පොදි බැඳීමට වඩා අත් හැරීමට කැමැතියි - කොරීන් අල්මේදා

දෙසැම්බර් මාසය එළැඹෙන විට බොහෝ සංගී? ශිල්පීන් කාර්ය බහුල වෙනවා. ඒ අතරින් අතිශය කාර්ය බහුල වන ශිල්පිනියක ලෙස කොරීන් අල්මේදා හඳුන්වන්න පුළුවනි. දශක කීපයක් තිස්සේ ප‍්‍රසංග වේදිකාව වේග රිද්මයෙන් සහ ඇයටම ආවේනික ශෛලියෙන් රසගන්වන කොරීන් කාලයකට පසුව කතාබහකට එක් වූ අයුරුයි මේ.
 කොරීන් හරිම කාර්ය බහුලයි නේද?

කොහොමටත් මේ මාසයේ සහ අපේ‍්‍රල් මාසවලදී තමයි වඩාත් කාර්ය බහුල වෙන්නෙ. ඒ හැරත් නිතරම ප‍්‍රසංග වෙනුවෙන් විදේශ සංචාරවල යෙදීමට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මාස තුන හතරක්ම ලංකාවේ හිටියෙත් නැහැ.

 31 රාත‍්‍රියේදීත් ලංකාවෙ නැහැ නේද?

ඕස්ටේ‍්‍රලියාවෙ ප‍්‍රසංගයක් පැවැත්වෙනවා. ඉතින් එහෙ යාමට දැන් තියෙනවා. 2019 අවුරුදු උදාව සමරන්න වෙන්නෙත් ඕස්ටේ‍්‍රලියාවේදි. 2 වැනිදා ආපහු ඇවිත් නැවත ඉතාලිය බලා පිටත් වෙනවා. මගේ නංගිගෙ දුවගෙ විවාහ උත්සවය තියෙන්නෙ වෙනීසියෙ.

 කොරීන්ගේ පවුලේ අයගෙ විස්තර කිව්වොත්?

නංගි සහ මල්ලි. නංගි වසර 20ක් තිස්සේ ජීවත් වෙන්නෙ ඉතාලියෙ. මල්ලි සංගීතය කරන්නෙ. එයා හිල්ටන් එකේ සතියට දින 3ක් සංගීතය සපයනවා. මම සහ මගේ පුතා එක්ක අපේ අම්මා ඉන්නවා. නංගි වෘත්තියෙන් සූපවේදිනියක්. ඇයටත් ගීත ගයන්න පුළුවනි. ගිය වසරේදි අපි ෆැමිලි ප‍්‍රසංගයක් කළා.

 ඔබගෙ පුතාටත් ගීත ගයන්න පුළුවනි ද?

ඔව්. එයා තරමක් වෙනස් ධාරිතාවයක් ඇති චරිතයක්. එයාට පොත් ලියන්න පුළුවනි. මේ වනවිට ඉංග‍්‍රීසි භාෂාවෙන් පොත් දෙකක් එළිදක්වා තියෙනවා. ඉංග‍්‍රීසි වේදිකාවේ ෂේක්ෂ්පියර් නාට්‍යවලත් රඟපානවා. ඉංග‍්‍රීසි චිත‍්‍රපට කිරීමට එයා ආසයි. ඒ වගේම මා එක්ක ගීතයකුත් ගායනා කළා. මේ වනවිට එයාගෙම ගීත 5ක් නිර්මාණය කර තිබෙනවා. එයින් දෙකක් පසුගියදා ශැි ත්‍ඵ එකේ විකාශය වුණා.

 පුතාගෙ නම?

බ‍්‍රැන්ඩන් ඉන්ග‍්‍රම්

 කොරීන් සංගීත ක්ෂේත‍්‍රයට ආවේ නැත්නම්?

මම මහජනතාවට හරි ලැදි කෙනෙක්. සංචාරක හෝටල් ක්ෂේත‍්‍රයේ හිටියා. ගීත ගායනය මට පවුලෙන් උරුම වූ දෙයක්. තාත්තා නිතරම වගේ ගිටාරය වයමින් ගීත ගායනා කළා. අපේ සීයාගෙ නම ක්ලැරන්ස් ලෝඞ්. ඒ දිනවල එයා ප‍්‍රකට වාදකයකු වුණා.

 ඔබ හීන මැව්වෙත් ගායිකාවක වීමට ද?

ලොකු හීන මැව්වෙ නැහැ. අදටත් මට ලොකු හීන නැහැ. හරිම චාම් විදියට තමයි ජීවත් වෙන්නෙ. මම ජීවිතයේ ගමනක් ආවේ බලාපොරොත්තු පොදි බැඳගෙන නෙවෙයි. අඩියෙන් අඩිය හෙමිහිට පියවර තබමින් ආ ගමනක්. අද මම වෙලාව ලැබුණාම ‘යෝග’ ව්‍යායාම් කරනවා. අනෝජා වීරසිංහ අක්කා යටතේ තමයි ‘යෝග’ හදාරන්නෙ. මේ නිසා මගේ ජීවිතය දැන් වෙනමම මාර්ගයකට හැරවිලා. පොදි බැඳීමට වඩා අත්හැරීම කියන දේට දැන් මම පෙළඹිලා. අනෝජා අක්කා හරි ලොකු සේවයක් තමයි කරන්නෙ.

 ඒ කියන්නෙ සැබෑ ජීවිතයේදී කොරීන් යනු වේදිකාවේ නටන දඟළන චරිතය නෙවෙයි?

මම විනෝදාස්වාදය ලබාදෙන සංගීත ශිල්පිනියක්. එහිදී වේදිකාව මතදි මම මගේ කාර්යභාරය කරනවා. එහෙම කරන්නෙ මගේ පේ‍්‍රක්ෂකාගාරය වෙත පමණයි. එය මට දෙවියන්වහන්සේ ලබාදුන් දක්ෂතාවය නිසයි.

 සමහරු කියන්නෙ කොරීන් එන්න එන්න ලස්සන වෙනවා කියලයි? මොකක් ද රහස?

අපි දවස ගාණේ වයසට යනවා. ඒක වළක්වන්න කාටවත් බැහැ. ඒක තමයි සත්‍යය. මම හිතන්නෙ මතුපිටින් පෙනෙන්නෙ ඇතුළාන්තයේ පෙනුමයි. ඇතුළාන්තයේ ලස්සන වෙන්නෙ, නිහතමානී බව සහ කාරුණික බව එක්කයි. අද කාලයේ බොහෝ දෙනා වෛරයෙන්, කුහකකමින් ජීවත් වෙන්නෙ. ඒ දේ අඩුවන තරමට ඇතුළාන්තයෙහි ඇති ප‍්‍රසන්න බව මුහුණින් පේනවා. මගේ ඇතුළාන්තය මට හැෙඟන විදියට සුන්දරයි. මට හැකි විදියට හැකි තැන්වලදි සමාජයට උදව් කරනවා.

 ‘කොරීන්’ කියන නම ඔබට ලැබුණෙ කොහොම ද?


ඉස්සර බටහිර ගීතයක් තිබුණා. එය ගායනා කළේ අසහාය ගායක එල්විස් ප්‍රෙස්ලි තවත් ගායකයින් ගයා තිබෙනවා. කොරීනා, කොරීනා එම ගීතයයි. කොරීනා කොරීන් ලෙස මට නම දාලා.

 කොරීන් ගායනයට ආවේ ළමා වියේදිම නේද?

ඔව්, ගායනය ජීවිතයේ රිද්මය වී තිබුණා. පොඩි කාලයේ ඉඳලාම මම ඉන්ද්‍රානි පෙරේරා අක්කගෙ ගීතවලට පුදුම විදියට ආසා කළා. එයාගේ සෑම ගීතයකටම වගේ ආසයි. පසු කාලයකදී එයා ගැයූ ‘අම්මා’ ගීතය මගේ හදවතේ රැුඳුණු ගීතය වුණා. ඒ දිනවල ඒ ආසාව නිසාම ඉන්ද්‍රානි අක්කගෙ ගීත කීපයක් ගායනා කළා. ඒ කාලයේ වඩා ජනප‍්‍රිය වූ ඩැල්රීන් සුබී සහ ශ්‍යාමි ෆොන්සේකාගේ ගීතත් ගායනා කළා.

 ප‍්‍රසංග වේදිකාව දෙවනත් කරන කොරීන්ගෙ අපි නොදන්නා තවත් දක්ෂතාවයක් ගැන කිව්වොත්?

මම ගෘහස්ථ අලංකාරතා කටයුතුවලට දක්ෂයි කියලා හිතනවා. වර්ණ ගළපන්න එහෙම හොඳට පුළුවනි. ඒ වගේම ඉවුම් පිහුම් කටයුතුත් හොඳට පුළුවනි. අපේ පුතා මම හදන බ්‍රෙඞ්, පුඩිං, ලව් කේක්, බිරියානි, වම්බටු මෝජුවට හරිම ආසයි.

 කොරීන්ට ආදරය ජීවිතය දැනෙන්නෙ කොහොම ද?

ජීවිතය කියන්නෙ හරිම අපූරු ශුද්ධ වූ දෙයක්. වටිනාම වූ ආශ්චර්යයක්. ආදරය කියන්නෙ ඉතාම සුන්දර දෙයක්. එකිනෙකාට කරන ආදරය වෙනස්. මව, පියා, සහෝදර, සහෝදරියන්, යාළු මිත‍්‍රයින්ට, ඥාතීන්ට, පුතාට, සමාජයට කරන ආදරය විවිධාකාරයි. ඒක හරිම නිර්මල පිවිතුරු වචනයක්. මහ පොළවෙ හොඳට පය ගහලා ඉන්න අපට දෙවියන්වහන්සේ අපූරු අවස්ථාවක් ලබාදීලා තියෙනවා. අපි ඒ අරුත තේරුම්ගෙන ජීවත්වීම වැදගත්.