මහ මඟ හමුවෙන සතුන්ටත් බෙහෙත් කරන දොස්තර හොඳහිත

ඒ කාලේ අරුණගේ ළමා විය කොළඹින් ඈත මහියංගණයේ ගෙවුණත් ඒ ජීවිතයේ වූයේ අමුතු සුන්දරත්වයකි. ගොවි ගෙදරක ජීවත් වූ ඔහු ඇසුරේ නිරන්තරවම ගහකොළ සේම සත්තු ද විය. අම්මා තාත්තා සමග කුඹුරට කමතට ළං වූවා සේම ගෙදර හැදූ බල්ලන්, පූසන් හා හරකුන් එක්කද මොකද්දෝ නොහඳුනනා බැඳීමක් ඔහු තුළ තිබුණේය.
අක්කා හා අරුණ පමණක් වූ පවුලේ අක්කා ඇරුණු කොට ගෙදර ඔහුගේ මිතුරන් වූයේ වහු දරුවන් හා බල්ලන් පූසන් ය. ඒ සතුන් ගැන පුංචි කාලේ පටන් ම අරුණගේ හිත වද වුණේය. ඒ උන්ගේ කෑම බීම හා ලෙඩ අසනීප වෙනුවෙනි. අද මෙන් පශු වෛද්‍යවරුන් නැති ඒ අවදියේ ලෙඩ වන අසනීප වන සත්තු හැමෝම ගමේ වෙද මහතාගේ ප්‍රතිකාරවලින් සුවය ලැබුවේ නැත. එවන් විටෙක දවසක් දෙකක් නොව සතියක් හමාරක් යනතුරුත් ඔහු මියගිය සතා වෙනුවෙන් දුක්වුණේය. සතුන්ට එපමණටම ආදරය කළත් පුංචි කාලේ පටන් අරුණගේ හිතේ තිබුණේ වෙනත් ඉලක්කයකි.

ඒ මිනිස්සුන්ගේ සුව සහනය වෙනුවෙන් වෛද්‍යවරයෙකු වීමේ සිහිනයයි. එය ඔහුට කළ හැකි කටයුත්තක් බව ඔහු ගැන දැන සිටි සැවොම විශ්වාස කළහ. ඒ තරමට ඔහු ඉගෙනීමේ දක්ෂයෙකු වුණේය. මහියංගණයේ අලුත්තරම කනිෂ්ඨ විද්‍යාලයෙන් ශිෂ්‍යත්වය සමත් වූ අරුණට කොළඹ ජනප්‍රිය පාසලකට යාමේ ඉඩ ද තිබුණි. ඒත් ඔහු තෝරා ගත්තේ මහියංගණය මධ්‍ය මහා විද්‍යාලයයි.

සාමාන්‍ය පෙළ විභාගයද ඉතා ඉහළින් සමත් වූ අරුණට එවරත් කොළඹ පාසල්වල දොරවල් ඇරුණේය. ඒත් ඔහු මහියංගණයේම රැඳී ඉගෙන ගත්තේය. අවුරුදු ගණනාවක් තිස්සේ හිතේ රජ කරවාගෙන සිටි වෛද්‍ය විද්‍යාල සිහිනය පළමු වතාවේ එක ලකුණකින් බිඳ වැටෙද්දී ඔහු සුදුසුකම් ලැබුවේ පශු වෛද්‍ය උපාධියටයි. අම්මා තාත්තා පුළුවන්කමකට නොවුණත් තව වරක් විභාගය කරන්න ඔහුට කීවේය. තව වරක් විභාගයට ලීවොත් සැවොම කියන්නා සේ වෛද්‍ය විද්‍යාලයට යා හැකි බව අරුණද දැන සිටියේය.

ඒත් ඔහුට පශු වෛද්‍ය උපාධිය හදාරන්නටම සිතුණේය. ඒ ගැන සිතද්දී මිනිසුන්ට සේවය කරනවාටත් වඩා සතුන්‍ට සේවය කිරීම පිනක් බව ඔහුට හැඟුණේ ය. ගෙදර හැදු සතුන් හරි ප්‍රතිකාරයක් නැතුව ඒ කාලේ වද වේදනා විඳ දුක්බර දෑසින් බලා හිඳ අවසන් ගමන් ගිය හැටි හීනයක් සේ ඔහුගේ හිතේත් තිබුණි.

” සතෙක්ට ලෙඩක් අසනීපයක් හැදුනම වේදනාව, බැරි අමාරුකම් කියන්න බෑනේ. මිනිස්සුන්ට කියන්න පුළුවන්. සත්තුන්ට පුළුවන් අපි දිහා කඳුළු පුරෝගෙන බලා ඉන්න විතරයි. ඒ අසරණකමට පුංචි කාලෙත් මම දුක් වුණා ඒ වෙලාවට ඒ ගොල්ලන්ගෙ ඇස් කියන කතන්දරේ තේරුම් ගන්න පුළුවන් සත්තුන්ට ආදරේ කරන කෙනකුට විතරයි. ..”

ඔහු ඔහුගේ සිහිනයත් මව්පියන්ගේ සිහිනයත් පසෙක දමා පශු වෛද්‍යවරයකු වීමට ගත් තීරණය තමන්ටම සාධාරණීකරණය කරගන්නේ එහෙමය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් 2009 වසර අවසානයේ පශු වෛද්‍ය උපාධිය සපුරණ අරුණ චන්ද්‍රසිරි පෞද්ගලික පශු වෛද්‍ය සේවයට එක් වුණේය. ඒ ඒ වන විට රජයේ සේවයට එක්වන්නට වසර ගණනාවක් පෝළීමේ බලා සිටිය යුතු වූ නිසාය.

” ඒ වෙනකොට රජයේ පශු වෛද්‍ය සේවයට එක්වෙන්න අවුරුදු හයක හතක අය හිටියා. රජයේ පශු වෛද්‍ය සේවයේ දී රජයෙන් වැටුප් ලැබුණත් රජයේ පශු වෛද්‍ය සේවයෙන් ප්‍රතිකාර කරන්න ප්‍රතිපාදන දෙන්නෙ හරකුන්, එළුවන්, ඌරන්, කුකුළන් වගේ සතුන් වෙනුවෙන් විතරයි. සුරතල් සතුන්ට ඒ ප්‍රතිපාදන නෑ. එතකොට සුරතල් සතුන් වෙනුවෙන් ප්‍රතිකාර කරද්දි මුදල් අය කරලයි ප්‍රතිකාර කරන්න වෙන්නෙ. ඒ නිසා පෞද්ගලික සේවයත් කමක් නෑ කියලා මං හිතුවා. ඒ වගේම මගේම සායනයක් තියෙනවා නම් මට ඕනෑ හැටියට ප්‍රතිකාර කරන්නත් පුළුවන්නේ..”

ඔහු මාකොළ ගල්වලහන්දියේ පෙට් ප්ලස් සත්ත්ව සායන මධ්‍යස්ථානය අරඹන්නේ එලෙසය. එතැන් සිට රෝගී සතුන් වෙනුවෙන් වෙලාවක් කලාවක් නැතුව, මිල මුදල් ගැනම නොසිතා ප්‍රතිකාර සේවය පටන් ගත්තේය. මිලට මුදලටම ප්‍රතිකාර කරන්නට ගියානම් කුඩා වියේ අත්විඳි රෝගීවී මියෙන්නට ළංවූ සතුන්ගේ බැල්ම කී දුක්බර කතාවට ඔහුට කවදාවත් සාධාරණයක් ඉටුකරන්නට වෙන්නේ නැත.

” මම වෘත්තියක් හැටියටත්, පවුලක් හැටියට ජීවත්වෙන්න ආදායම් මාර්ගයක් ලබන්නත් සායන මධ්‍යස්ථානය පටන් ගත්තෙ. මෙතෙන්ට විවිධාකාර වූ මිනිසුන් විවිධාකාර වූ සත්තු අරන් එනවා. සමහරු බොහොම මිල මුදල් ඇති අය. ඔවුන් සත්තු හදන්නෙත් ඒ හා සමානම ලොකු වියදමක් දරන සත්තු. ඒ වගේමයි සාමාන්‍ය විදිහට ජීවත්වෙන අයත්, දුප්පත්ම මිනිස්සුත් ගෙදර හදන සතාට අසනීපයක් නම් වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා බෙහෙත් අරන් දෙන්න දැන් හුරුවෙලා. සමහරවිට ඒ මිනිස්සු සතාට බෙහෙත් කරන්න සල්ලි වෙන් කරන්නෙත් බොහොම අමාරුවෙන් කියලා මට දැනෙනවා

. මම එහෙම කෙනෙක් සතෙක් අරන් ආවනම් සල්ලි ගැන හිතුවෙ නෑ. ඒ වගේමයි හදිසි අනතුරුවලට ලක්වෙච්චි සත්තු කවුරුහරි අරන් ආවා නම් මං ඒ වගේ සතෙක් ගෙනාවමත් බෙහෙත් කරලා දෙනවා. ඒ සතා වෙනුවෙන් යන ගමන නවත්තලා කාලේ වගේම සතා ගේන්න වාහනෙකට සල්ලිත් වියදම් කරලා ඒ අය අපේ ළඟට අරන් එන්නේ සතාට ආදරේට මිස ඒ සතාව දන්නා අඳුරනකමකට නෙවේ. සමහර අවස්ථාවල එහෙම අනතුරු කරගත්ත සත්තුන්ට ප්‍රතිකාර කළාට පස්සේ තියන්න තැනක් නැතිවෙන කොට ඒ ගේන කෙනා ගෙදරත් අරන් යනවා. එහෙම සත්තුන්ට උපකාර කරන සමහර මිනිස්සු ඉන්න සමාජෙක හැමදේම සල්ලිවලට මනින්න බෑ කියලයි මං හිතන්නේ.”

ඒ අයුරින් සායනය තුළදී සතුන්ට සහනයක් දුන්නා සේම සායනයෙන් පිටතදීත් ඔහු සතුන් වෙනුවෙන් වෙහෙසුණේය. මගතොට යද්දී ප්‍රතිකාර කළ යුතු රෝගී සතෙකු දුටුවහොත් ප්‍රතිකාර කරන්නට ඔහුගේ වාහනයේ හැම මොහොතකම ඖෂධ, එන්නත් ඇති බෑගයක් වෙයි. එදා සතුන් පොඩි ප්‍රමාණයකට ඒ සේවාව දුන් පශු වෛද්‍ය අරුණ චන්ද්‍රසිරි ඔහුගේ සේවා කාලයෙන් වසර දහයක් පිරෙද්දී හැම මසකම සතුන් පනහකට ආසන්න හෝ වැඩි හෝ ප්‍රමාණයකට මිලක් නැති සේවයක් ලබා දෙයි.

” අද ගොඩක් තරුණ පරපුර සේවයක් විදිහට සත්තුන්ට සලකනවා. රැකබලාගන්නවා. ලෙඩ දුක් හොඳ කරනවා, ඒ අයගෙ ජීවිත වලට සතුටක් ලබාදෙනවා. මුහුණු පොතේදී ඒ බව දකිනවා වගේම, අපිටත් විශේෂයෙන් ඒ අය හමුවෙනවා, අසනීප සත්තුන්ට ඔවුන් ප්‍රතිකාර කරන්න එන නිසා.ඒ අය මේ දේවල් කරන්නේ වාසියකට ලාභයකට නෙවේ. අතේ තියෙන සල්ලි මුදල් වියදම් කරගෙන. සමහරු රස්සාව කරලා පඩි ගන්නේ පවුල් නඩත්තු කරන්න වගේ සත්තු නඩත්තු කරන්න.

මහමගට ආයෙ දාන්න බැරි නිසා ඒ සත්තුන්ව මේ හුඟක් අය ළඟ තියාගෙන හදනවා. සමහරු බල්ලෝ පහ, දහය. සමහරු පූසො දහය පහළොව. එතකොට ඒ අය එහෙම කරනවා නම් අපිත් ඒ පුණ්‍ය කර්මයට දායක වුනාට කමක් නෑ. ඒ නිසා මමත් එදා වගේම දැන් අවුරුදු නවයක් දහයක් තිස්සේ ඒ මෙහෙවර කරනවා.මගෙ අතින් මේ වෙනකොට මාසෙකට සත්තු පනහකට කිට්ටුව මිලක් නැති ප්‍රතිකාර ලබනවා. ඒ පාරේ දකින සත්තු වගේම, සායනයට ගෙන එන සත්තු අතරෙත් විශේෂිත සතුන්ට ඒ වරප්‍රසාදය ලැබෙනවා..”.

ඔහු ගැන බොහෝ දෙනෙකු දන්නේ ඔහුගේ මේ විශේෂ සේවාව නිසාම නොවේ. ඔහු අත තැබුවේ නම් බොහෝ වෙලාවට තවත් තැනකින් ප්‍රතිකාර කරන්නට අමාරු බව කී සත්ත්ව ජීවිතත් ඔහු බේරාගන්නා නිසාය. ජීවත් කළ හැකිනම් කෙතරම් මහන්සි වී හෝ ඒ ජීවිතය බේරා දෙන්නට ඔහු වෙහෙසෙයි.

” සමහරු සතා අරගෙන එන්නෙ අඬාගෙන. ගොඩක් තැන්වලට ගිහින් හොඳකරන්න බෑ කිව්වා කියලා සමහරු එනවා. එහෙම අය මගෙ ප්‍රතිකාරවලින් හොඳකරලා තියෙනවා. මට මතකයි වරක් අරන් ආවා කොකස්පැනියල් වර්ගයේ බල්ලෙක්. බඩේ ලෙඩක්. කොහෙන්වත් හොඳවෙලා නෑ. ස්කෑන් එකකදි අන්තිමට අහුවෙලා තිබුණා මුත්‍රාශෙ ගල් කියලා. ඒත් ඒ බලපු තැනිනුත් ඔපරේෂන් කරන්න බයවෙලා තිබුණ සතාගෙ ජීවිතේ ගැන විශ්වාස නෑ කියලා. මං බාර ගත්තා.

ඒත් පනහට පනහක් විශ්වාසය තියලා. සතා බේරුණා. අදටත් සුවෙන්.ඒ වගේ බඩවැල්වල පිළිකා හැදුන අය, සුව කරන්න බෑ කියපු චර්ම රෝග හැදුණු සත්තු රිය අනතුරු වලින් කොඳු කැඩුණු සත්තු, තරහකාරයෝ මනුස්සයින්ට කොටන්න බැරිකමට ගෙදර හුරතලා මන්නෙන් කපපු අවස්ථාවල ජීවිතයත් මරණයත් අතරෙ හිටපු සත්තු මට හම්බවෙලා තියෙනවා. පැය ගාණක් මහන්සිවෙලා හරි ඒ පණ ටික රැකලා දෙන්න පුළුවන් නම් මං රැකලා දෙනවා. අපි වගේම සත්තු බලන්නෙත් එක විනාඩියක් හරි තව ජීවත්වෙන්න කියලා මං දන්න නිසා.”

ඒ සිතිවිල්ලට පොඩිකාලේ සතුන්ට පෑ සෙනේහය ද එක්වී ඇතුවාට නම් සැක නැත. මේ වනවිට ඔහුගේ දෑතින් සතුන් සිය ගණනකට වඩා සුවපත්වී ඇත. ඒ සේවය තවත් අය ඉල්ලා සිටි නිසාම කාලයේ අවිවේකී බව හෝ නොතකා ඔහු බත්තරමුල්ල ප්‍රදේශයටත් හික්කඩුව ප්‍රදේශයටත් ඔහුගේ සේවය ලබා දෙන්නට පෙට් ප්ලස් සත්ත්ව සායනත් ඇරඹුවේය.

” සායනවලට ගේන සත්තු අතරෙ ගෙවල්වල හදන අයයි මහමග අයයි දෙගොල්ලම ගේනවා. ගෙවල්වල අය නම් බෙහෙත් විදපු විශ්වාසවන්ත අය. ඒත් මහමග හැදුණු අය ගැන දන්නෙම නෑ. ඒත් හදිසි අනතුරකට ලක්වුණ ඒ වගේ සතෙක් ගෙනාවොත් ඒ දේවල් හිත හිත ඉන්න බෑ වෛද්‍යවරයෙකුට. වරක් ඒ වගේ පාරෙ හිටපු පූසෙක් කැබ් රථයකට යටවෙනවා දැකපු කෙනෙක් අරන් ආවා. ඒ වෙලාවේත් පූසා හොඳට හිටියා.

සිහිනැතිකරන්න ඉන්ජෙක්ෂන් එක විදිනකොට මගෙ අත තුවාල වෙන්නම කෑව. ඒ වෙනකොට මට ප්‍රතිශක්තියට විදපු බෙහෙත්වල කාලේ ඉක්මගිහින් තිබුණේ. මම ඒ ගැන හිතුවෙ නෑ. සතාගේ ශල්‍යකර්මය කළා. හැබැයි දවස් දෙකකට පස්සෙ ඒ සතා මැරුණා කියලා මට කතා කරලා කිව්වා. ඒ වෙලාවෙ මම ගිහින් බෙහෙත් විදගත්තා එයා පාරෙ හිටපු නොදන්නා පූසෙක් නිසා. මොක හරි හේතුවකට ගොඩක් සත්තු මාව හපාකන්නෙ නෑ. සායනයට නිතර ගේන සතෙක් හපාකෑවත් බයකුත් නෑ..”

වෛද්‍යවරයෙකුට වගේම පශු වෛද්‍යවරයෙකුටද රැයක් දවාලක් නැත. මිනිස්සු වගේම සත්තු අසනීප වෙන්නේ හිටිහැටියේමය. ඒ නිසා එවන් සත්තු වෙනුවෙන් පශුවෛද්‍යවරයකුගේ සේවයත් රැයක් දවාලක් නැතුව ලැබෙන්නේ නම් එයත් ගුණපිරි මනුස්සකමකි. ඔහුගේ දුරකථනයත් පැය 24 ම වැඩකරන බව කීවේ වෛද්‍ය චන්ද්‍රසිරිමය.

” සත්තුත් මිනිස්සු වගේ තමයි .. නොකියා අසනීප වෙන්නේ. ඒ වගේමයි ගොඩක් වෙලාවට රෑට ඇමතුම් එනවා කන්ටේනර්වලට හරක් බල්ලො වගේ යටවුණාම. ඉතින් ඒවත් අර මිලක් නැති මගේ සේවයේ කොටස් විදිහට බොහොම කැමැත්තෙන් කරනවා. ඉස්කෝලෙ යනකාලේ තිබ්බ හීනෙ ඉෂ්ට කරගන්න බැරිවුණාට දුකක් නෑ. ඊට වඩා සේවයක් මගෙන් වෙන නිසා. ඒ වගේම තවත් එකම එක හීනයක් මට තියෙනවා. ඒ කවදාහරි මම සත්තව රෝහලක් හදනවා. අද මේ වෙනකොට ඒකට ප්‍රතිපාදන මගේ ළඟ නැතත් හිතේ ඒ සිතුවිල්ල කවදා හෝ ඉෂ්ට කරගන්න පුළුවන්වෙයි කියලා විශ්වාසයක් මට තියෙනවා. එහෙම වුණොත් සත්තු පනහකට නෙවේ ඊට වඩා වැඩි ගාණකටත්, මීට වඩා සත්තු වෙනුවෙන් ලොකු සේවයක් මට කරන්නත් පුළුවන් වෙනවා..”

ඔහුගේ ඒ මේ සිතුවිලිවලට පණ දෙන තවත් ශක්තියක් ද ඇත. ඒ වෛද්‍ය චන්ද්‍රසිරිගේ සහකාරියයි. ඇයද පශු වෛද්‍යවරියකි. වෛද්‍ය සිලුමි සුභාෂිණී ද සේවය කරන්නේ ඔහුගේ සායනයේමය. ඔවුන් දෙදෙනාගේ පුංචි පුතුන් දෙදෙනා දුලග හා සෙනුගත් සත්තු කෙරෙහි අපමණක් දයා සිත් ඇත්තෝය. බහ තෝරනවියේ පටන් ඔවුන් දකින්නේත් අම්මා හා තාත්තා සතුන්ට දක්වන කරුණාව නිසා ඔවුන් දෙදෙනාද සමහර විට මතු දා මේ වෘත්තියම තෝර ගන්නවා ඇතිවාට සැක නැත.

බියංකා නානායක්කාර
gossip lanka