"මට දැනගන්න උවමනා වුනේ එයා එතැනට ගියේ කොහොමද කියලා" මැතිවුස්ගේ සුපිරි ඉනිම පසුපස සංගාගේ උපදෙස්!

පසුගියදා නවසීලන්තය සමග පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ශතකයක් ලබා ගත් ඇන්ජලො මැතිවුස්, සිය ශතකයට ඉවහල් වූයේ හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාරගෙන් ලැබූ උපදෙස් බව පවසනවා.

මෙම පළමු ටෙස්ට් තරගයේදී ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 296 ක් ලබාගැනීමේ අභියෝගයට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3 ක් ලකුණු 13 ක් ඇතුළතදී බිඳ වැටිණ. එහෙත් කුසල් මෙන්ඩිස් සමග එක්වූ ආන්ජලො මැතිවුස් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 274 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට පසුබිම සැකසුවේය.
මෙම ශතක ඉනිම සඳහා පසුබිම සැකසූයේ කුමාර් සංගක්කාරගෙන් තමන්ට ලැබුණු අවවාද බව මැතිව්ස් කියයි. ‘ක්‍රික් ඉන්ෆෝ’ වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක්වෙමින් මැතිවුස් මේ බව පවසා තිබුනි.

“මම කුමාර් අයියාත් එක්ක පොඞ්ඩක් කතා කළා. අපි අවසන් වතාවට වෙලින්ටන්හි ගහපු ටෙස්ට් තරගයේදී ඔහු ද්විත්ව ශතකයක් ලබාගත්තා. මට දැනගන්න උවමනා කළේ එයා එතැනට ගියේ කොහොමද, එයා ඒ ගැන හිතුවේ කොහොමද කියන එකයි.
“අපි වැඩිපුරම කතා කළේ හිතන්න ඕන දේවල් සහ පහර තේරීම ගැනයි”

“එක එක පන්දු යවන්නන් වෙනුවෙන් එයා තෝරා ගත්ත පහර ගැන ඔහු මට කියා දුන්නා. පන්දු යවන්නන් දපනේ දමාගන්නා ආකාරයත් මට කියා දුන්නා. ඊට පස්සේ මේ ක්‍රීඩාංගණ වලදී මම ක්‍රීඩා කර ලබාගත් අත්දැකීම් සියල්ලත් ප්‍රයෝජනයට ගත්තා. ඔහුගේ අවවාදත් සිහියේ තියාගත්තා”

යනුවෙන් මැතිවුස් ක්‍රිකින්ෆො වෙබ් අඩවියට පවසා තිබුනි.