ළමා නිවාසයක සිටි 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් සමග පෙමින් වෙළුණු තරුණයෙකුට වැඩ වරදියි

අනුරාධපුර, ළමා නිවාසයක රඳවා සිටියදී පලා ගොස් සිටි බාල වයස්කාර දැරියන් තිදෙනකුට රැකවරණය ලබාදීම චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දැරියකගේ පෙම්වතා ජනවාරි මස 04දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඊට ආධාර අනුබල දුන් බව කියන සැකකරුගේ සහෝදරිය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා නියෝග කර ඇත.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අනුරාධපුර තුන්වැනි පියවර පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.

ඇගේ සහෝදරිය වන කොලකනවාඩිය, සෙවණපිටිය ලිපිනයේ පදිංචි 28 හැවිරිදි තරුණිය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරි අතර ඇයට ලබන වසරේ ජනවාරි මස 04 වැනිදා නැවත අධිකරණයේ පෙනී සිටින ලෙසද විනිසුරුවරයා නියෝග කළා.

පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් අනුරාධපුර තුන්වැනි පියවර ලිපිනයේ පදිංචි වයස අවුරුදු 15යි මාස 02ක් වූ දැරිය හා 15යි මාස 11ක් වූ දැරිය අනුරාධපුර, සාලියපුර පිහිටි ළමා කාන්තා රැඳවුම් නිවාසයේ රඳවන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබෙන බව පැවසෙනවා.

සැකකරුවන් හා වින්දිත දැරියන් අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා නඩු මෙහෙයුම් අංශය අධිකරණයට කියා සිටියේ අනුරාධපුර,  ළමා නිවාසයේ පාලිකාව විසින් පසුගියදා බාල වයස්කාර දැරියන් අටදෙනකු පලායෑම සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුව කළ පරීක්ෂණවලින් අනතුරුව දැරියන් තිදෙනකු පිළිබඳව අනාවරණය කරගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා එක් දැරියක් සමඟ ආදර සබඳතාවක් පවත්වන බවත් එම දැරිය ළමා නිවාසයේ අකටයුතුකම් ඉවසා දරා ගැනීමට නොහැකිව ඔහු සොයා ගොස් ඇති බවත් පොලිසිය අධිකරණයට පවසා ඇත.

පසුව සැකකාර තරුණයා පෙම්වතිය රඳවාගෙන සෙසු දැරියන් දෙදෙනා අනුරාධපුර නව බස් නැවතුමට ඇරලවා ඇති බවත් පෙම්වතිය සෙවණපිටියේ පදිංචි සහෝදරියගේ නිවෙසට ඇරලවා දැරිය නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර තිබෙන බවත් පොලිසිය අධිකරණයට පැවසූ බව සඳහන්.

ළමා නිවාසයෙන් පලාගිය දැරියන් හයදෙනකු සම්බන්ධයෙන් මේ වන තෙක්ම තොරතුරක් නැති බවත් ඔවුන් සොයා තවමත් පරීක්ෂණ සිදු වෙමින් පවතින බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

පලාගිය දැරියන් හයදෙනා කඩිනමින් පොලිස් භාරයට ගන්නා ලෙසත් රැඳවුම් නිවාසගත කර සිටින දැරියන් සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැඳවන ලෙසත් විනිසුරුවරයා පොලිසියට මෙන්ම පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට නියෝග කළා.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්. සංජීව මහනාම මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා පී. යමුනාකාන්ති මෙනෙවියගේ උපදෙස් මත අධිකරණ කටයුතු භාර පොලිස් සැරයන් ලලිත් නන්දසේන, සැකකරුවන් හා වින්දිත දැරියන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු පවසා ඇත.