රටකජු කනවා වගේ ගීත එක එක කරලා පලක් නැහැ

සංගීත ක්‍ෂේත්‍රය තුළ ‘ජයශ්‍රී’ යනු ජනප්‍රිය සලකුණකි. ලෝකය පුරා ප්‍රසංගවලට දායක වන ඔවුන් ලංකාවේද ප්‍රසංග කිහිපයකට දායක වීමට නියමිතය. දෙසැම්බර් මසදී ‘රෙගේ තංගල්ල’ නමින් ‘harmony beach’හිදී පැවැත්වීමට නියමිත ප්‍රසංගය පිළිබඳ හා සංගීත නිර්මාණ කටයුතු පිළිබඳ කතා කිරීමට ජයශ්‍රී කණ්ඩායමේ රෝහිත අප හා මෙලෙස එක් විය.
 ‘රෙගේ තංගල්ල’ කියන්නේ ඔබ මෙවර පැවැත්වීමට නියමිත ප්‍රසංගය. මේ ගැන මුලින්ම කතා කරමු?

අපි ලංකාවට පැමිණි පසු ප්‍රසංග කිහිපයක්ම කරනවා. ඒ අතරින් මේ ප්‍රසංගය විශේෂ වෙයි. විශේෂයෙන්ම හික්කඩුව, ගාල්ල, මිරිස්ස වැනි ප්‍රදේශවල විශාල ප්‍රේක්‍ෂකාගාරයක් අපට ඉන්නවා. පසුගිය වසරේ අපි ‘රෙගේ මිරිස්ස’ නමින් ප්‍රසංගයක් කළා. සමහර විදේශික රසිකයන් අපි ප්‍රසංග පවත්වන කාලය බලා ලංකාවට පැමිණෙනවා. මේ වසරෙත් දෙසැම්බර් 29 වැනිදා ‘රෙගේ තංගල්ල’ නමින් හාමනීබිච්හීදී ප්‍රසංගයක් පැවැත්වෙනවා. එදිනත් ප්‍රදර්ශනයක් ලෙස මෙය පැවැත්වෙන්නේ. ‘ලයින් වන්’ සංගීත කණ්ඩායම හා තවත් රෙගේ සංගීත කණ්ඩායමක් එදිනට එකතු වෙනවා. යුරෝපීය රටවල පැවැත්වෙන ප්‍රදර්ශනාත්මක සන්දර්ශන ආරයේ ප්‍රසංගයක් පවත්වන්න තමයි අපි උත්සාහ කරන්නෙ.

 මෑතකදීම ඔබ ‘සාමය’ නමින් සංයුක්ත තැටියක් වෙළෙඳ පොළට නිකුත් කළා?

ඔව්, මේ වන විට එය එළිදක්වා වසර එකහාමාරක පමණ කාලයක් ගත වෙනවා. එහි නව ගීත පහළොවක් අන්තර්ගතව තිබෙනවා. විශේෂම දේ තමයි මේ ඇල්බම් එකට සුපිරි වෙළෙඳ සැල්වලින් ලැබෙන මුදල් අනාථ ළමයින් වෙනුවෙන් තමයි අපි වැය කරන්නෙ.

 මේ කාලවකවානුවේදී ගායන ශිල්පීන් ඇල්බම් එකක් කරන්න යොමු වෙන්නේ නැහැ?

ඒක ඇත්ත. ඒත් ජයශ්‍රී කියන්නේ බෑන්ඩ් එකක්. ඒ නිසා මෙලෙස ඇල්බම් එකක් කරන එක ගොඩක් වැදගත්. රටකජු කනවා වගේ ගීත එක එක කරලා පලක් නැහැ. ඔයා කියන කතාව ඇත්ත. දැන් ගීතයක් ඩවුන්ලෝඩ් කරගෙන අහනවා, එහෙම නැත්නම් ඔන්ලයින්ම අහනවා, එතනින් ඉවරයි. නමුත් යුරෝපයේ එහෙම ඇල්බම් වැදගත් වෙනවා. ලංකාව තුළත්, ලෝකය පුරාමත් අපි කළ ඇල්බම් එකක් අරගෙන රසවිඳින පිරිසක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් තමයි අපි ඇල්බම් එකක් සිදු කරන්නේ. වෙළෙඳ පොළ අතින් බැලුවත් ඉස්සර වගේ ඇල්බම්වලට වෙළෙඳ පොළක් නැහැ තමයි. නමුත් මෙලෙස ඇල්බම් නිර්මාණය කළාම මේක අපේ හතරවෙනි ඇල්බම් එක කියලා අපට කියන්න පුළුවන්. එහි යම් වටිනාකමක් තිබෙනවා. ඒ නිසා මේ ඇල්බම් සිදු කිරීම බෑන්ඩ් එකකට, සංගීතඥයෙකුට වැදගත් වෙනවා. ඒ නිසා මේ කටයුතු වෙන්නේ මුදල් අරමුණු කරගෙනම නෙමෙයි.

 යුරෝපය තුළ කලාශිල්පීන් ලෙස ඔබ කටයුතු කරනවා. ඒ කර්මාන්තය තුළ ඇල්බම් එකට ඇති ඉඩ කෙබඳුද?

මෙහෙමයි, අන්තර්ජාලය තුළ කොතරම් ගීත මුදාහැරියත් පරණ විදිහටම ඇල්බම් එකක් අරගෙන ගීත රසවිඳින පිරිසක් ඉන්නවා. සමහර විදේශිය අය සේම ලංකාව තුළ වුණත් මියුසික් අහන අයගේ කලෙක්ෂන් එකක් තියෙනවා. ඔවුන් ආශාව දක්වන ඇල්බම් ළඟ තියා ගන්න ඔවුන් කැමැතියි. ෆොන් එකක ගීත තිබෙනවාට වඩා එය වැදගත් ලෙස ඔවුන් සිතනවා. මෙය විනෝදාංශයක් ලෙසත් සිදු වෙනවා. නමුත් යුරෝපය තුළ වුණත් ඇල්බම් නිර්මාණය කිරීමේ අඩුවක් තිබෙනවා. ඒ තත්ත්වය දකින්න පුළුවන්. නමුත් ගායකයෙක් ලෙස, බෑන්ඩ් එකක් ලෙස ගීත ඇල්බමයක් නිකුත් කිරීම පිළිගැනීමට ලක්වන කාරණයක්.

 නව ගීත ඇල්බම් එකක් තුළින් තමයි සමාජගත කරන්න යොමු වෙන්නේ. ඒකට හේතුව මාධ්‍යයෙන් ඉඩක් නොලැබීමද?


මේ යන තත්ත්වයත් එක්ක මාධ්‍යයෙන් ගීතයක් ප්‍රචාරය කර ගැනීමේ කටයුත්ත ගොඩක් අපහසුයි. ගොඩක් නාළිකාවල අපේ පරණ සින්දු වාදනය කරනවා. නව ගීත වාදනය වෙනවා අඩුයි. ගීත ප්‍රචාරය කරන්න දැන් යම්යම් ක්‍රමවේද ඇවිත් තිබෙනවා. ඒ ගැන දන්නවානේ. අන්තර්ජාලයෙන් ගීත ප්‍රේක්‍ෂකයන් අතරට ගෙනයන්න පුළුවන්. ඒ වගේම අපි කරන සජීවී සංගීත ප්‍රසංගවලදී ඒ ගීත අහන්නත් පුළුවන්. පරණ ගීත ජනප්‍රිය වුණා කියලා එලෙසම අපි නව නිර්මාණ කරන්නෙත් නැහැ. අලුතින් එන නිර්මාණ අලුත් විදිහට කරනවා. එහෙම කරන කොට සමහර අයට මේ ගීත දිරවන්න ටිකක් කල් යනවා කියලා තේරෙනවා. ‘ශීලා’ වැනි ගීත ඇල්බමය කර වසර දෙකක් පමණ ගත වූ පසු තමයි ජනතාව අතරට ගියේ. එලෙස ජනතාව අතරට ගියාම ඒ ගීත තවත් කාලයකදී ඔවුන්ගෙන් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. අපි ගීතවලින් දෙන පණිවුඩ එහෙම අනාගතය වෙනුවෙන් දෙන්නේ කියලා කියන්න පුළුවන්. අපි කුණු මෙහෙම දාන්න එපා කියලා මීතොටමුල්ල කුණු කන්ද ළඟ ගීතයක් කළා. ඊට වසරකට පසුව කුණුකන්ද නාය ගියා. මෙහෙම පණිවුඩ සමාජයට දෙන්න රූපවාහිනී මාධ්‍ය නොමැති නම්, අපි කුමනම හෝ මාධ්‍යකින් යොමු වෙනවා.

 ‘ජයශ්‍රී’ කණ්ඩායම රූපරචනා නිර්මාණය කිරීමේදී ඉලක්ක කරගන්නේ ලංකාවේ ප්‍රේක්‍ෂකාගාරය නොවීම ඒකට හේතුව වෙන්න බැරිද?

මෙහෙමයි, සමහර අය රූපරචනාවක් කරද්දි බලාපොරොත්තු වෙන්නෙම ඒක හිට්කර ගන්න. ඒක ඒ අයගේ කැමැත්ත. නමුත් අපි රූපරචනාවක් කරන්න යොමු වෙන්නේ ලොකු වියදමක් දරලා නෙමෙයි. සමහර වෙලාවට ටෙලිනාට්‍යය සඳහා අපේ ගීත ලබා ගන්නවා. එහෙම වුණාම රූපරචනාවකුත් කරන්න හැකිවෙනවා. පණිවුඩයක් දෙන්න කැමැති ගීතවලට රූපිරචනාවක් අපිම යොමු වෙලා සිදු කරනවා. සමහර අය පැකේජ් එකක් විදිහටම ගීතයත් රූපරචනාවත් සිදු කරනවා. සමහර සංගීත කණ්ඩායම් හැන්ඩ්කැම්වලින් පවා රූපරචනා සිදුකර තිබෙනවා. වඩා වැදගත් වෙන්නේ රූපරචනාවක් සඳහා වියදම් කරන මුදල නෙමෙයි. ඒ ගීතයේ අන්තර්ගත අර්ථය නිසිලෙස ඉදිරිපත් කිරීම. අපි කළ බොහෝ ගීත ලෝ බජට් එකකින් කරන්නේ. එහි අර්ථයට අනුව සිදු කරන්නේ. එහෙත් එය ප්‍රචාරය නොවෙන්නේ ඇයි කියලා හරියට කියන්න බැහැ.

 නිර්මාණයක් කරද්දි ඔබේ ඉලක්කය යුරෝපීය වෙළෙඳ පොළද?

එහෙම තෝරා ගැනීමක් නැහැ. සිංහල ගීත බොහෝ ප්‍රමාණයක් ලංකාවේ ප්‍රේක්‍ෂකයන් වෙනුවෙන් තමයි නිර්මාණය කරන්නේ. සමහර ඉංග්‍රීසි ගීත තිබෙනවා. එයින් අපි මුළු ලෝකෙටම ගෙන යා හැකි රූපරචනා කරන්න යොමු වෙන්නේ. අපේ ‘හනුමන්තා’ වැනි ගීත ගත්තම සිංහල පදරචනාවක් වුණත් විදේශ රටක කෙනෙකුට වුණත් මේ ගීතය අසා රූපරචනාව බැලීම තුළින් අර්ථය තේරුම්ගත හැකියි. පරිසර දූෂණය, බෝම්බ දැමීම ගැන කතා කරන්නේ. අපි ජාත්‍යන්තර වේදිකාවල පවා සිංහල ගීත බොහෝ ප්‍රමාණයක් ගායනා කරනවා. එවැනි අවස්ථාවල අපි ප්‍රේක්‍ෂකාගාරයට මේ ගීත ගැන කියනවා. මෙලෙස තමයි අපි අපේ ගීත රසිකයන් අතරට ගෙන යන්නේ. බෙදීමක් නැහැ.

 රෙගේ සංගීතය වෙනුවෙන් මේ වන විට නිර්මාණය වී ඇති ලංකාවේ ප්‍රේක්‍ෂකාගාරය ගැන ඔබේ අදහස මොකක්ද?


මේ වන විට රෙගේ සංගීතය ගැන බොහෝ දෙනෙකු දැනුවත්. ඒ නිසා විශාල රසික පිරිසක් මේ වටා එක්ව තිබෙනවා. එය හොඳ දෙයක්. ලංකාවේ වුණත් රෙගේ සංගීතය ගැන කතා කරද්දි ගොඩක් අය රෙගේ රස්තියාදුකාරයින්ගේ සංගීතය විදියට දකිනවා. එහෙම නැත්තම් ගංජාකාරයෙක්ගේ, ඉරිච්ච කලිසමේ සංගීතය වගේ හඳුන්වනවා. මේ දේ නෙමෙයි රෙගේ කියන්නේ. රෙගේ කියන්නේ රතු, කොළ කහ කියන පාට තුන නෙමෙයි. රෙගේ කියන්නේ ගංජාවත් මේ කිසිදෙයක් නෙමෙයි. රෙගේ කියන්නේ ආදරය, සාමය, එකමුතුකම බෙදාගන්න, සංගීත රටාවක්. රෙගේවලින් ඔබ්බට ගියාම රස්තා පාරියන් සංගීත කියන්නෙත් ලොකු අරුතක් තිබෙනවා. එහි අංගයක් රෙගේ කියන්නේ. දැනුවත් කිරීම් ආරම්භවී තිබෙනවා. යුනෙස්කෝ මගින් රෙගේ ජාත්‍යන්තරයෙන් පිළිගත් උරුමයක් ලෙස නම් කරනු ලැබුවා. එය ජැමෙයිකාවෙන් පැවැතගෙන ආ උරුමයක් ලෙස ඔවුන් හඳුනා ගත්තා. අපි කරන්නෙ ජයශ්‍රී අපේ ස්ටයිල් එකේ රෙගේ එකක්. අපි ගොඩක් කැමැත්තක් දක්වනවා මිනිසුන් දැනුවත් කරන්න. නමුත් මේ දැනුවත් වීමවත් හරිහැටි ලබන්න බැහැ. මොනම දෙයක්වත් කරන්න ස්ථාවරත්වයක් මේ රට තුළ නැහැ. ඒකට හේතුව මේ රටේ දේශපාලනය. ලංකාවේ දේශපාලඥයන් කියන අය අපි මෝඩයන් ලෙස සලකා තියෙන්නේ. ඒකට හේතුව වෙලා තියෙන්නේ අපි පාටවලට, පක්‍ෂවලට බැදිලා මිනිසුන් සමග රණ්ඩු වීම. අපි ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ වියානා නගරයේ. මුළු ලෝකයෙන්ම ජීවත් වෙන්න සුදුසුම නගරය ලෙස හඳුන්වන තැන. මානව අයිතිවාසිකම්, සමාජ ක්‍රමය, ආරක්ෂාව, සෞඛ්‍යය වැනි කාරණා සලකා බලා තමයි එලෙස නම් කරන්නේ. එවැනි රටක ජීවත් වුණත් අපි මේ රටට පැමිණෙනවා. එහෙම වුණාම අපි මේ රටේ ලොකු වෙනසක් දකිනවා. අපට ලොකු දුකක් ඇති වෙනවා. අපි ලෝකේ බොහෝ රටවල සංචාරය කරනවා. අපි අපේ රටට වඩා දුප්පත් රටවල සංචාරය කරලා තියෙනවා. නමුත් ඒ රටවල සිස්ටම් එක හොඳට තියෙනවා. ඒ වගේම දේශපාලනය නිසා මිනිසුන් ඇනකොටා ගන්නා රටවල් දැකලා තිබෙනවා. එහෙම රටවල සංවර්ධනයක් නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක ඉන්නේ. අපිව පාලනය කරන අය තීරණය කරන්නේ අපි. ඒ නිසා මේ තීරණය ගන්න ඕන දැනුවත්බාවයකින්. මේ නිසා තේරුම් අරගෙන කටයුතු කරන තත්ත්වයක් ඇති වුණොත් අපේ පරම්පරාවට නැති වුණත් ඊට පස්සේ ඇතිවන පරම්පරාවකට වුණත් හැම ක්‍ෂේත්‍රයකටම හොඳ තත්ත්වයක් ඇති වෙයි.

 නිදුක් මදුෂික
gossip lanka