අම්බානි පවුල මා සමඟ හිතවත් - චන්දන

ඉකුත් සතියේ ලොව බොහෝ දෙනකුගේ අවධානයට පාත්‍ර වූ විවාහ උත්සවයක් සිදු වුණා. ඒ ඉන්දියාවේ ඉහළම ධනවතා ලෙස සැලකෙන මුකේෂ් අම්බානිගේ දියණිය ඊෂාගේ විවාහයයි.

මේ සඳහා යහමින් මුදල් වියදම් කොට තිබූ අතර දැරූ පිරිවැය අතින් දෙවැනි වූයේ චාල්ස් - ඩයනාගේ විවාහ උත්සවයට පමණයි.

එහි ආරාධනා පතක පමණක් වටිනාකම ඉන්දියානු රුපියල් ලක්ෂ තුනකට අධිකයි. මුකේෂ් රිලයන්ස් සමූහ ව්‍යාපාරය ඇතුළු තවත් ව්‍යාපාර ගණනාවක හිමිකරුවා වන අතර ඉන්දියාවේ ප්‍රිමියර් ලීග් කණ්ඩායමේ ද අයිතිය තිබෙනවා.

මුම්බායි නගරයේ අන්ටිලියාහි ඇති තට්ටු විසි හතකින් යුතු අති සුඛෝපභෝගී මැදුරක මුකේෂ් දිවි ගෙවනවා. ඔහුගේ පියා පිළිබඳ මනි රත්නම් ගුරු නමින් සිනමාපටයක් තැනුවා. ලොව හය වැනි කෝටිපතියා ලෙස කලක වැජඹුණ මුකේෂ් අද සිටින්නේ එම ලැයිස්තුවේ දහනව වැනි තැනයි.

එසේ වූයේ ඔහුගේ මුල්‍යමය වත්කම් අඩු වූ නිසා හෝ ඔහු අසාර්ථක වූ නිසා නොව ඔහුට වඩා තවත් ධනපතියන් පැමිණීම හේතුවෙනි.

නෙට්වර්ක් 18 සහ ව්‍යා කොමි යන චිත්‍රපට සමාගම් මුකේෂ්ගේ ව්‍යාපාර ගොන්නෙහි ශාඛාවන්. හොලිවුඩයේ සුප්‍රකට චිත්‍රපට සමාගමක් වන ඩ්‍රීම් වර්ක්ස් සමාගමේ විශාලම කොටස්කරු මුකේෂ්ගේ සහෝදරයා වන අනිල් අම්බානියි.

මුකේෂ්ගේ දියණි ඊෂා අත ගත්තේ ආනන්ද් පිරිමාල් නමැති ව්‍යාපාරික පවුලක තරුණයෙක්. සුපිරි තරු රැසක් මෙම විවාහ උත්සවයට පැමිණ සිටිනු දක්නට ලැබුණා.

ඊෂා - ආනන්ද් විවාහ උත්සවය දෙස ලොව බොහෝ පිරිසක් දෙනෙත් දල්වා බලා සිටියේ එහි ඇති පෙර නොවූ විරූ චමත්කාරය දැක බලා ගැනීමටයි. මෙවන් වූ සුපිරි විවාහයක් ඇතුළත ලාංකේය නම සනිටුහන් වූ මොහොතක් ද අපට දක්නට ලැබුණා. මෙරට නර්තන අංග බොහොමයකින් උත්සවය රසවත් වුණා.

රැස්ව සිටි පිරිස ඒවා විඳිමින් ආනන්දයට පත් වුණා. එම නර්තන අංගයන්හි නිර්මාණකරුවා වූයේ චන්දන වික්‍රමසිංහය. ඔහු ගැන හඳුන්වාදීමට අවැසි වන්නේ නැහැ. ලොවම බලා සිටි අපූර්වතම විවාහ උත්සවයකට එක් වන්නට භාග්‍ය උදා කරගත් චන්දන අප හා මෙලෙස ඒ පිළිබඳ වැඩි විස්තර කතා කළා.

චන්දන ඔබට අම්බානි පවුලෙන් ආරාධනාව ලැබෙන තැන සිට කතාව අරඹමු?

අම්බානි පවුල මගෙත් එක්ක හිතවත්. මීට ප්‍රථම අවස්ථා කිහිපයකදී මම ඔවුන් සමඟ වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ තිබුණු විශ්වාසයත් එක්ක මේ විවාහයට ආරාධනා කළේ.

ඔවුන් මොනවද ඔබගෙන් බලාපොරොත්තු වුණේ?


අපේ නර්ථනයන් බෙහෙවින් ජවසම්පන්නයි. ඔවුන් ඒක දන්නවා. මට පළමුව කිව්වේ අපට ජවසම්පන්න පිරිසක් ඕන කියලා. එකම දේ රිපීට් වෙන්න බෑ කිව්වා. අලුත්ම නර්තන අංග තමයි ඔවුන් ඉල්ලුවේ. මාස එකහමාරකට පෙර සිට ඔවුන් මේ ගැන කතා කළා. ඒ කාලය ඇතුළත උපරිමයෙන් මම මේ සඳහා ලැහැස්ති වුණා.

මේ වගේ අවස්ථාවක් ලෙහෙසියෙන් කෙනකුට ලැබෙන්නෙත් නැහැ. ඒ වගේම මේ ලැබුණෙ ලොකු අභියෝගයක්. දහසකුත් දෑස් යොමු වී තිබෙන මෙවන් වූ තැනක වරදින්නත් බැහැ?

ඔව්. ඔබ කියන දෙයට එකඟයි. මේ වගේ අවස්ථාක් ඔවුන් ලාංකිකයකු වන මට දෙන්නේ ඉන්දියාවේ නර්ථන ආචාර්යවරු නැතුවද, නැහැ. ඔවුනට ඕනෑ තරම් පිරිස ඉන්නවා.

නමුත් මෙතැනදි වුණේ ඔවුන් මගේ නර්තන අංගවල වෙනසක් දැකපු එක. මම කොපි කරලා නර්තන අංග හදන කෙනෙක් නෙවෙයි. ස්ව නිර්මාණ ගෙන එන්නයි උත්සාහ කරන්නේ.

දෙයක් නැවත ප්‍රති නිර්මාණය කරගන්න ඔවුනට මාව ඕන නැහැනෙ. අපි මේ විවාහය තවත් ලස්සන කරලයි ආවේ. ඒක මට සියයට සියයක් විශ්වාසයි.

මොන වගේ නර්තන අංග ද ඔබලා ඉදිරිපත් කළේ?


නව යුවල පදිංචියට ගියේ ඕෂන් විලා නමැති නිවසකට. සයුර තේමා කර ගනිමිනුයි ඔවුන් විවාහය සැලසුම් කරලා තිබුණේ. මමත් නර්තන අංග හැදුවේ එම පදනමින්. නව යුවළගේ මංගල ගමනට අප නර්තනයෙන් එකතු වුණා.

සෙංකඩගල ප්‍රශස්තිය තමයි පළමුව රඟ දැක් වූයේ. තෝරා ගත් හින්දි ගිත එකතුවකට නර්ථනයන් ඉදිරිපත් කළා. ඉන්දියාවේ හරි ප්‍රසද්ධයි සුරංගනීට මාලු ගෙනාවා කියන බයිලා ගීතය. අප නර්තන අංගයන් අවසන් කළේ එතැනින්. ඊට පසුව ජපානය සහ අපේ නර්තන අංග රැගත් ප්‍රසංගයක් තිබුණා. අපි එක දිගට නර්තන අංග හතක් වේදිකා ගත කළා. සමහර ජපන් නර්තන අංග විනාඩි හතරකට සීමා වෙච්ච ඒවා.

අපි ඒ කෙටි කාලය අතරතුරදී ඇඳුම් මේකප් මාරු කරගෙන ක්ෂණිකව අනෙක් නර්තන අංගයට සූදානම් වුණා. නර්තන අංග හතම එහෙමයි කළේ. ඒක තමයි මේ ගමනේ මට අමතක නොවන විශේෂම අවස්ථාව.

(සරසවිය)