"කුඩු පැකට්‌ටුවක්‌ මගේ සාක්‌කුවට දාලා පයින් යටිබඩට ඇන්නා" පොලිසියට ගිය පුද්ගලයෙකුට පොලිස් නිලධාරියෙකු කළ කැත වැඩේ

තම සොහොයුරකු පොලිස්‌ සිරමැදිරියේ සිටින බවට තමාට පොලිසියෙන් ලද දුරකථන ඇමතුමක්‌ මත පසුගිය 04 වැනි දින වෙන්නප්පුව පොලිසියට ගිය තිදරු පියෙකුට සිවිල් ඇඳුමෙන් සැරසී බීමත්ව සිටි උප පොලිස්‌ පරීක්‌ෂකවරයෙක්‌ පොලිසිය තුළදීම අමානුෂික ලෙස පහරදී තිබෙනවා.

මේ සම්බන්ධව අදාළ පුද්ගලයා විසින් පොලිස්‌ කොමිෂන් සභාව වෙතත් වෙන්නප්පුව සහකාර පොලිස්‌ අධිකාරි වෙතත් පැමිණිලි කර තිබෙනවා.

මෙම අමානුෂික පහරදීමට ලක්‌ව ඇත්තේ
වෙන්නප්පුව පොලිස්‌ වසමට අයත් ලුණුවිල සමගි මාවත පිනි සෙවණ ලිපිනයේ පදිංචි වතු මුරකරුවකු හා තිදරු පියකු වන ලියනගේ අරුණ වසන්ත කුමාර (31) නමැත්තෙකි.

තම පියා හා මව බලා සිටියදී පොලිසිය තුළදීම මෙම පහරකෑමට ලක්‌ව ඇති ඔහු ප්‍රථමයෙන් වෙන්නප්පුව සහකාර පොලිස්‌ අධිකාරි වෙත ගොස්‌ තමන්ට මුහුණපෑමට සිදු වූ සිද්ධිය දන්වා ඒ මහතාගේ උපදෙස්‌ මත වෙන්නප්පුව පොලිසියට පැමිණිල්ලක්‌ කිරීමට ගියත් ඊට ද අවස්‌ථාවක්‌ නොලැබුණ බව යි පවසන්නේ.

පහර කෑමට ලක්වූ අරුණ වසන්ත කුමාර මහතා මාධ්‍යයට වෙත පැවසුවේ මෙවන් දෙයක්..

මල්ලී පොලිස්‌ සිරමැදිරියේ සිටින බවට ලැබුණු දුරකථන ඇමතුමකටයි මමත් අම්මාත් මගේ තාත්තාත් වෙන්නප්පුව පොලිසියට ආවෙ. මම පොලිසිය අසල සිටියදී ගේට්‌ටුව අසල සිවිල් ඇඳුමෙන් සැරසී සිටි නිලධාරියෙක්‌ මට කතා කළා. ඔහු තරමක්‌ බීමතින් සිටි බව පෙනුනා. එක්‌වරම ඔහු මගේ කොළරයෙන් අල්ලාගෙන පොලිසිය තුළින් පිටුපසට ඇදගෙන ගියා. සර් මට ගහන්න යන්නෙ ඇයි මම කළ වරද කුමක්‌ දැයි අසනවාත් සමඟම ඔහු මා බිත්තියට හේත්තුකරගෙන මිටමොලවා දෑතින්ම පහරවල් 15 ක්‌ පමණ මුහුණට ගැසුවා. පසුව මගේ සාක්‌කුවට කුඩු පැකට්‌ටුවක්‌ වගේ එකක්‌ දමා පයින් යටිබඩටත් ඇන්නා. මගේ දෙමාපියන් බලා සිටියදීයි පහරදුන්නේ. මගෙ අම්මා පොලිසිය තුළ හඬාවැටුණා. සහකාර පොලිස්‌ අධිකාරිතුමාට එදිනම පැමිණිල්ලක්‌ කළ විට වෙන්නප්පුව පොලිසියට ගොස්‌ පැමිණිල්ලක්‌ කරන්නැයි මට කීවත් ඊටවත් ඉඩක්‌ ලැබුණෙ නැහැ. මගේ දරු පවුලත් මාත් අද අසරණයි. මුත්‍රා බර ආවත් දැන් මුත්‍රා යන්නෙ නැහැ. දින 03 ක්‌ කෑමක්‌ කන්න බැරිව සිටියා. 05 වැනිදා රෝහල්ගතව සිට 07 වැනිදා ටිකට්‌ කපාගෙන ගෙදර ආවා. මාරවිල රෝහලේ වෛද්‍ය රොෂන් දසනායක මහතා රෝග නිශ්චය කාඩ්පතක්‌දී ඉදිරි ප්‍රතිකාර සඳහා රෝහලට එන්නයි කීවා.


gossip lanka