බන්ධනාගාර නිලධාරින් මෙන් වෙස් වලාගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හිරෙන් පැන්වීමට ඔහුගේ ගෝලයින් චිත්‍රපටියක් වගේ දියත් කළ ත්‍රාසජනක මෙහෙයුම

බන්ධනාගාර නිලධාරින් ලෙසින් වෙස් වලාගෙන ව්‍යාජ බන්ධනාගාර බස් රථයකින් කොළඹ රක්ෂිත බන්ධනාගාර තුළට ඇතුළු වූ පිරිසක් සැකකරුවෙකු මුදාගත් පුවතක් වාර්තා වනවා.

මෙලෙස මුදාගෙන ඇත්තේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ සැකකරුවෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඔහු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් දෙදෙනෙකු වන සුසෙව් හා සිද්දික් නැමැත්තන්ගේ
ප්‍රධාන ගෝලයෙකු බවටයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මීට මාස 6කට පමණ පෙර රුපයල් කෝටි දෙකකට අධික හෙරොයින් කිලෝ 2ක් සමඟ සැකකරු අතඅඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හොරණ ප්‍රදේශයේ සැඟව සිටියදී.

මෙම සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි වාර්තා වන්නේ.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර පරිශ්‍රයේ රෝහල ආසන්නයේදීයි ව්‍යාජ ලෙස පැමිණි පිරිස විසින් මෙම සැකකරු තම භාරයට ගෙන ඇත්තේ.

බන්ධනාගාර නිලධාරින්ගේ ඇස්වලට වැලි ගසා උපක්‍රමශීලිව පැන ගිය මේ සැකකරු කළුතර බන්ධනාගාරයේ සිටියදී කිහිප අවස්ථාවකම පැන යාමට උත්සහ ගෙන ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

සැකකරු විශේෂ ගනයේ සැකකරුවෙකු ලෙස රඳවා සිටි බවටද තොරතුරු වාර්තා වනවා.