gossip lanka

රංජන් අධිකරණයට අපහාස කළේ නැහැ.. අධිකරණයට අපහාස කරන්නේ රනිල්, හකීම්, සම්බන්ධන් තුන්කට්ටුව ! - ඩිලාන්

දේශපාලන අර්බුද නිමා වී ඇතැයි කීවද තවමත් ඒ වගක් පෙනෙන්නට නැත. සියලූ පක්‍ෂ නියෝජනය කරන දේශපාලනඥයින්ද, සිවිල් සංවිධානද, විද්වතුන්ද මේ ගැන විවිධ අදහස් දක්වති. බහුතරයකගේ අදහස වන්නේ තවමත් අර්බුදය නිමාවී නැති බවය. අප හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මුණගැසුනේ මේ කරුණු කාරණා ගැන සාකච්ඡා කරන්නටය. මතු පෙළ ගැසෙන්නේ ඔහු දක්වන ලද අදහස්ය.
ප‍්‍රශ්නය - මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති හැටියට පත්වීමෙන් පසු ලද සතුට ආරක්ෂා කර ඉදිරියට ගෙනයෑමට හා පවත්වාගෙන යෑමට බැරි වීම පිළිබඳව අද ඔබගේ ආකල්පය මොන වගේ එකක්ද...?

 පිළිතුර -මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිකමේ දිගින් දිගටම තියාගන්න තිබුණනම් මම වඩාත් සතුටින්. හැබැයි ඒව වෙනුවෙන් අපට දරන්න බැරි, අපට ගැළපෙන්නෙ නැති, ප‍්‍රතිපත්තිමය වශයෙන් පෑහෙන්නේ නැති කණ්ඩායමක් විවිධ වරදාන වරප‍්‍රසාද දීමනා හා තනතුරු දීලා අරගෙන ඔවුන්ව රැක ගනිමින් අගමැතිකම් තියාගන්නවට වඩා විපක්ෂ නායක කම බාරගන්න එක දාහෙන් සම්පතක් කියලයි මටනම් හිතෙන්නේ. දැන් බලන්නකෝ වෙච්ච දේ....ලංකාවේ දෙශපාලනයේ හරි මැද්දෙන් දෙකට වෙන් වෙලයි තියෙන්නෙ. එක පැත්තක ඉන්නෙ රටට ආදරේ කරන අය. අනිත් පැත්තෙන් මේ රටට හතුරුකම් කරන අය. ඉතින් අගමැතිකමක් රැකගන්න රටට හතුරුකම් කරන මිනිස්සු අපේ කණ්ඩායමට භාර ගන්නවට වඩා විපක්ෂනායක කම භාර ගන්න එක අපේ දේශපාලන සෞඛ්‍යයට හොඳයි. ඒ මොකද අපි දන්නවා මේ රටට සතුරු බලවේග බලයේ ඉන්න අගමැති මහින්ද රාජපක්ෂට වඩා විපක්ෂයේ ඉන්න විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට පරාණ බයයි. විපක්ෂ නායක මහින්ද ජනතාව අතර යෝධයෙක් වගේ වැඩෙන බව ඔවුන් දන්නවා මේ මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ගේ ආශිර්වාදය යටතේ.

 ප‍්‍රශ්නය - ජනතාව ප‍්‍රාර්ථනා නොකළ සටනක ජයග‍්‍රහණයක සතුටට වැඩි ආයුෂ නෑ කියලා ඔබ කණ්ඩායමේම සමහර අය තර්ක කළ ආකාරය අපිට මතකයි... ?

 පිළිතුර -මට ඔන්න ඔතන තමයි තේරෙන්නේ නැත්තේ. පහුගිය පෙබරවාරි මැතිවරණයේදී රටේ ජනතාව මහින්ද මහත්තයට ඡුන්දය දුන්නේ පහුවදා ඔහුව රටේ අගමැති කරවන්න නෙවෙයි ද... අපට මතකනේ පොහොට්ටුවේ වේදිකාවෙන් ඇහුණා මහින්ද මහත්තයව රටේ අගමැති කරවන්න ඕන නම් පොහොට්ටුවට ඡුන්දෙ දෙන්න කියලා.... ඡුන්දෙන් පස්සේ ඒක කරන්න බැරි වුණාම පොහොට්ටුවේ උදවිය ආයෙත් කිව්වා... අපි මහින්ද මහත්තයව අගමැති කරනවාට වඩා විපක්ෂනායක කරවමු කියලා. දැන් 16 දෙනාගේ කණ්ඩායමත් එළියට ඇවිල්ලා තියෙන නිසා අපි තමයි නියම විපක්ෂය, අපට දැන් හැත්තෑවක් ඉන්නවා. සම්බන්ධන්ට නෙවෙයි අපටයි විපක්ෂනායකකම උරුම කියලා පොහොට්ටුවේ වේදිකාවෙන් ආයෙත් කියනවා ඇහුනා. මතකයි නේ ඕගොල්ලන්ටත්. ඉතින් 16 දෙනා හැටියට අපි එළියට ඇවිල්ලා ඇති කරපු දේශපාලන වාතාවරණය මත අපිට පුළුවන් වුණා මහින්ද මහත්තයට ජනතාව බලාපොරොත්තු වුණ අගමැතිකම අරගෙන දෙන්න. ඒක නැති වුණේ නෑනේ... ඒක මහින්ද මහත්තයා ආපහු බාර දුන්නා. ඒ වගේම අපිට හැකිවුණා ජනතාව දෙවනුව බලාපොරොත්තු වුණු විපක්ෂනායක කමත් මහින්ද මහත්තයාට අරගෙන දෙන්න.... ඉතින් මේ දෙකම ජනතාව බලාපොරොත්තු වෙච්ච සටනක ජයග‍්‍රහණ හැටියටයි මම දකින්නේ....

 ප‍්‍රශ්නය - ජනාධිපතිතුමාට, මහින්ද හිටපු ජනාධිපතිතුමාට හා පොදුවේ ඔබ සැමට වැරදුනේ කොතනද කියල අද කවුරු හරි ඔබෙන් ඇහුවොත්..?

 පිළිතුර -අපට වැරදුනේ නැහැ කොතනකවත්. මොකද 16 දෙනාගේ කණ්ඩායම පක්ෂය ඇතුළේ අරගලයක් කළා දැන් අපි මේ ආණ්ඩුව ඇතුළේ හිටියා ඇති.... ගිවිසුම්ගත කාලය ඉවරයි. දැන් අපි ආණ්ඩුවෙන් එළියට යන්න ඕන කියලා. අපට පුළුවන් වුණා පක්ෂය අපේ මතයට ගේන්න. ඒ මතයට දිගින් දිගටම විරුද්ධව හිටපු දුමින්ද දිසානායකවත් ලේකම් කමෙන් එලියට ඇදලා දාන්න අපිට පුළුවන් වුණා. අපේ ඊළඟ අරමුණ වන මහින්ද මෛත‍්‍රී මිත‍්‍ර කිරීමත් අපි ජය ගත්තා. අපට වැරදුණේ නැහැ. අපේ අරමුණ තමයි දින්නේ.

 ප‍්‍රශ්නය - මම අහන්නේ ආණ්ඩුව දිගටම තියාගන්න බැරි වෙච්ච එක ගැන..?

 පිළිතුර - ඒකට හේතුව මම හිතන්නේ ආණ්ඩුව විසුරුවා හැරීම. ඒක වැරදි තීන්දුවක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමගම ආණ්ඩුව නතර වුණා. කැබිනට් මණ්ඩලය අහෝසි වුණා. මොකද ඒක සන්ධාන ආණ්ඩුවක්. එක පාර්ශ්වයක් ඉවත් වුණාම කැබිනට් එක අහෝසි වෙනවා. ඊට පස්සේ ජනාධිපතිවරයාගේ බලතල අනුව තමයි ඔහු යළි කැබිනට් එක පත් කරන්නෙ. ඒ මොහොතේ වැඩිම බලය තියෙන පක්ෂයේ නායකයා යැයි ජනාධිපති හිතන කෙනා අගමැති ලෙස පත් කළේ. මේ කොතනකවත් නීතියට පිටින් කිසි දෙයක් වෙලා නෑ.

 නමුත් ප‍්‍රශ්නය ආවේ ගැසට් එකක් නිකුත් කරල ආණ්ඩුව විසුරුවා හැරියට පස්සේ... ඊට පස්සේ එන්න හිටපු අය මොකටද අපට එකතු වෙලා... නීතිමය ප‍්‍රශ්න ආවෙත් එතනින් පස්සේ. නීතිමය ප‍්‍රශ්න වලට ලැබිච්ච තීන්දු හරිය කියලා මම මේ කියනවා නෙවෙයි. ඒව ගැන අපට ප‍්‍රශ්න තියෙනවා. ලෝක ඉතිහාසයේ ප‍්‍රථම වතාවටනේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය සුරකින ඡුන්දය වළක්වමින් අධිකරණය තීන්දුවක් දුන්නේ.

 ප‍්‍රශ්නය - යම් යම් වැරදි තිබුනා නම් ඒ වැරදි හදාගෙන ඉදිරියට ගමනක් යන්න තිබුණා. ජයග‍්‍රහණයේ මාවත කරා ඉදිරියට යන ඒ ගමනේ දී ඔබට බාධක ලෙස හැඟුන කාරණා මොනවාද..?

 පිළිතුර -අපිත් ස්වයං විවේචනයක් කරන්න එපැයි... නේද. අපි ආරම්භ කරපු දේශපාලන දීගේ සාර්ථකයි. ඒක ආයෙත් කැඩෙන්න විදියක් නෑ. මහින්ද-මෛත‍්‍රී දෙදෙනා අද පුදුමාකාර ශක්තියකින් එකට බැඳිලා ඉන්නේ. මේ පහුගිය දවස්වල තිබුණු මධ්‍යම කාරක සභාවේදීත් සමහර අය මහින්ද රාජපක්ෂ මහත්මයාට විරුද්ධව මත පළ කරන කොට ජනාධිපතිතුමා කියපු දේ තමයි එහෙම නම් ඔයගොල්ල පක්ෂයෙන් එලියට යන්න... ඒ වගේම එතුමා දැඩි තීන්දුවක ඉන්නවා මේ පැත්තෙන් ඒ පැත්තට පනින ගෙම්බන්ට කිසිම තනතුරක් දෙන්නෙ නැහැ කියලා. ඒ නිසා එතන අපිට වැරදිලා නෑ.

 නමුත් අපේ ගමනට බාධාවක් හැටියට හඳුනා ගන්න පුළුවන් තැන් කීපයක් තියෙනවා. එකක් තමයි මම අර කියපු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම. ඒ නිසා පසුව අප සමඟ එකතු වෙන්න එන්න හිටපු අය වැළකී ගියා.

 ඒ වගේම මුස්ලිම් පක්ෂ වලින් අප සමඟ එන්න පක්ෂවලට නොදන්වා මන්ත‍්‍රීවරු 4 දෙනෙක් සූදානම්ව හිටියා. නමුත් ඒ වෙලාවේ අප සමඟ හිටපු යම්කිසි ක‍්‍රියාකාරී චරිතයක් තීන්දු කළා ඒ අය හතරදෙනා ගත්තොත් කට්ටියම ගෙඩිය පිටින් අපට ගන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා කියලා. අපි තර්ක කළා මේ වෙලාවේ ඒ ගොල්ල නොගත්තොත් ඒ හතරදෙනත් නෑ කියලා... අන්තිම එකින් එක තමයි වුණේ. ඒ වගේම දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරු 6 දෙනෙක් අප සමඟ කතාබහක නිරත වෙලා හිටියා. එතන එක්කෙනෙක් හැර අනිත් පස්දෙනාගේ යෝජනා සමග අපට එකඟග වෙන්න බෑ. දිනාගත්තු රට පාවලා දීලා අගමැතිකම්ක් රැක ගන්නවයි කියන එක අපට ගැළපෙන දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ වැඬේ වුණෙත් නෑ.

 අවසාන වශයෙන් ගත්තාම අපේ කණ්ඩායම ඇතුළේ උත්සාහයන් තුනක් තිබුණා... කණ්ඩායමක් උත්සාහ කළා කෙසේ හෝ 113 ක් හදාගෙන එමගින් ආණ්ඩුව ඉදිරියට අරන් යන්න. තව කණ්ඩායමක් උත්සාහ කළා 113 ක් හදාගෙන ඒ තුළින් ආණ්ඩුව ඉදිරියට ගෙන යන අතරේ ජනාධිපති බලතල පාවිච්චි කරලා ආණ්ඩුව විසුරුවා හැරලා පාර්ලිමේන්තු මහ මැතිවරණයකට ගිහිල්ල එතනින් අපේම ශක්තිමත් ආණ්ඩුවක් හදාගන්න. එතනදි අපි වගේ අය උත්සාහ කළේ මහා මැතිවරණයක් ඕනෙද එපාද කියන ප‍්‍රශ්නය ජනමත විචාරණයක් මගින් ජනතාවගෙන් අහලා ඔවුන්ගෙන් බලයක් අරන් මහ මැතිවරණයකට යන්න. එහෙම ගියානම් ඔය කිසිම අධිකරණයකට ඒ නිකුත් කරන ගැසට් එක අභියෝගයට ලක් කරල තීන්දු තීරණ දෙන්න බෑ... මොකද ජනතාව තීන්දුව දීලා ඉවරයි. ඉතිං ඔන්න ඕවා තමයි අපේ ගමනට බාධාවන් වුණේ. ඒවා තමයි අපිට වැරදිච්ච තැන්.

 ප‍්‍රශ්නය - වැරදි නීති උපදෙස් මත කටයුතු කරලා තියෙනවා කියලාත් සමහරු චෝදනා කරනවා..?

 පිළිතුර - මොන පිස්සුද... ලංකාවේ ඉන්න ඉහළම නීති උපදේශකයෝ නිවැරදිව උපදෙස් දීලා තියෙනවා.. ඒවා වැරදි නැහැ.. සමහර නීති ශිෂ්‍යයෝ අපෙන් ඇවිල්ල අහනවා... මේ වගේ තීන්දුවක් එන්න නම් මොන මඟුලකටද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33 /2 කියලා වගන්තියක් එකතු කරල තියෙන්නෙ කියලා.... අපි කිව්වේ ඒක අපෙන් අහන්න එපා... ඒවා ගිහිල්ලා අහන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුකාර හාමුදුරුවරුන්ගෙන්. උන්වහන්සේලා තමයි මේ රටේ යුක්තිය පසිඳලන දෙවිවරු. දෙවියන් වහන්සේට අපිට අභියෝග කරන්නට බෑ... උන්වහන්සේ කියන දේ අපි අහන් ඉමු.... කියලයි. අපි එහෙම කියද්දි සමහර අය නම් කියනවා අධිකරණය ඉදරබ ්ට්සබ කියලා... මම නම් දන්නෙ නෑ ඇයි එහෙම කියන්නෙ කියලා.

 ප‍්‍රශ්නය - ආණ්ඩුව විසුරුවා හැරීම හා ඒ සමගම ගනිපු සමහර ඉක්මන් තීන්දු මහින්ද මහතා ඇතුළු කණ්ඩායම මෙන්ම ඔබ සැම ලොකු අමාරුවක දැම්මා කියලත් සමහරු කියනවා අහන්න ලැබෙනවා. මේ ගැන ඔබ මොනවද හිතන්නේ...?

 පිළිතුර -ඒක ගැන තර්ක දෙකක් තියෙනවා. සමහරු කියනවා මහින්ද මහත්තයා මේ ඉතිරි කාලෙත් හිටිය වගේ ඉවසා වදාරගෙන ඉඳලා මහ ඡුන්දෙකට ගිහිල්ලා විශාල බලයක් ලබා ගන්න ඉඩ තිබියදී ඇයි මේ හදිසි වෙලා කලබල වෙලා ගිහිල්ලා මේ මඟුල් බදාගත්තේ කියලා. තවත් සමහරු කියනවා එහෙම අවුරුදු එකහමාරක් ඉවසගෙන බලාගෙන හිටියා නම් භාර ගන්න රටක් ඉතුරු වෙයිද කියලා. ඔය අස්සෙ තව සමහරු කියනවා නේ අපි අපරාදෙ හදිසි වුණේ. අපරාදෙ මේක බාර ගත්තෙ... දැන් ඉතින් ජනාධිපතිතුමා ඉල්ලා අස්විය යුතුය කියලත්. අපේ උනුත් කියනවා නේ.... එහෙම කියනකොට අපි වගේ නීතිඥයන්ට දැනෙන දෙයක් තියෙනවනේ... ජනාධිපතිතුමා ඉල්ලා අස්වුණොත් කවුද ඊළඟට බලයට එන්නේ...අපේ උන් එහෙම කියනකොට බලාගෙන ඉන්න යූ. ඇන්. පී කාරයෝ අප්පුඩි ගහනවා... ඇයි ඒ... එහෙම වුණොත් රනිල් වික‍්‍රමසිංහ ස්වයංක‍්‍රීයව බලයට එනවනේ. සමහර අය ඔළුවෙන් කතා කරනව. සමහර අය පපුවෙන් කතා කරනවා. හැබැයි ඒ කතා ඔක්කෝගෙම වාසිය කාටද....රනිල්ට නෙවෙයිද.

 සමහරු මේ දින 50 ආණ්ඩුවටත් බනිනවනේ. දින 50 ආණ්ඩුවෙන් ජනතාවට නරකක් වෙලා තියෙනවද. ජනතාවට සහන ගොඩක් ලැබුණා නේ... ඒ සහන නිසා අද රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුවටත් නොකඩවා ඒ සහන ඉදිරියට ගෙන යන්න සිද්ධවෙලා තියනවා නේ....

 ප‍්‍රශ්නය - මම අදහස් කළේ කලබල වෙලා ඉක්මන් තීන්දු ගත්තාය කියලා, ආණ්ඩුව විසුරුවා හැරියාට පස්සේ ඔබලාගේ කණ්ඩායමේ සමහර අය දුවල ගිහින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ලබා ගැනීම ගැනයි..?

 පිළිතුර - මෙහෙමයි.... දේශපාලන වශයෙන් අපි හැමෝටම යම් යම් වැරදීම් වෙන්න ඉඩ තියෙනවා... ඒ සඳහා එදා කලබල නොවුණානම් සමහරවිට ජනාධිපතිතුමා මහින්ද අගමැති තුමා අතර අවබෝධය මීටත් වඩා වැඩි වෙන්න තිබුණා... එහෙමෙයි කියල දැන් ඒක බිඳවැටිලා හානියක් වෙලාත් නැහැ. නමුත් එදා යම්තාක් දුරකට ඒ ප‍්‍රශ්නය සමගියට බාධාවක් වුණා.

 මේ ඔක්කෝටම වඩා අපගේ ඇතුළාන්තය බිඳවැටෙන්න ලොකුම හේතුව වුණේ අපේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම තුළ හිටපු සමහර අයගේ නෙයියාඩගම් නැටීමයි. ඒ ගොල්ලො කොච්චර කේවල් කරාද.... අපට අරක ඕන මේක ඕන කිය කිය කේවල් කරලා අන්තිමේ ඒ ඔක්කොමත් අරගෙන සමහරු අනිත් පැත්තටත් ගියා. 7 ක් එනවා 8 ක් එනවා කිය කියා අනිත් පැත්තට සංඥා නිකුත් කිරීමත් හොඳටම කළානේ.... දුමින්ද දිසානායක වගේ අය දිවුරන්නත් අදිමදි කළා. මම දුමින්දට ගරු කරනවා මේ මොහොතේත් ඔහු අපි සමග රැඳී සිටීම සම්බන්ධයෙන්.... නමුත් ඒ වෙලාවේ අනිත් පැත්තට දීපු සංඥාවන් ඒ තරම් හොඳ නෑ. මම තව එකක් කියන්න ඕන.... තවත් සමහර අය හිටියා යම් යම් ඇමැතිකම් හා වරප‍්‍රසාද බලාපොරොත්තුවෙන් අපි ළඟට එන්න.... ඒ වෙලාවේ හැටියට ඒ වගේ අය එදා ආපහු හරවලා යවපු එකත් ලොකු වැරැද්දක් කියලා මම අද හිතනවා.

 ප‍්‍රශ්නය - අද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් යම් යම් ප‍්‍රශ්න ගොඩනැගිලා තියෙනවා. දෙමළ ජාතික සන්ධානයත් විපක්ෂනායකකම සම්බන්ධයෙන් නොයෙකුත් තර්ක ඉදිරිපත් කරන්න පටන් අරන් තියෙනවා.. එක්සත් ජාතික පක්ෂය මහින්ද මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරු ගණනාවකගේ මන්ත‍්‍රීධුර සම්බන්ධයෙනුත් අභියෝග කරන්න පටන් අරන් බව පේනවා. ඔබ නීතිඥයෙක් හැටියට මේ කරුණු කාරණා වල නීතිමය පසුබිම ගැන මොකද කියන්නේ..?
 

 පිළිතුර - වරදවා වටහා ගන්න නරකයි.... එක්සත් ජාතික පක්ෂයවත් දෙමළ ජාතික සන්ධානයවත් ඔය කොයි කවුරුවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට විපක්ෂනායක කම ලබාදදීම සුදුසු නැහැ කියලා කියන්නේ නැහැ. ඒක නෙවෙයි එයාල කියන්නේ. සන්ධානයට විපක්ෂනායක කම හිමියි. හැබැයි ඒකට මහින්ද රාජපක්ෂ තෝරන එක වැරදියි කියලයි එයාලා කියන්නේ.... ඒ ගොල්ල කියන්නේ මහින්ද රාජපක්ෂ පොහොට්ටුවේ සාමාජිකයෙක්.

 මෙතන තියෙන ඇත්ත කතාව මොකද්ද.... ඇත්ත කතාව තමයි අගමැති මහින්ද රාජපක්ෂට වඩා මේ ආණ්ඩුව, මේ දෙමළ ජාතික සන්ධානය, මේ ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට පරාණ බයයි.... ඒකයි හේතුව.

 දෙයියනේ සන්ධානයේ මන්ත‍්‍රීවරු 98 ක් නම් ඉන්නේ, ඒ 98 දෙමළ ජාතික සන්ධානයේ 16 ට වඩා ලොකුයි නම්, සන්ධානයට නම් විපක්ෂ නායක කම හිමි, අපේ විපක්ෂනායක කමට අපි මොකා තෝරගත්තත් උන්ට මොකද... අපේ විපක්ෂ නායකයා ඉන්නේ සන්ධානයේ නම් එයා අහවල් එකේ සාමාජිකයාද මේකේ සාමාජිකයාද කියල අපිට ප‍්‍රශ්නයක් නැත්නම් උන්ට තියෙන රුදාව මොකක්ද....

 පහුගිය අතුරු සම්මත ගිණුමේදී වුණත් යූ. එන්. පී එක ඒක පාස් කරගත්තේ දෙමළ ජාතික සන්ධානයේ ඡුන්දත් ඇතුළුව ඡුන්ද 102 කින්. නමුත් හකීමුයි සම්බන්ධනුයි රනිලූයි දිවුරුම් පෙත්සම් 117 පෙන්නලා අධිකරණයත් නොමඟ යවලා තමයි මේ ආණ්ඩුව පත් කළේ. කෝ දැන් ඒ 117 ක බහුතරය. කූට ලේඛන පෙන්නලා අධිකරණයත් නොමඟ ඇරියා. එහෙම කරලා අගමැතිකමට රනිල් පත්කළා. ඊට පස්සේ දැන් කියනවා සම්බන්ධන්ට විපක්ෂ නායක කමත් ඕනලූ.

 ප‍්‍රශ්නය - එහෙමනම් සම්බන්ධන් මොන එකටද ඒ වගේ ඉල්ලීමක් කරන්නේ..?

 පිළිතුර - සම්බන්ධන් එහෙම කියන්නේ ඇත්ත වශයෙන්ම විපක්ෂනායකකම එයාට ඕන හින්දද. යථාර්ථය ඒකද... නෑ.... ඒගොල්ලෝ මේ කලබල වෙලා තියෙන්නේ විපක්ෂ නායකකම ගන්න නෙවෙයි... මහින්ද රාජපක්ෂ මේ රටේ විපක්ෂ නායක වුණොත් ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය වෙනස් වෙන නිසා ඒක ආරක්ෂා කර ගන්නයි මේ ගොල්ලා මේ සෙල්ලන් ඔක්කොම දාන්නේ.

 අපි මේක තේරුම් ගන්න ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය බලමුකෝ. ඒකෙන්නේ මේ රටේ ප‍්‍රධානම තනතුරු වලට පත්වීම් ලබා දෙන්නේ. ඔය අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු, අභියාචනාධිකරණ විනිසුරුවරු, නීතිපති, පොලිස්පති, අනිකුත් කොමිෂන් සභා, විගණකාධිපති ආදී විවිධ උසස් තනතුරු පත්කරන්නේ එතනින්නේ. මෙච්චර කාලයක් රටේ මෙම ව්‍යවස්ථාදායක සභාවේ පත්වීම් කරනු ලැබුවේ මතවාදී වශයෙන් එකම තලයක ඉන්න කණ්ඩායමක්. ඒ නිසා ඒගොල්ලන්ට ගැළපෙන නිලධාරීන් හා විනිසුරුවන් විතරයි පත්වුණේ.

 අපි බලමු එහෙම වෙන්නේ කොහොමද කියලා මේකෙ සංයුතිය අනුව.

 ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් 10 දෙනයි. කථානායක තමයි සභාපති. ඊළඟට අගමැති ඉන්නවා, අගමැතිගේ නියෝජිතයෙක් ඉන්නවා. දෙවනුව ජනාධිපතිගෙ නියෝජිතයෙක් ඉන්නවා. තෙවනුව විපක්ෂනායක ඉන්නවා, විපක්ෂනායකගේ නියෝජිතයෙක් ඉන්නවා. සිව්වනුව සුළු පක්ෂ වලින් එක නියෝජිතයෙක් පත් කරනවා. අවසානයේ රටේ ස්වාධීන යැයි විශ්වාස කරන ප‍්‍රභූ පන්තියේ උසස් පුද්ගලයන් තුන්දෙනකුගේ නම් අනෙක් අය විසින් යෝජනා කරනවා. එහෙම තමයි පසුගිය වතාවේ ව්‍යවස්ථාදායක සභාව හැදුනේ. පහුගිය ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය අනුව එජාපයට දෙමළ ජාතික සන්ධානයට සහ ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය අය විතරයි ඒක ඇතුළෙ හිටියෙ. ඒ තුළින් රටේ තීරණාත්මක තනතුරු වලට තීරණාත්මක පුද්ගලයන් පත් කිරීමේදී විශාල බලයක් මේ තුන් ගොල්ලෝ විසින් හොබවනු ලැබුවා මෙච්චර කාලයක්. ඒක නිසා තමයි ජනාධිපතිතුමා පහුගිය දිනක රනිල් වික‍්‍රමසිංහ ළඟ තබාගෙන කරපු ඓතිහාසික කතාවේදී කිව්වේ ගරු අධිකරණයේ විනිසුරුවන් විදිහට ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ගෙන් නම් තමන් ලියලා යවනකොට ව්‍යවස්ථාදායක සභාවෙන් ඒ නම් කපාහැර කනිෂ්ඨ නීතිවේදීන් පත්කළා කියලා... ඔහොම තමයි තමන්ට හා තමන්ගේ මතයට ගැළපෙන රටේ වැදගත් තීරණාත්මක තනතුරු සඳහා නිලධාරීන් පත් කළේ මෙයාලා මෙච්චර කාලයක්...

 මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ නියෝජිතයා ගිහිල්ලා ව්‍යවස්ථාදායක සභාවේ වාඩිවෙච්ච ගමන් මෙච්චර කාලයක් අගමැතිට තිබුණු බලය අහිමි වෙනවා. විපක්ෂයේ නියෝජිතයන්ගේ බලය සහ ජනාධිපතිගේ නියෝජිතයා ගේ බලය වෙනම ගොඩකට වැටෙනවා. එතකොට අගමැති රනිල්ට ඉන්නෙත් තුන්දෙනයි. ඒ තුන්දෙනා මදි මෙච්චර කාලයක් කරගෙන ගිය සෙල්ලම් නැවත කරගෙන යන්න. ඇයි අර ඉතිරි නියෝජිතයන් තුන්දෙනා පත් කරන්නෙත් ඉන්න අයගෙ වැඩි ඡුන්දෙන් නේ.

 ඉස්සර මේ ව්‍යවස්ථාදායක සභාවෙන් පත්කරන නියෝජිතයන් හරියට සුමන්දිරන්ලගේ සම්බන්ධන්ලගේ රනිල්ලාගේ විසිත්ත කාමරයේ ඉන්න අමුත්තෝ වගේ. අධිකරණයත් හරියට සම්බන්දන්ලගේ විසිත්ත කාමරය වගේ තමයි. ඒක නිසා නේ අර රන්ජන් රාමනායකලා වගේ අය අධිකරණ තීන්දුව කලින් දැනුම් දුන්නේ....

 ඇත්ත වශයෙන්ම රංජන් රාමනායක අධිකරණයට අපහාස කළේ නැහැ. රන්ජන් අවංක මනුස්සයා. එයා කළේ තමන් දන්න දෙයක් කලින් කියපු එක විතරයි. රන්ජන්ගේ කලින් නඩුවේ නීතිවේදියා සුමන්තිරන්. සුමන්තිරන්ලගේ ආලින්දයේ සිද්ද වෙච්ච කතාවක් ගැන ඔහු රංජන්ට කිව්වා. රන්ජන්ගේ කටේ බ්‍රේක් නෑ... එයා ඒක ප‍්‍රසිද්ධ සභාවක කිව්වා. ඕකනේ එතන වුණේ.

 ඇත්ත වශයෙන්ම අධිකරණයට අපහාස කළා නම් කරලා තියෙන්නේ රනිල් වික‍්‍රමසිංහයි රවුෆ් හකීම්නුයි සම්බන්ධනුයි. ඒ තුන්දෙනා නේ තමන්ට 117 ක බලය තියෙනවා කියලා අධිකරණය හමුවට දිවුරුම් ප‍්‍රකාශන කියලා කූට ලේඛන වගයක් අරගෙන ගිහිල්ල ඉදිරිපත් කරලා රනිල්ට ආණ්ඩුව අරන් දුන්නේ. නමුත් ආණ්ඩුවට ඇත්තටම තියෙන්නේ 102 ක් පමණක් බව පසුගිය දවස් වල ඔප්පු වුණා.

බුලිත ප‍්‍රදීප් කුමාර
දිවයින
gossip lanka