"එක දිගට ප්‍රශ්න එනවා නම් නොගැළපීම් තියෙනවා නම් ඒක ඉදිරියට ගෙනිහින් වැඩක් නෑ.." - නුවන් ගුණසේකර

මගේ ජීවිතේ මේ වෙනකල් මම උපන් දින පාටි අරගෙන නෑ. ඒත් මට ආදරය කරන පිරිස මාව මේ සැරේ උපන් දිනය දවසේත් පුදුම කළා. හරියටම පාන්දර ‍ෙදාළහට පවුලේ අය මාව පුදුම කළා. ඒ වගේම මගේ නර්තන පන්තියේ දරුවොත් මට ගොඩක් ආදරෙයි. ඒ දරුවෝ එකතු වෙලා මගේ උපන්දිනයට මාව පුදුම කළා. ඊට අමතරව මම දිගටම මගේ උපන් දිනයට පුරුද්දක් විදියට කරපු දෙයක් තමයි අසරණ මිනිසුන් වෙනුවෙන් කෑම වේලක් ලබා දෙන එක. ඒකත් මම මේ පාර කළා.
නුවන් මේ දවස්වල රංගන කටයුතුවල දකින්න නැත්තේ?
මේ දවස්වල මම ගොඩක් ඉන්නේ නුවර. මම පොඩි ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒ වැඩ කටයුතුවලට සහ මගේ නර්තන පන්තියේ වැඩකටයුතුවලට මම කාර්යබහුල වුණ නිසා රංගන කටයුතුවලට සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ.

කොච්චර කාලයක් රංගනයට විරාම තිබ්බද?
අවුරුද්දක් විතර මම රංගන කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ.

මේ දවස්වල මුල් තැන නර්තනයට වගේ?

ඇත්තටම නර්තනය පැත්තට තමයි මේ දවස්වල මුල්තැන දීලා තියෙන්නේ. නමුත් රංගන කටයුතු කරන්නේ නෑ නෙවෙයි. පොඩි විරාමයක් තියලා හොඳ වැඩකට ආයෙත් සම්බන්ධ වෙනවා.

ආරාධනා අඩුවෙලා නුවන් රංගනයෙන් පසුබැස්සා නෙවෙයිද?

නැහැ. මට නිර්මාණවලට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණා. මෙගා ස්ටාර් වැඩසටහනේ ඉන්න කාලේ තමයි ඒ ආරාධනා ලැබුණේ. පුහුණුවීම් දිගටම තිබ්බ නිසා ඒ ලැබුණු නිර්මාණ අතහරින්න සිද්ධ වුණා. ආයෙත් වැඩ පටන් ගන්න බලාගෙන ඉන්නවා. දැන් තියෙන තත්ත්වය එක්ක අපිට නිර්මාණයෙන් ලැබෙන දේ ගැන හිතන්න ඕන. කාලය වෙන් කරන්න පුළුවන්, ඒ චරිතය කොයි තරම් හොඳ චරිතයක්ද ඒකෙන් ලැබෙන ආදායම කියන හැමදේම ගැන දැන් හිතන්න වෙනවා. හොඳ චරිතයක් නම් කැමැත්තෙන් කරනවා.

නුවන් මුදලට මුල් තැන දෙන කෙනෙක්ද?
මුදල් නැතිව මොනවත් කරන්න බෑනේ. ආසාවට නිකන් ගිහින්, වැඩ ඉල්ලගෙන ගිහින් රඟපාපු කාලයක් තිබුණා. තාමත් අපි එතැන ඉන්න ඕනේ නැහැ. ඕනම කෙනෙක් කරන දෙයකට වටිනාකමක් තියෙන්න ඕන. අපි කරන කැප කිරීමට සාධාරණ ගෙවීමක් අවශ්‍ය වෙනවා.

රංගනයේ නිහැඩියාව ඔබ බලාපොරොත්තුවෙන් ඉන්න ප්‍රේක්‍ෂකයන්ට කරන අසාධාරණයක් කියලා හිතෙන්නේ නැද්ද?
මගේ මුහුණුපොතේ ඉන්න මට ආදරය කරන පිරිස ඒ වගේම ලංකාවෙන් පිට ඉන්න අය පවා මගෙන් අහනවා ඇයි පේන්න නැත්තේ කියලා. මම හිතන්නේ හැමදේම වෙන්න ඕන ක්‍රමයක් තියෙනවා. මම විරාමයක් ලබා ගන්න එක හොඳයි. ඊළඟට ප්‍රේක්‍ෂකයෝ වෙනුවෙන් හොඳ වැඩකට සම්බන්ධ වෙන්න පුළුවන්.

සමහරු ජනප්‍රිය දේවල් අතහරින්න කැමැති නෑ. නුවන් රංගනයෙන් ලබා ගන්න ජනප්‍රියත්වය පැත්තක තියලා ව්‍යාපාරිකයෙක් වෙන්න හිතුවේ?
අපේ ජීවිතේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕන. ජනප්‍රියත්වය කියන දේ කාලෙන් කාලෙට අඩු වැඩි වෙනවා. මොන දේ කළත් අපිට ස්ථාවරත්වයක් තියෙන්න ඕන. රංගනය කරලා ස්ථාවරත්වයක් ගොඩනඟා ගන්න අමාරුයි. ස්ථාවරත්වයක් ගොඩනඟා ගන්න අපේම දෙයක් කරන්න ඕන. ව්‍යාපාරයක් කරන ආසාව පොඩි කාලේ ඉඳන්ම තිබුණු දෙයක්.

විවේකයෙන් පස්සේ රංගනයේ ආරම්භය හොඳ ආරම්භයක් වෙයිද?
දැන් මම ටෙලි නාට්‍යවලට වඩා චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ටෙලි නාට්‍යවලින් හැම වෙලාවෙම පේන්න ඉන්නකොටත් එපා වෙනවනේ. ඒ නිසා ටික කාලයක විරාමයක් අරගෙන චිත්‍රපටයකට සම්බන්ධ වෙන අදහසින් ඉන්නවා. ඒක මගේ සිහිනයක්. මම පොඩි කාලේ ඉඳන් මාෂල් ආට් කළා. ඒ පැත්තෙන් ක්‍ෂේත්‍රයේ යමක් කරන්න ආසාවෙන් ඉන්නවා. සිනමාව පැත්තෙන් ඒ හැකියාවට අවස්ථාවක් ලැබෙන කල් බලාගෙන ඉන්නවා.

රංගනයට සම්බන්ධ නොවුණා කියලා ජනප්‍රියත්වය අඩු වෙලා නැද්ද?
ජනප්‍රියත්වය අඩු වෙලා නැහැ. කොහොමත් මම ජනප්‍රියත්වය පස්සේ ගිය කෙනෙක් නෙවෙයි. රංගනයෙන් අෑත් වෙලා හිටියත් දුකක් නෑ. සම්බන්ධ වෙන දෙයට උපරිම දෙයක් කරන්න තමයි මම කැමැති.

දැන්ම ජීවිතේ වෙනසක් වෙයිද?
ජීවිතේ වෙනසක් වෙන්න තිබ්බා. ඒත් ඒක යම් යම් ප්‍රශ්න මත අතරමඟ නතර වුණා. එක දිගට ප්‍රශ්න එනවා නම් නොගැළපීම් තියෙනවා නම් ඒක ඉදිරියට ගෙනිහින් වැඩක් නෑ. ජීවිතේ වෙනසක් කරගන්න ඉදිරියේදී බලමු.

තිළිණි කෞශල්‍යා විජේසිංහ