පොල් කඩලා බැංකොක් මැරතන් යන්න හදන ගාල්ලෙ දිලිප්

ඔහුගේ රැකියාව පොල් කැඩීමයි. ගසකට නැග්ගොත් ලැබෙන මුදල රුපියල් සියයකි. රුපියල් එක් ලක්ෂ පනස්දාහක් සොයා ගැනීම ඔහුගේ ඉලක්කයයි. ඒ සඳහා පොල් ගස් එක්දහස් පන්සියයක පොල් කැඩිය යුතුය. ගාල්ලේ, පෝද්දලට නුදුරු නරාවල හන්දියේ වෙසෙන ගුණසිංහගේ රොෂාන් දිලිප් කුමාර (38) ගේ, කතාව එවැනිය. එම මුදල ඔහුට අසීරු ඉලක්කයකි. එහෙත් ලබන පෙබරවාරිය වන විට ඔහු එම මුදල සපුරා ගත යුතු ය. එසේ නැත්නම් මාර්තු මාසයේ තායිලන්තයේ බැංකොක්වලදී පැවැත්වෙන ‘ප්‍රවීණයන්ගේ විවෘත මලල ක්‍රීඩා උළෙලේ’ මැරතන් තරගයට එක්වන්නට ඔහුට අවස්ථාව නොලැබෙන්නේය.

බැංකොක් මලල ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වීමට වැය වන මුදල රුපියල් එක් ලක්ෂ පනස්දාහක් බව, ‘ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමය’ දැනටමත් දිලිප්ට දැනුම් දී තිබේ! දිලිප් වෙහෙසෙන්නේ එම මුදල සොයා ගැනීමටය.

දිලිප් ලියුම්කරුට මුණගැසෙන්නේ අහම්බෙනි. එය සිදු වන්නේ, ලියුම්කරුගේ නිවසේ ගස් කිහිපයක පොල් කඩන්නට පැමිණි අවස්ථාවේ ය. ඔහු ජාත්‍යන්තර මට්ටමට සුදුසුකම් ලැබූ මැරතන් ක්‍රීඩකයකු බවත්, දිළිඳුකම නිසා විදෙස් මැරතන් තරග ගණනාවක්ම මගහැරුණු බවත්, එහි දී දැන ගන්නට ලැබිණි.

කුලී වැඩත් නැතිනම් ගස් බඩගා පොල් කැඩීම ඔහුගේ ජීවිකාවයි. ගාල්ලේ පෝද්දලට නුදුරු නරාවල හන්දියේ, ‘වළං කඩය’ පිටුපස තනා ගත් කුඩා පැල්පතක ජීවත් වන දිලිප්ට බිම් අඟලක් හෝ නැත. ඔහු පදිංචිව සිටින්නේ ඔහුගේ බිරිඳගේ අයියාට අයත් ඉඩමකය. දිලිප් එහි පැල්පතක් තනාගෙන සිටින්නේ තාවකාලිකවයි.

ඔහුගේ ගමේ මිනිස්සු දිලිප් ජාත්‍යන්තර මට්ටමේ දස්කම් දක්වා ඇති මලල ක්‍රීඩකයකු බව නො දනිති. ඔහු ගැන දන්නේ නිතරම පාරවල් ගානේ දුවන, මිනිසෙකු හැටියටය. දිලිප් කුමාර, මේ වන විට සහභාගි වී ඇති විවිධ වර්ගයේ මැරතන් තරග සංඛ්‍යාව දහස ද ඉක්මවයි. එයින් පනහකට වැඩි සංඛ්‍යාවක් ජාතික මට්ටමේ තරග ය. එයින් එකක්, 2015 වසරේ අනුරාධපුරයේ අටමස්ථාන වටා පැවති කිලෝමීටර් පනහේ මැරතන් තරගයයි. තවත් එකක් වන්නේ 2000 දශකයේ මුල් භාගයේ පාකිස්තානයේ පැවති ‘Fun Run’ නමැති සංචාරක ක්ෂේත්‍රයේ මැරතන් තරගයයි.

‘2017 දී චීනයේ මලල ක්‍රීඩා උළෙලක් තිබුණා. ඒකට තෝරා ගැනීමේ තරග තිබුණේ හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ. ඒකට සහභාගි වෙන්න රුපියල් 1700ක් මදි වුණා. ඉතින් ගියේ නෑ. 2018 අවුරුද්දේ ප්‍රංශයේ මලල ක්‍රීඩා උළෙලක් තිබුණා. ඒකට තෝරා ගැනීමේ තරග තිබුණේ කොළඹ සුගතදාස එකේ, පහුගිය ජූනි මාසේ. ඒකට යන්න රුපියල් 2000ක් සොයා ගන්න බැරි වුණා. අපි මේ තරගවලට සහභාගි වෙන්න යම් ලියාපදිංචි ගාස්තුවක් ගෙවන්න ඕනෑ. ඒ දවස් ටිකේ පොල් කැඩිලි ආවෙත් නෑ. කුලී වැඩක් හම්බ වුණෙත් නෑ. මට හරිහමන් රස්සාවක් නැති හින්දා කවුරුවත් ණයටවත් මුදලක් දෙන්නේ නෑ’, දිලිප් කියන්නේ දුක්මුසුව ය. දැන් ගාල්ලේ සිටිය ද, ගුණසිංහගේ රොෂාන් දිලිප් කුමාර ඉපදී ඇත්තේ 1980 වසරේ කොළඹ දී ය. ඔහුගේ ළමා කාලය ඉතාම කටුක එකකි. දිලිප්ගේ මෑණියන් ඔහු කුඩා අවදියේ ම, හදිසියේ මියැදෙයි. පියා ඔවුන් හැර යයි. එබැවින් දිලිප් හැදී වැඩෙන්නේ, අංගොඩ, කොහිලවත්තේ පිහිටි සිය සීයාගේ නිවසේ ය. ඔහු අකුරට ගියේ ද කොලොන්නාව, කුඩා බුත්ගමුවේ, ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට ය. ඔහු එයින් අ. පො. ස. (සා/පෙළ) දක්වා අධ්‍යාපනය ලැබුවේ ය. ඔහු මැරතන් දුවන්නේ වයස දහතුනේ සිටය.

‘සම්පූර්ණ මැරතන් එකකදී කිලෝමීටර් හතළිස්දෙකකුත් මීටර් 195ක් දුවන්නට සිදු වේ. ඔහු දැනට ඒ සඳහා වාර්තා කර ඇති කාලය පැය දෙකයි, විනාඩි තිස්හතකි. 2020 දි ඔලිම්පික් යෑමට එම කාලය පැය දෙකයි විනාඩි දහයකට හදා ගත යුතුය. දිලිප් බලාපොරොත්තු සහගතව ඒ සඳහා පුහුණුවීම්වලද යෙදෙන්නේය.

බිරිඳ, උදය කුසුම් සඳමාලි (30) ය. විවාහයෙන් පසු නරාවල ගමේ පදිංචියට පැමිණියේ 2006 වසරේයි. දැන් ඔවුහු දරුවන් දෙදෙනකුගේ මව්-පියවරුන් වෙති. දිලිප්ගේ ලොකු පුතා මන්තක පියුමාල් නව හැවිරිදිය. බාල දියණිය, හිරුණි හිමාෂිට තවම මාස එකොළහකි. කුලී වැඩ කරමින් ද, පොල් ගස් නගිමින් ද උපයන සොච්චම දරු පවුලේ යැපීමට දිය වෙයි. ඉන් පසුව මැරතන් පුහුණුවීම්වල යෙදෙන්නට, තරගවලට සහභාගි වන්නට සල්ලියක් ඉතිරි වන්නේ නැත.

දිනපු පදක්කම් දාල තිබුණේ ගෝනියක එ්කත් හොරු අරන් ගියා
‘මං මෙතන මුලින් ම හිටියේ, ලෑලි ගහලා ඉටි රෙදිවලින් අටවා ගත්තු ගෙයකයි. 2012 අවුරුද්දේ අපි ගෙදර නැති වෙලාවක මගේ ගෙට හොරු ආවා. මැරතන් දුවලා ගත්තු පදක්කම් ටික පෝර බෑග් එකක දාලයි තිබුණේ. හම්බ වෙච්චි සහතික ටිකත් තිබුණේ ඒකේ. හොරු ඒකයි, අවුරුදු උත්සවයකට දුවලා හම්බවුණු ටී. වී. එකයි අරන් ගිහින්’ තිබුණා.’’ ඒ සිය කටුක දිවියෙහි අත්දැකීම්ය.

2000 වර්ෂයේ මහනුවර පැවති වයස අවුරුදු 21න් පහළ සමස්ත ලංකා පාසල් මැරතන් තරගයෙන් 02 වැනි ස්ථානය ලබා ගැනීම, 2003 වසරේ බස්නාහිර පළාත් මැරතන් තරගයෙන් 03 වැනි ස්ථානය ලබා ගැනීම, 2016-SLMA-Health Run and walk- මැරතන් තරගයෙන්- තරගාවලියෙන් 03 වැනි ස්ථානය හිමිකර ගැනීම ඇතුළු කැපී පෙනෙන මැරතන් තරග වාර්තා ගණනාවක් ම ඔහු සතු ය. දිලිප්, LSR-කළම්බු මැරතන් තරගාවලියට 16 වතාවක් ම සහභාගි වී තිබේ. (2018) ඔක්තෝබර් මාසේ 07 වැනි දා ‘LSR-කළම්බු මැරතන් තරගයට’ යන්නත් මට සල්ලි තිබුණේ නෑ. තරගයට රුපියල් පන්සීයක් සල්ලි බඳින්නත් ඕනෑ. අතේ තිබුණේ රුපියල් හත්සීයක් විතරයි. ඉතින් මම කලින් දවසේ උදේ පාන්දරින් පයින් ම අම්බලන්ගොඩට ගියා. එතැනින් බස් එකේ ගිහින් කොල්ලුපිටියේ බැස්සා. එතැන ඉඳන් ටොරින්ටන්වලටත් පයින් ම ගියා. කන්නවත් සල්ලි තිබුණේ නෑ. රෑට කන්න ලැබුණේ නූල්ඩස්. බඩගින්නෙ ම, කොහොම හරි මං කිලෝමීටර් විසිඑකේ අර්ධ මැරතන් රේස් එකට ගියා. දුවද්දී මට බඩේ අමාරුවක් හැදුණා. ඒත් දිව්වා. බඩ යද්දීත් දුවලා 28 වැනි තැන හම්බ වුණා. දැන් ගෙදර එන්නත් සල්ලි නෑ. එතැන දී හමු වුණු කෙනකුගෙන් සල්ලි ඉල්ලාගෙනයි එදා ගෙදර ආවේ’, ඔහු කියන්නේ ජීවිතය තමන්ට සරදම් කරන අයුරුයි.

මැරතන් හෙවත් දුර ධාවනයෙහි යෙදෙන මලල ක්‍රීඩකයන් හොඳ පෝෂණීය ආහාර ගත යුතුය. යහපත් ශරීර සෞඛ්‍යයෙන් යුතුව සිටීම සාමාන්‍ය දෙයකි. එහෙත් දිලිප් කුමාරට එවන් තත්ත්වයක් නැත. මැරතන් දිව්ව ද, නො දිව්ව ද, ඔහු ඇතුළු පවුලේ අයගේ කුස පිරෙන්නේ පොල් කැඩුවහොත් හෝ වෙන යම් කුලී වැඩක් ලැබුණ විටය. එබැවින් ඔවුන්ගේ ආහාර වේල ගැන අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. අනෙක, ජාත්‍යන්තර මට්ටමට සුදුසුකම් සපිරූ මැරතන් ක්‍රීඩකයන්ට, ඔවුන්ගේ ශරීර පෝෂණය ගැන බලාකියා ගන්නා උපදේශකයන් ද සිටිති. දිලිප්ට මේ කිසිවෙක් නැත. ඔහුට දුකට සැපට සිටින්නේ, තම පුහුණුකරු වන විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී, ගාල්ලේ සුජීව රෝහිත ලියනගේ මහතා පමණි. දිලිප්ගේ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ඔහුට ද කරන්නට දෙයක් නැත! මැරතන් දුවන අය පලඳින පාවහන් මිල අධිකය. දිලිප් කියන හැටියට, මිල අඩු ම සපත්තු කුට්ටමක් රුපියල් 25,000ක් පමණ වේ. දිලිප් ඒවා ගැන කතා කරන්නේ තමන්ගේ ඇති-හැකිකම අනුව ය!

‘රුපියල් විසිපන්දාහක් හොයන්න මං පොල් ගස් කීයකට නගින්න ඕනෑ ද? මං දැනට පාවිච්චි කරන්නේ රුපියල් හාරදාහකට ගත්තු, පුහුණුවීම්වලට පාවිච්චි කරන සපත්තු දෙකක්’, ඔහු හිනැහෙමින් කියයි.

කලකට ඉහත දිනයක උදෑසනක, දිලිප් කොළඹ, කෝට්ටේ පාර්ලිමේන්තු මාර්ගයේ පුහුණුවට දුවමින් උන්නේ ය. ඔහු දුවමින් සිටියේ නිරුවත් දෙපයිනි. ඒ අතර, තවත් කෙනෙක් ද පාරේ දුවමින් ගියේ ය. ඔහු දිව්වේ මහත් ඕනෑකමින් දිලිප් දෙස බලමිනි. දිලිප් ඔහුට ප්‍රතිචාර දැක්වුයේ මඳ සිනාවකිනි. පාරේ දිවූ තැනැත්තා, ලොවම දන්නා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ය!

පසුව දා උදේ ද මේ අහඹු හමුව සිදු විය.

එහි දී දිලිප් ඇමතූ මුරලි, ‘ඇයි නිකම්ම දුවන්නේ?’, යයි විමසුවේ දිලිප්ගේ නිරුවත් දෙපා දෙස බලමිනි.

දිලිප් ඇත්තම කීවේ ය.

‘මං මොකක් හරි කරන්න බලන්නම්’, මුරලි කිව්වේ ය.

මුත්තයියා මුරලිදරන් සිය පොරොන්දුව අමතක කළේ නැත. ඔහු දිලිප්ට මැරතන් සපත්තු කුට්ටමක් ගන්නට මුදල් දුන්නේ ය.

‘පස්සේ රෝහණ දිසානායක මහත්තයාත් මට වටිනා සපත්තු කුට්ටමක් අරන් දුන්නා. මුරලි මගේ විස්තර අහලා මට උදව් කරන්නම් කීවා. මගේ ගෙදර තියෙන තැනත් අසා ගත්තා. දවසක් මම නැති වෙලාවක මුරලිදරන් මහත්තයා මාව බලන්න නරාවලට ඇවිත් තියෙනවා. මගේ විස්තර කියලා ඇහුවා ම, එහෙම කෙනෙක් ගැන දන්නෙ නෑ කියලා කවුරුහරි කියලා. ඉතින් එයා ආපහු යන්න ගිහින්’, දිලිප් දුකෙන් පවසයි.

දැන් ඔහුගේ සිහිනය (2019) මාර්තු 08-10 යන දිනවල, තායිලන්තයේ බැංකොක් නුවර දී ‘24th THI VETERANS CHAMPIONSHIP ATHLETICS MEETZ’ නම් ප්‍රවීණයන්ගේ මැරතන් තරගයයි. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ තරගයක් පසුගිය ඔක්තෝම්බර් 20-21 යන දිනවල හෝමාගම, දියගම, ‘මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ’ දී පැවැත්විණි. එහි දී දිලිප් තරග කළේ මීටර් 5000 මැරතන් ඉසව්වට ය. එයින් ඔහුට දෙවැනි ස්ථානය හිමි විණි. ඔහු එහි දී වාර්තා කළ කාලය, විනාඩි 18යි-තත්පර 46.09ක් විය.
gossip lanka