පොලිස් නිළධාරින් දෙදෙනෙකුගේ හිසට වෙඩි තබා මරා දමයි! - උතුරේ නැවතත් සන්නද්ධ කල්ලිද ?

වසර තිහක ත්‍රස්තවාදය අවසන් කරමින් යුද ජයග්‍රහණය ලැබීමට මවුබිම සමත් විය. ඉන්පසුව උතුරු, නැගෙනහිර සාමය පවත්වා ගැනීමට ආරක්ෂක අංශයන්ට හැකි විය. කෙසේ වෙතත් වසර කිහිපයක සිටි උතුරේ නැවතත් සන්නද්ධ කල්ලියක් ලෙසට ආවා කල්ලිය නැගී සිටීමේ පුවත්ද වාර්තා විය. මේ අතර උතුරේ සන්නද්ධ කල්ලි නැවතත්

ක්‍රියාත්මකදැයි සැකය ඇති කරමින් ආරක්ෂක අංශ රණවිරුවන් දෙදෙනෙකුගේ ඝාතනයක් වාර්තා වෙනවා.

මඩකලපුව වව්නතිව් පොලිස් මුරපළේ රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මෙලෙසින් ඝාතනය වී තිබූ අතර ඔවුන්ගේ දෑත් බැඳ ටී 56 ගිනි අවිවලින් හිස්වලට වෙඩි තබා ඝාතනය කර තිබුනි. මෙම පොලිස්‌ කොස්‌තාපල්වරුන් දෙදෙනා සතුව තිබූ රාජකාරි පිස්‌තෝල දෙකද ඝාතකයන් විසින් රැගෙන ගොස්‌ තිබේ.

පොලිස්‌ නිලධාරීන් දෙදෙනා කවුරුන් විසින් ඝාතනය කළේද යන්න මෙතෙක්‌ අනාවරණය වී නැත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා පොලිස්‌පතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ. පොලිස්‌ අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්‌ඩායමක්‌ ඊයේ පෙරවරුවේ මඩකලපුව වව්නතිව් බලා පිටත්ව ගොස්‌ සිටියහ.

මෙහිදී ඝාතනයට ලක්‌වූ වල්පිට ගමගේ නිරෝෂන් ඉන්දික ප්‍රසන්න මහතා ගාල්ල උඩුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තිස්‌ පස්‌ හැවිරිදි වියේ පසුවන ඉන්දික ප්‍රසන්න මහතා එක්‌දරු පියෙකි. ඝාතනයට ලක්‌වූ අනෙක්‌ නිලධාරියා 29 හැවිරිදි වියේ පසුවන ගනේෂ්වරන් දිනේෂ් නමැති අවිවාහක අයෙකි. ගනේෂ්වරන් මහතා කල්මුණේ පෙරියනිලාවනේ පදිංචිකරුවෙකි. මෙම නිලධාරීන් දෙදෙනාම වව්නතිව් පොලිසියට අනුයුක්‌තව රාජකාරි කළ නිලධාරීන්ය.

වව්නතිව් පොලිසියට කිලෝ මීටර් එකහමාරක්‌ පමණ දුරින් පිහිටි මෙම පොලිස්‌ මුරපළට දෛනිකව පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු රාජකාරී සඳහා යොදවා තිබේ. මෙම මුරපළේ නිලධාරීහු වාහන පරීක්‍ෂාව සහ වව්නතිව් ප්‍රදේශයට ඇතුළු වන සැකකටයුතු පුද්ගලයන් පරීක්‍ෂා කිරීම කරති.

පෙරේදා (29 දා) රාත්‍රි මෙම නිලධාරීන් දෙදෙනා වව්නතිව් පොලිස්‌ මුරපළ වෙත රාත්‍රි රාජකාරි සඳහා ගොස්‌ ඇත. ඊයේ (30 දා) අලුයම 1.00 ත් 05.00 ත් අතර කාලසීමාවේදී මෙම ඝාතන සිදුවන්නට ඇති බවට පොලිසිය සැකකරයි. මෙම පොලිස්‌ මුරපළේ සිට කිලෝ මීටරයක්‌ පමණ දුරින් දෙමළ ජනතාව පදිංචි ගම්මානයක්‌ පිහිටා ඇති අතර ඊයේ (30 දා) අලුයම සිදුවූ කිසිවක්‌ පිළිබඳව එම ගම්මානයේ ජනතාව දැක නොමැති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

මුරපළේ රාජකාරි කරමින් සිටි ගනේෂ්වරන් දිනේෂ් මහතාගේ දැත් පිටුපසට කර බැඳ දමා හිසට වෙඩි තබා ඝාතනය කර තිබූ අතර ඔහුගේ සිරුර මුරපළ ඉදිරිපිට වැටී තිබී ඇත. කොස්‌තාපල් ඉන්දික ප්‍රසන්න මහතාගේ සිරුරද මුරපළ අසල වැටී තිබූ අතර ඔහුගේ හිස ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල වී තිබූ බව පොලිසිය පවසයි. ප්‍රසන්න මහතාගේ එක්‌ අතක්‌ තියුණු ආයුධයකින් කපා දමා තිබූ බවද පොලිසිය පවසයි.

පොලිස්‌ නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීම සඳහා ටී 56 ගිනි අවි යොදාගෙන ඇති අතර පොලිස්‌ නිලධාරීන් දෙදෙනාගේ සිරුරු තිබූ ස්‌ථානයේ තිබී ටී 56 හිස්‌ පතරොම් කොපු සොයාගෙන ඇත. මෙම ද්විත්ව ඝාතනය සඳහා සන්නද්ධ පුද්ගලයන් අඩුම වශයෙන් හතර දෙනකුවත් පැමිණෙන්නට ඇති බවට පොලිසිය සැක පහල කරයි.