"ජීවිතේ ලොකු දේවල් වලට වැඩිය පුංචි දේවල් වලින් තමයි ආදරයක් රදා පවතින්නේ" - මාධවී වත්සලා

මාධවී වත්සලා, එහෙමත් නැත්නම් ජැක්සන් හා කුමාරිගේ වැඩිමල් දියණිය ළඟදීම විවාහ වන්නට යන බව පසුගිය කා‍ලේ කනෙන් කොනින් ආරංචි වුණත් ඒ ගැන විමසුවාම මාධවී පිළිතුරු නොදී මගහැරියේ අනාගතයේ ඒ සැමදේ කියන්නම් කියන ‍පොරොන්දුව පිට. දැන් දැන් මාධවී තමන්ගේ ආදරවන්තයා ගැන තොරතුරු වගේම ඡායාරූපත් පළකරනවා. ඉතින් මාධවීගේ ආදර කතාව ගැන ඇය පුවත්පතකට මේ විදයට කියලා තිබුණා.

ආදරයක් කෙනෙකුගේ ජීවිතයට මොන තරම් වටිනවාද?

මං හිතන්නේ ඒක ලොකු වැදගත්කමක් තියෙන දෙයක්. මම කතෝලිකයෙක් විදිහට ඒක මුලින්ම ඉගෙන ගන්නේ බයිබලයෙන්. දෙවියන් වහන්සේ මිනිසා තමන්ගේ ස්වරූපයට මිනිසා මැව්වට පස්සේ ඔහුගේ ඉළ ඇටයක් අරගෙන ස්ත්‍රියක් මවනවා. බයිබලයේ උප්පත්ති පොතේ එක තැනක සදහන් වෙනවා මිනිසා තම මවද පියාද අතහැර භාර්යාවට බැෙදන්නේද යම්සේද එදිනට මේ දෙදෙනාම එක්කෙනෙක් වන්නේය කියලා. මිනිසාට තනිවම ජීවත් වෙන්න පුළුවන් නම් දෙවියන්වහන්සේ එදා ගැහැණියක්ව මවන්නේ නැහැ. මැවීම කියන සංකල්පය විශ්වාස කරන කෙනෙකුට මේ බව සනාථ කරන්න බොහෝ කරුණු තියෙනවා. අපේ ඇෙග් අපේ මනසේ අපේ ජානවල මේ දේ තියෙනවා. කෙනෙකුට තනිවම ඉන්න වෙනවා” වෙන්න පුලූවන් ඒත් එහෙම ඉන්න කවුරුත්ම කැමැති නැහැ.

ජීවිතයේ හැම තීරණයකදීම ආදරය ජීවිතය ළග තියෙන්න ඕනෑ කියලද හිතන්නේ ?

මම නෙවෙයි මා තවත් කෙනෙක් නම් මට තනියෙන් තීරණයක් ගන්න අවශ්‍යතාවයක් නැහැනේ. ජීවිතයේදී ශාරීරික සුවතාවයට වඩා මානසික සුවතාවයට තමයි කෙනෙකුට තවත් කෙනෙක් උවමනා වෙන්නේ. කාන්තාවක් සහ පුරුෂයෙක් යන දෙදෙනෙක් එකතු වුණහම කාන්තාව ළග නැති ශක්තීන් ටිකක් පිරිමියා ළග තියෙනවා. පිරිමියා ළග නැති දේවල් ටිකක් කාන්තාව ළග තියෙනවා. මේ දෙදෙනා එකට එකතුවෙලා තම තමන්ගේ දේවල් බෙදාගෙන ජීවත්වෙන එක පහසුවක් වෙනවා.

ඔබට ඔබගේ ආදරය හමුවෙන්නේ ?


අනිවාර්යයෙන්ම. ඒක අහම්බයක්. මම හිතාගෙන හිටි කෙනෙක් නෙවෙයි. එයා මිලාන්. මගේ මිතුරෙක් වන සංදීප ජයකොඩිගේ යාළුවෙක්. අපි හමුවෙන්නේ සාදයකදී. එතැනදී අපි ගැන හදුනාගෙන මිතුරු මිතුරියන් බවට පත්වෙනවා. එයාට මං ගැන අදහසක් පහළ වෙලා මට ඒ ගැන පවසනවා. නමුත් මම ඒකට කැමැති වෙන්නේ නැහැ. මොකද ඒ වෙනකොට මට ජීවිතයේ තිබුණ අත්දැකීම් එක්ක මට ඒ වෙද්දි සම්බන්ධතාවයක් ඇතිකර ගන්න කැමැත්තක් විශ්වාසයක් තිබුණේ නැහැ. නමුත් ඒ වෙද්දි මිනිසුන් ගැන මගේ හිතේ තිබුණ අපැහැදීම එයා පැහැදීමක් බවට පත්කළා. මම මිනිසුන් ගැන හිතාගෙන හිටිය විදිහම නෙවෙය’මේ ලෝකේ විශ්වාස කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා කියල එයා මට ඔප්පු කළා.

මේ ආදරයට හා කියන්න පෙර ඔබට වැදගත් වුණ කාරණා මොනවාද ?

එයා මං ගැන පවතින ක්‍රමය කුමක්ද කියලා මට දැනගන්න ඕනෑවුණා. එයා මාව විනිශ්චය කරනවාද? මං ගැන පුර්ව විනිශ්චයකින් ඉන්නවාද කියන එක මම දැනගත්තා. මොකද එහෙම කෙනෙකුට මං කැමැති නැහැ. දෙවෙනි කාරණය දෙමව්පියන්ගේ කැමැත්ත අපි දෙන්නම කතා බහකරගෙන තිබුණා. අපි දෙන්නගේම දෙමවුපියන් අකමැති වුණොත් අපි මේ සම්බන්ධය නතර කරමු කියලා.

ඔබ හා ඔබ පවුලේ ජනප්‍රියත්වය ප්‍රේමකතාව පටන් ගනිද්දි ඔහු හදුනාගෙන හිටියාද ?

එයා මාව දැනගන්න පෙරත් මට කැමැත්ත ඇතිවෙනකොටත් මම කවුද කින්ද මන්ද කියලා මං ගැන කැමැත්ත ඇතිවුණේ මං කවුද කියලා දැනගෙන නෙවෙයි. යාළුවෙක් විදිහට තමයි අපි සමීප වුණේ. එයා මගේ සුවිශේෂතා හදුනාගෙන තිබුණා. මගේ නිරහංකාර බව කෙලින් කතාකරන බව වගේ දේවල් අපේ පවුලේ හෝ මගේ ජනප්‍රියත්වය මේ තැනදී ඔහුගේ තීරණයට බල නොපෑ බවට මට තියෙන හොදම සාක්ෂිය. එයාට මගේ අප්පච්චි ගැන චකිතයක් තියෙනවා නම් මගේ අප්පච්චි හමුවෙලා එකට ආහාර වේලක් ගන්න ගමන් මේ සම්බන්ධය ගැන කතා කරන්න යන්නේ නැහැනේ. ඒ හමුවේදී අප්පච්චි එයාව හඳුනාගෙන තිබුණා. අප්පච්චි ඔහුව ආදරයෙන් පිළි ගත්තා කිව්වොත් හරි.

මාධවීගේ ආදරය දිනාගන්න ඔහු තුළ තිබුණ සුවිශේෂතා මොනවාද ?

එයා හරිම ආදරණීය චරිතයක්. ආදරය විදින්න හරි ආසයි. එයා හරියට ආකර්ශනය බලාපොරොත්තු වෙනවා. එයා මා එක්ක තරහවුණ අවස්ථා වලින් දහයෙන් අටක් විතරක් ගත්තොත් එයා තරහවෙලා තියෙන්න්නේ පුංචිම පුංචි දේවල් වලට. එයා ඒ තරම් සංවේදී කෙනෙක්. එයා මාව පුදුම කරනවා.

ඔබත් ඔහු වගේම සියුම් තැන්වලින් ආදරය විදින චරිතයක්ද ?


ඔව්. මමත් එහෙම තමයි. ජීවිතයේ ලොකු දේවල් වලට වැඩිය පුංචි දේවල් වලින් තමයි ආදරයක් රදා පවතින්නේ. අපි කීයෙන් කී දෙනාද? විවාහ වෙලා දරුවො ලැබුණට පස්සේ මම ඔයාට ආදරෙයි” ඔයා එහෙම කියත්දි මට දුක හිතෙනවා වගේ වචන හුවමාරු කරගන්නේ.

මාධවි මිලාන් ආදර ලෝකයට එකම සදක් පායන දවස අත ළගයි නේද ?

අපි දැන් විවාහ වෙලා ඉන්නේ. විවාහ උත්සවය ලබන වසරේ කරන්න සුදානම් කරලා තියෙනවා. ඉතින් බලාපොරොත්තුවෙන් ඉන්නවා ජීවිතයේ හොදම දවස ලස්සනට සිදුවෙයි කියලා.

පවුල් ජීවිතය ගැන මාධවිගේ හීනය ?

තමන් හා සමානව හිතන කෙනෙක් ළගින් ඉන්නවා නම් දෙවියන් වහන්සේගේ කැමැත්ත තියෙනවා නම් දරුවන් ලබලා පවුල් ජීවිතයේ ඉදිරියට යන්න ලැබෙයි. මම කියන්නේ දරුවන් ලැබුණොත් විතරයි පවුල් ජීවිතයේ ඉදිරියට යන්න පුළුවන් කියලා නම් නෙවෙයි. මම ජීවිතයේ කිසිම දෙයක් ගැන පුර්ව විනිශ්චය දෙන කෙනෙක් නෙවෙයි. හිතේ සාමය සැනසීම තමයි ලස්සන පවුල් දිවියකට වටින්නේ.

ධම්මිකා සුරංජි පතිරණ
(දිවයින පුවත්පත)