gossip lanka

"සිනමාහල්වලින් ඉවත් කරන ෆිල්ම් පටි කෑලි ගෙනත් මම පාසල්වල ගේට්ටු ළඟ විකිණුවා.." - දිනේෂ් ප්‍රියසාද්

මගේ තාත්තා විදුහල්පතිවරයෙක්. ඒ වගේම බාලදක්ෂ කොමසාරිස්වරයෙක්. තාත්තාගේ නම ජෝජ් ඇල්ෆ්‍රඩ් පීරිස්. මගේ අම්මත් ගුරුවරියක්. ඉතින් තාත්තාගේ ගුරු පත්වීම් එක්ක අපි විවිධ පැතිවල පදිංචි වුණා. මම ඉපදෙද්දී මගේ මව්පියෝ පදිංචිවෙලා හිටියේ කටුනායක. ඊට පස්සේ අපි දෙහිවල පදිංචියට ආවා. ඒ නිසා මගේ අම්මා දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකාවේ ගුරුවරියක් විදිහට කටයුතු කළා. ඒ ඉස්කෝලේදී තමයි ගාමිණී ෆොන්සේකාත් මුලින්ම පාසල් අධ්‍යාපනය හැදෑරුවේ.

මමත් මුලින්ම හෝඩිය ඉගෙනගත්තේ දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකාවේ. ඊට පස්සේ මම මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේත් අධ්‍යාපනය හැදෑරුවා. මගේ පවුලේ තව අයියා කෙනෙක් ඉපදිලා තියෙනවා. හැබැයි එයා ඉපදිලා පැය හයකින් මිය ගිහින්. ඒ නිසා මායි ගිවන්ත අයියයි තමයි අන්තිමට පවුලේ ඉතුරුවුණේ. වේල්ස් කුමාර විද්‍යාලයේ අධ්‍යාපනය අවසන් කරලා මම රත්මලාන කාර්මික විදුහලේ පාඨමාලාවක් හැදෑරුවා.

සිනමාවට ප්‍රියසාද්ගේ හිත ගියේ කොයි කාලේදීද...?

ඉතාම කුඩා වයසේ ඉඳන්ම සිනමාවට මගේ හිත ගියා. මමයි අයියායි ගෙදරදී චිත්‍රපට පෙන්නුවා. අපි ප්‍රෙජක්ටර් හදලා පුංචි චිත්‍රපට පෙන්නුවා. මගේ තාත්තා බාලදක්ෂ කොමසාරිස්වරයෙක්නේ. තාත්තා අපි පුංචි කාලේ ඉඳන්ම චිත්‍රපට නරඹන්න අපිට සල්ලි දුන්නා. මට තාම මතකයි එක දවසක් තාත්තා පල්ලි ගිහින් ඇවිත් “හොඳ ෆිල්ම් එකක් මැජෙස්ටික් සිටිවල ගිහින් බලපන්” කියලා මගේ අතට රුපියල් පහක් දුන්නා. ඒකාලේ මැජෙස්ටික් සිටිවල ටිකට්එක රුපියල් එකයි සත දහයයි. මම ගිහින් ගත්තෙත් භාග ටිකට් එකක්. මම දෙවැනි පන්තියේ ටිකට් තමයි ගත්තේ. ඒකත් ගත්තේ භාගයක්. ටිකට් කවුළුව ළඟදී තව පොඩ්ඩක් පහත් වෙලායි මට භාග ටිකට් එක ගත්තේ. ඒ ෆිල්ම් එකේ නම “ටෝරා ටෝරා ටෝරා” මගේ අම්මත්, මගේ තාත්තාත් මාසයකට සැරයක් ෆිල්ම් බලන්න සල්ලි දුන්නා. මම භාෂා භේදයකින් තොරව ඒ කාලේදී ෆිල්ම් බැලුවා. ඉරිදාවට ගෙයින් එළියට බහින මම චිත්‍රපට හතරක් හෝල් හතරක බලලා මහ රූ පයින් ගෙදර ආපු යුගයක් මට තිබුණා. එහෙම චිත්‍රපටවල ආදරයක් ලොල්බවක් මට තිබුණා. ඒ ආදරයත් එක්ක චිත්‍රපට උමතුවක් මට ඇතිවුණා.

පුංචි කාලේ හීන දැක්කේ නළුවෙක් වෙන්නද...?

මම එක එක ෆිල්ම් කෑලි දාලා ප්‍රෙජක්ටරයකින් ෆිල්ම් පෙන්නුවානේ. ඉස්සර පාසල්වල ගේට්ටු ළඟ ෆිල්ම් පටි විකිණුවා. සිනමාහල්වලින් ඉවත් කරන කෑලි ඒ මිනිස්සු සත දහය පහළොවට විකුණුවා. ඉතින් ඒ පටි මිටි මිටි ගෙනත් අපි ආපහු හරි තැන් බලබලා එකතු කළා. එහෙම චිත්‍රපට පෙන්වන යුගයකදී මගේ හිතෙන් පුංචි කාලේ ඉඳන්ම චිත්‍රපටයක් කරන්න අදහසක් තිබුණා. හැබැයි මට එක චිත්‍රපටයක් හදන ආසාව විතරයි තිබුණේ. මට ඕනේ වුණේ එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්නයි. ඒකට ප්‍රධානම හේතුව වුණේ මගේ අංකල් නිසා. ඒ අංකල්ගේ ගේ තිබුණේ ලුනාව ස්ටේෂන් එක ළඟයි. අංකල් හැමදාම හැන්දෑවට රුහුණු කුමාරි අරගෙන හරි වේගෙන් රේල් පාරේ සිල්බර කොටන් උඩින් අරගෙන යන අපූරුව මම හරිම ආසාවෙන් බලාගෙන හිටියා. ඒ යන වෙලාවට අපි රේල් පාර ළඟට ඇවිත් අර වේගෙන් කෝච්චිය ඇඳගෙන යන ඕවන් අංකල්ට අතවනනවා. එයත් අපිට අතවනවා. ඒ තුළින් එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න මමත් හීන දැක්කා. මගේ ජීවිතේ බලාපොරොත්තු දෙකයි තිබුණේ. ඒ එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්නයි. කවදාහරි මම චිත්‍රපටයක් හදනවා හැබැයි ඒ චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකා ඉන්නම ඕනේ කියලමයි. ඒ හීනවල තමයි මම ජීවත් වුණේ. ඉස්සර ඉස්කෝලේ ඩෙක්ස් එකට කවකටු පෙට්ටියට ගහන මම ගාමිණි ෆොන්සේකා රඟපාපු චිත්‍රපටි ගීත මහ හයියෙන් ගායනා කළා.

ගාමිණී ෆොන්සේකාව ප්‍රියසාද්ට මුණගැහෙන්නේ කොහොමද...?

ඉස්සර මම රත්මලාන කාර්මික විද්‍යාලයේ ඉගෙනගත්ත කාලේ මාත් එක්ක චිත්‍රපට ගැන කතා කරපු චිත්‍රපට පිස්සු යාළුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් හිටියා. ඉතින් අපි ගාමිණී ෆොන්සේකාගේ ගේ ළඟට ගිහින් බලාගෙන ඉන්නවා. එතකොට අපිව ගාමිණී අඳුනන්නේ නැහැ. හැබැයි අපි හොඳ රසිකයෝ. සමහරදාට ගේදොර වහලා තිබෙන ගෙයින් එළියට ගාමිණී ඔළුව දැම්මත් අපිට ඒ හොඳටෝම ඇති. සමහරදාට අපි ගේ දිහා බලාගෙන ඉදිද්දී ගාමිණී කොහේ හරි ගිහින් ගෙදර එන වෙලාවලුත් තිබුණා. ඒ වෙලාවට ගාමිණී ෆොන්සේකා අපිට අතවනවා. ඉතින් මම ගාමිණීට අතවනපු වාර අනන්තයි. ගාමිණීත් අනන්තවාරයක් මටත් අතවනලා තියෙනවා.

එහෙම අතවනපු ගාමිණී එක්ක කතාබහ කරන්න ලැබුණේ කොහොමද...?

1977දී මම ලංකා චිත්‍රගාරයේදී ගාමිණී ෆොන්සේකාව නැවතත් මුණගැහුණා. ඒ වෙලාවේදී මගේ අතේ මම කරපු “දුටුගැමුණු චිත්‍රපටයේ රීල් එකකුත් තිබුණා. ඒ වෙලාවේ ගාමිණී ෆොන්සේකා මගේ පිටට ගහලා “මොනවද මේ ෆිල්ම් කෑන් එක ඇතුළේ තියෙන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ ගාමිණී ෆොන්සේකාට මම ගැන මගේ කාර්මික දැනුම ගැන ගොඩාක් පැහැදිලි කළා. “අයිසේ... බයිසිකල් වින්කලේ වැඩකරන කොල්ලෙක් කාර් එකේ එන්ජිමක් ගලවලා ෆිට් කළාට අපි පුදුම වෙන්නේ නැහැ. නමුත් මේ ෆිල්ම් රීල් එක උඩ මේ වැඩේ කරන්න පුළුවන් එකෙක් ලංකාවේ ඉන්නවා නම් මම වුණත් දෙපාරක් කල්පනා කරනවා... කියලා මාව ගොඩාක් අගේ කළා. 1977 ඉඳන් මම ගාමිණී ෆොන්සේකාව ළඟින්ම ඇසුරු කළා.

ප්‍රියසාද් සහ ගාමිණී ෆොන්සේකා අතර ඇති බැඳීමට තව ආත්මීය බැඳීමක් තියනවා කියලත් ඔබ විශ්වාස කරනවා නේද...?

ඔව්... ඒ බැඳීම මම විතරක් නෙමේ ගාමිණී ෆොන්සේකාත් විශ්වාස කළා. ගාමිණීට මල්ලි කෙනෙක් හිටියා. එයා 1941 දී මිය ගියා. ඒ වෙනකොට ගාමිණීට වයස අවුරුදු පහයි. මල්ලිට අවුරුදු දෙකාමාරයි. ඒ මල්ලී මිය ගිහින් තියෙන්නේ ලොකු බඩේ අමාරුවකින්. ගාමිනී ෆොන්සේකා කියන්නේ ඒ මල්ලී තමයි නැවත මම විදිහට ඉපදිලා තියෙන්නේ කියලයි. අදටත් මට බඩේ අමාරුව තියෙනවා. මාසකට සැරයක් මාස දෙකකට සැරයක් මටත් ඒ බඩේ අමාරුව දැනෙනවා. ඒ වෙලාවට ඉඟුරු කෑල්ලක්, ජින්ජර් බියර් ටිකක් බිව්වම හරි යනවා. හැබැයි ගාමිණී ෆොන්සේකා ඒ ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ගාමිණියි මායි අතරේ ලොකු බැඳීමක් තිබුණා.

ඔබේ බිරිඳ මුණගැහෙන්නේ කොහොමද...?

මම පදිංචි වෙලා හිටියේ මගේ බිරිඳගේ නැන්දගේ ගෙදරට අල්ලපු ගෙදරයි. ඉතින්... ශිරානිගේ ගෙදර බණ්ඩාරගම වුණාට බම්බලපිටිය ශුද්ධ වූ කන්‍යාරාමයේ ඉගෙන ගත්තු නිසා ශිරානි නැන්දගේ ගෙදර ඉඳන් ඉස්කෝලේ ගියා. ඉතින් ඒ අල්ලපු ගෙදර හිටපු ශිරානීව තමයි අන්තිමට මට වුණේ මගේ ගෙදරට කැන්දන් එන්නයි.

දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි අද රඟපෑමෙන් එකතුවෙලා හොඳ ගමනක් යන තරුණ කලාකාරියන් තුන්දෙනෙක් ප්‍රියාසාද් කරන්න ආසාවෙන් හිටපු රඟපෑම අද දූවරු කරනවා. මොකද හිතෙන්නේ...?

ගොඩාක් සතුටුයි... කවදාවත් මම මේ තුන්දෙනා නිර්මාණවලට බලෙන් කියලා දම්මලා නැහැ. ඒ අයගේ ජන්මයෙන් යම් හැකියාවක් පිහිටලා ඇති. ඒ ඔස්සේ ඒ දක්ෂතා ඒ අය පෙන්නන්න ඇති. ඒ තුන්දෙනාම අද රඟපානවානේ. මට බැරි වුණෙත් ඒකම තමයි මම රඟපාන්න හරිම ආසකළා. මම ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මඩොල් දූව චිත්‍රපටයේ නළුවන් තෝරාගැනීමට පවා ගියා.

ඒ අවස්ථාවට මොකද වුණේ...?
ඔන්න ඉතින් මඩොල් දූව තෝරාගත්ත දවසේ මමත් ඉන්ටර්වීව් ගියා. මම ළඟ තව කොල්ලෙක් වාඩිවෙලා හිටියා. අනිත් හැම කොල්ලෙක්ම ඇවිත් හිටියේ මව්පියෝ එක්කයි. උන් ඔක්කොම මඩොල් දූව පොත් අරගෙන ඇවිත් තැන් තැන්වල ඉඳන් ඒක කියවනවා. අපි දෙන්නා විතරක් බංකුව උඩ වාඩිවෙලා කකුල් පද්ද පද්ද ඔහේ කියවනවා. ඒ වෙනකොට මම මඩොල් දූව කියවලවත් නැහැ. ඔන්න ඉතින් එතන ඉන්න අනිත් කොල්ලෝ පෙන්න පෙන්නා අපි දෙන්නා වෙනම උන්ට ඉන්ටවීව් කරනවා. ටික වේලාවකින් ඔන්න මාත් එක්ක හිටපු කොල්ලව ඇතුළට එන්න කියලා විනාඩි පහකින් එළියට ඇවිත් “මචං මම යනවා... මගේ වැඩේ හරි... මේ මගේ එඩ්‍රස් එක කියලා නම ලියලා කොළ කෑල්ලක් මගේ අතට දුන්නා. හවස තුනට විතර මාවත් ඇතුළට ගෙන්නුවා... මඩොල්දූව පොත අතට දීලා ඡේදයක් කියවන්න කිව්වා. එතැන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාත් හිටියා. මාව ගණන් ගන්තෙත් නැහැ. මාත් ඔහේ කියවලා එළියට ආවා. ඒ එළියට එද්දී ඊළඟට යන ළමයා දිහා හැරිලා බලලා මම “මට මේක හරියන්නේ නැහැ කියලා මම හිතාගත්තා. සුමාන දෙක තුනකින් පස්සේ එක පත්තරේක “මඩොල් දූව චිත්‍රපටයට තෝරාගත්තු අයගේ නම් ලිස්ට් එක තිබුණා. මගේ නම නැහැ. හොඳම හුරුපුරුදු නමක් දැකලා මම ආයෙමත් අර කොල්ලා එඩ්‍රස් එක ලියලා දීපු කොළ කෑල්ල අතට අරගෙන බැලුවා “අජිත් ජිනදාස ඒ තමයි මාත් එක්ක කියව කියවා හිටපු කොල්ලා.

මඩොල් දූව රඟනොපෑවට “නොමියන මිනිස්සු" චිත්‍රපටයේ ඔබ රඟපෑවා නේද...?

ඔව්... 1976 දී ඉඳන් ලංකා චිත්‍රාගාරයේ මම වැඩකළා. එතනට එන හැම අධ්‍යක්ෂකවරයෙක්ම මම “අනේ මටත් රඟපාන්න පොඩි කෑල්ලක් දෙන්න. කියලා කිව්වා. හැබැයි ඒ කවුරුවත් මට අවස්ථාවක් දුන්නේ නැහැ. ඒ නිසා ලංකා චිත්‍රාගාරයට ආව ගිය අධ්‍යක්ෂකවරුන්ගෙන් රඟපාන්න අවස්ථාව ඉල්ලුවේ නැති එකම එක අධ්‍යක්ෂකවරයෙක් හිටියා. ඒ තමයි ගාමිණි ෆොන්සේකා විතරයි. ඒ නිසා “මම කවදාවත් ගාමිණිගෙන් රඟපාන්න ඉල්ලන්නේ නැහැ. මම ලෝකෙන්ම ආදරය කරන පුද්ගලයාත් මට ඒ අවස්ථාව ඉල්ලලා නොදුන්නොත් මට දුක වැඩි වෙයි. කියලා මම කවදාවත් ඉල්ලුවේ නැහැ. හැබැයි “මම කාගේවත් චිත්‍රපටවල රඟපාන්නේ නැහැ. ගාමිණී ෆොන්සේකා මට කතා කරලා රඟපාන්න කිව්වොත් විතරක් මම රඟපානවා. කියලා මම හිතාගත්තා. ඒ අධිෂ්ඨානය හැටියට ගාමිණි ෆොන්සේකා මට ඒ අවස්ථාව ලබලා දුන්නා. මම ඉල්ලන්නේත් නැතිව “අයිසේ... මේ චරිතය රඟපාපන් කියලා මට “නොමියෙන මිනිස්සු චිත්‍රපටයට කතා කරද්දී මම ගොඩාක් සතුටු වුණා.

“නොමියෙන මිනිස්සු.."  චිත්‍රපටය රෑගත කරද්දී විශේෂ චරිතයකුත් රෑගත කරන ස්ථානයට ආවා නේද...?
ඔව්... අපි පුත්තලම කොටි ගැවසෙන පැතිවල තමයි ඒ චිත්‍රපටය රෑගත කළේ. එකපාරටම කොටි බයිසිකල් පහළොවක් විතර එක පෙළට වැල්ලේ ආවා. මහ වේගෙන් ආපූ කණ්ඩායම අපිට ටිකක් එහායින් නැවැත්තුවා. අපි කට්ටියම බය වුණා. ගාමිණී බොහෝම සැහැල්ලුවෙන් අපිව සංසුන් කරලා අර බයිසිකල් ඉදිරියට ගියා. හැම බයික් එකකම තනි කොටියෙකු හිටියාට එක බයිසිකලේක දෙන්නෙක් හිටියා. ඒ බයිසිකලේ පිටිපස්සේ හිටපු කෙනා ගාමිණී ෆොන්සේකා ඉදිරියට ඇවිත් අතට අත දීලා ගාමිණී එකක් කතා කරලා ගාමිණීට සැලුට් එක ගහලා ආයෙත් බයිසිකලේ නැගලා එක පෙළට යන්න ගියා. ඒ ආවේ වේළුපිල්ලේ ප්‍රභාකරන්.

ඒ චිත්‍රපටයේම ඔබේ අතට දරුණු විදිහට තුවාල වුණා...?
ඔව්... මම ඒ චිත්‍රපටයේ කැමරා කරමින් ඉදිද්දීම තමයි රඟපෑවේත්. එක රෑගත කිරීමකදී මට වෙඩි වැදිලා මම වැටෙන දර්ශනයක් රඟපාන්න තිබුණා. ඒ වැටෙන තැන බෝම්බ පිපිරෙන්න තමයි සකස් කරලා තිබුණේ. මගේ අත හරියට ජෙනරේටර් එක උඩටම ගියා. එකපාරටම අත තුවාල වුණා. ඒ වෙලාවේ මට තාම මතකයි ගාමිණී ඔළුවට අතගහගෙන බිම වාඩි වුණා. අත ටිෂූවලින් වෙලලා ඉක්මනට කොළඹ ගෙනල්ලා. අත ඔපරේෂන් කළා.

අද දරුවන් තුන්දෙනා ගැන පියකු විදිහට ප්‍රියසාද්ට මොකද හිතෙන්නේ...?
ඇත්තටම ගොඩාක් සතුටුයි. අද ඒ තුන්දෙනා ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. තාත්තා කෙනෙක් විදිහට මට ඇත්තටම වාසනාවන්තයි. මේ දවස්වල මගේ අලුත් චිත්‍රපට දෙකක වැඩ කරගෙන යනවා. බොහෝ දුරට ඒක ලබන අවුරුද්දේ තිරගත වේවී.

දිශානි ජයමාලී
gossip lanka