියන් පවසන්නේ. පසුගිය පාසල් නිවාඩු කාලයට පෙර එලෙස පාසැල් කිහිපයකම ගුරුවරුන් සදහා තෑගි බෝග ලබා දිමට සිදු වූ පුවත් කිහිපයක්‌ම අපට වාර්තා විය. එක්‌ පාසලක ගුරුවරියක්‌ සදහා පංතියේ දරුවන්ගේ දෙමාපියන්ගෙන් මුදල් එකතු කර රත්තරන් පෙන්ඩන්ට්‌ එකක්‌ ලබා දී තිබේ. ඒ පිළිබඳව අප කළ සොයා බැලීමේදී දැනගැනීමට ලැබුනේ අදාළ ගුරුවරිය එම ත්‍යාගය ප්‍රතික්‌ෂේක කළ නමුත් දෙමාපියන් සිය කැමැත්තෙන් මෙම ත්‍යාගය ඇය වෙත ලබා දූන් බවයි. කෙසේ නමුත් ඒ සඳහා මුදල් ලබා දුන් දෙමාපියන් කිහිප දෙනෙකු පැවසුවේ පාසැල් තුළින් මෙම ක්‍රමය වහා නතර කළ යුතු බවයි.
පාසලේ පංති බාර ගුරුවරියන් සමග සමීපව සිටින ඇතැම් දෙමාපියන් මේ සඳහා මුදල් එකතු කිරීමට පියවර ගන්නා බවත්, ඔවුන් පංතිභාර ගුරුවරියට තෑගි සඳහා මුදල් එකතු කරන බව පවසා අනෙකුත් දෙමාපියන්ගෙන්ද මුදල් එකතු කරන බවත් ඒ සදහා මුදල් නොදෙන දෙමාපියන්ගේ දරුවන් පාසලේදී කොන් කරන බවත් දෙමාපියන් පිරිසක්‌ අපත් සමග පැවසීය.

 මීට අමතරව හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ තවත් පාසලක ගුරුවරයෙකු සදහා පාසැල් සිසුන්ගෙන් මුදල් එකතු කර රුපියල් 30,000/} ක මුදල් වවුචරයක්‌ද ලබා දී තිබේ. මීට අමතරව තවත් ගුරුවරුන් කිහිප දෙනෙකුටම මේ ලෙස විවිධ තෑගි භෝග ලබාදීමට සිසුන්ට සිදූව තිබේ. මේ සඳහා සිසුන් මුදල් ලබා නොදුන් විට ඒ සිසුන් පාසල තුළදී කොන් කිරිමකට ලක්‌ කරන බවත් ඒ නිසා අමාරුවෙන් හරි මුදල් ලබා දෙන බවයි දෙමාපියන් පවසන්නේ.

 වෙනදා පාසලට බුලත් හුරුල්ලක්‌ අරගෙන ගිය දරුවන්ට අද පන්ති බාර ගුරුවරයා හමුවට යාමට සිදුව ඇත්තේ දහස්‌ ගණනක්‌ වටිනා තෑගි භෝග අරගෙන විම කණගාටුවට කරුණකි.වෙනදා ගුරුවරයා හමුවට රැගෙන ගිය බුලත් හුරුල්ල කැලේට විසි වි ඒ වෙනුවට සෝෆා සෙටි, මුදල් වව්චර්, රත්තරන් මාල, වලු, පෙන්ඩන්ට්‌, ශීතකරණ, වොෂින් මැෂින් ආදිය පෙරට විත් තිබේ.

 දෙමාපියන් ඉල්ලා සිටින්නේ වගකිවයුතු බළධාරීන් මේ පිළිබඳව සොයා බලා මේ සදහා නිසි විසඳුම් ගන්නා ලෙසයි. ඇති හැකි ඇතැම් දෙමාපියන් ගුරුවරුන් සදහා තෑගි බෝග දුන්නද බොහෝ දෙමාපියන්ට එලෙස කිරීමට වත්කමක්‌ නොමැත.

දිවයින