පැය හයේ මොළයේ සැත්කම අතර ගිටාර් ගැහුව මූසා

සිය මොළයේ සිදුකළ පැය 6ක සැත්කමක් අවසන් වන තෙක් සිය ගිටාරය වාදනය කළ අපූරු ජෑස් සංගීතඥයෙකු පිළිබඳ පුවතක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වේ.

මූසා මන්සීනි නම් මොහු, මේ වන විට සාර්ථක ලෙස සුවය ලබමින් සිටින බව පැවසේ.
ඩර්බන් නගරයේ Chief Albert Luthuli රෝහලේ සිදුකෙරුනු මෙම සැත්කම විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් විසින් සිදුකර තිබුණි.

මන්සීනි වෘත්තිමය සංගීතඥයෙකු බැවින් ඔහුගේ ඇඟිලි වල සෙලවීම සුරක්ෂිත කිරීමට මේ ආකාරයෙන් සැත්කම සිදුකර තිබේ.

මොළයේ ක්‍රියාකාරිත්වය අඩුවීම හෝ අංශභාගය වැළඳීමේ අවදානම අවම කරමින්, මොළයට සිදුවිය හැකි හානිය අවමකිරීමට සම්පූර්ණයෙන්ම නිර්වින්දය නොකර ශල්‍යකර්මය සිදුකිරීමට කටයුතු කළ බව එම වෛද්‍ය කණ්ඩායම පවසයි.

සම්පූර්ණ සුවය ලැබීමෙන් පසුව යළිත් සිය සංගීත වේදිකාවට පිවිසෙන බව මන්සීනි සඳහන් කරයි.