"මුලින්ම බස්වලට නැගලා සිංදු කිව්ව දවසේ රුපියල් 6200ක් ලැබුණා .." - බස්වල සින්දු කියා ජීවිතය දිනු වසන්තගේ කතාව

මිනිසුන් සොයා යන චාරිකාවේ දුම්රියට නැගි එක් අවස්ථාවකි මේ. පාපූරුවේ යෑම අන්තරාදායක වැඩක් වුවද ඒ අත්දැකීම වෙන කිසිදු වාහනයක ගමන් කිරීමෙන් ලැබෙන්නේ නැත. මුහුදු සුළං විඳිමින් සැඳෑ අහසේ වර්ණ බලමින් සිටි මගේ දැහැන්ගත සිත බිඳුණේ ඇන්ටන් ජෝන්ස්ගේ ගීතයක් ඇසීමෙනි. නමුත් ගීය ගැයුවේ ඇන්ටන් ජෝන්ස් නොවේ.

‘සසල හදක් නිසල කෙරුව ළඳුන් සීගිරි

පෙම්වතුන්ගෙ තෙලිතුඩගින් මැවුවෙ රූ සිරි
කලාකාමි හැම සිතටම ලැබදෙන මිහිරි
සොඳුරු බැල්ම අඳුර නසයි කැලුම් පෙරි පෙරි’

ඔහු ගායනය ආරම්භ කරන්නේ ගීතයේ මැද කොටසිනි. එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, එම්.එස්. ප්‍රනාන්දු යන ගායකයන්ගේ ගීත ව්ධදඵබධන ගයයි. මවුත්ඕගනය සහ බොංගෝව එකට වාදනය කරමින් ගී ගයන මොහුගේ සිරුර කායවර්ධන ශිල්පියකුගේ සිරුරක් බඳුය. මවුත් ඕගනය වාදනය කරන්නේ ඔහුම සකසාගත් රැඳවුමක් ගෙ‍ලේ පැළඳගෙනය. මවුත්ඕගනය වාදනය කිරීමට පහසු වන අයුරින් එය රඳවනයේ සවිකර තිබේ. දෙහිවල සිට කොටුව දුම්රිය නැවතුම වෙතටම ගොස් මම ඔහු සමග කතාබහ කෙරුවෙමි.

“මගේ නම වසන්ත පුෂ්පකුමාර පෙරේරා. වයස 41යි. මං සින්දු කියන්න පටන්ගෙන අවුරුදු 14ක් වෙනවා. මං 1996 ඒලෙවල් කළේ කොමර්ස්වලින්. මට විභාගෙන් ‘බි’ 2යි, ‘සී’ 2යි  ඒ කා‍ලේ යුද්ධෙ නිසා ආමි එකට යන්න ආසාවක් හිතුණා. කැඩෙට් ඔෆිසර් කෙනෙක් වෙන්න සියලු සුදුසුකම් තිබ්බා. ඉන්ටර්විව් එකත් පාස් වුණා. නමුත් අම්මයි, තාත්තයි අන්තිම මොහොතේ යන්න දුන්නේ නෑ බයට. පස්සේ මරදානේ කම්පැනියක රස්සාවකට ගියා. එතැන අවුරුදු හත අටක් විතර වැඩ කළා. ජීවිතයේ හොඳ වගේම නරක යාළුවොත් අපට හම්බ වෙනවා. මගේ තිබ්බ දුර්වලතාවක් නිසා මගේ ජීවිතේ හිතුවේ නැති විදිහට කඩා වැටෙනවා.

ඒකට කාටවත් ඇඟිලි දික් කරන්න බෑ. මියුසික් කියන එක ‍පොඩි කා‍ලේ ඉඳලා ඇඟේ තිබුණා. කොණ්ඩේ වවලා, කරාබු දාලා, ඒ කා‍ලේ තරුණ කාලෙනේ. ඒ කා‍ලේ බෑන්ඩ් එකකටත් සෙල්ලම් කළා. මට කලින් කරපු රස්සාව මගේ අර වැරැද්ද නිසා නැතිවෙලා යනවා. මාස හයක් විතර මට රස්සාවට යන්න බැරි වෙනවා. ආපහු එතැනට ගියාම මට රස්සාව දෙන්නේ නෑ. 2004.12.22 වැනිදා මම නුගේගොඩට එනවා. අතේ සත පහක් නෑ. මවුත්ඕගන් එකයි, බොංගෝ එකයි විතරයි අතේ තිබුණේ. මට කිසි සැලසුමක් තිබුණේ නෑ. මට එකපාර හිතුණා බස් එකේ සින්දු කියන්න. මං 6.45 ඉඳන් 7.15 වෙනකම් එදා බස්වල නැග නැග සින්දු කිව්වා. හම්බවෙන සල්ලි ගනින්නේ නැතුව බෑග් එකේ ‍පොකට් එකට දාගත්තා. පිටකොටුවට ඇවිල්ලා සල්ලි ගනිනවා. රුපියල් 6200/-ක් තිබුණා. මට හිතාගන්නවත් බැරි වුණා. 2004 නම් ඒ කා‍ලේ විදිහට 6200ක් කියන්නේ ලොකු ගාණක්. මං ඉරිදාත් එනවා සින්දු කියන්න. මට රස්සාවක් ලැබෙනකන් මාස 6ක් මං බස්වල සින්දු කිව්වා. එතකොට මං අරක්කු, සිගරට් කියන දේවල් පාවිච්චි කරනවා. දැන් අවුරුදු 12ක ඉඳන් මං කිසි මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන්නේ නෑ. හයිලෙවල් පාරේ දුවන බස්වල තමා මං වැඩිපුරම සින්දු කිව්වේ. ඒ බස්වල කොන්දොස්තර මහත්තුරු, ඩ්‍රයිවර්ලා ටිකෙන් ටික හිතවත් වෙනවා. අවුරුදු 26දී මම කසාද බැන්දා. ලොකු පුතාව හම්බ වුණාම අරක්කු, සිගරට් බිම නැවැත්තුවා. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා ලකුණු 177ක් අරගෙන එයාගේ ඉස්කොලෙන් ශිෂ්‍යත්වෙන් පළවැනියා වුණා. ගෙදර දැන් කඩයක් තියෙනවා. ඒක නෝනා කරන්නේ. ත්‍රීවීල් එකකුත් ගත්තා අපි.”

දුම්රිය වේදිකාවේ තිබෙන අසුන් දෙකක වාඩි වී අපි කතාබහ කරමු. වරින් වර හඬවන දුම්රිය නළාව අපේ කතාබහට බාධාවකි. වෙලාව සවස 6.15ට පමණ ඇත.

“මට ඉංග්‍රීසි කතා කරන්න, ලියන්න පුළුවන්. ඒක තමා මං ලබපු අධ්‍යාපනය. ඒකයි ඇත්ත කතාව. ඇයි මං මේ වගේ රස්සාවක් කරන්නේ. මට වෙන රස්සාවකින් මේක හොයන්න බෑ. දැනට මං රුපියල් 5000ක් හොයලා ඉවරයි.”

දුම්රියේදී රුපියල් සීයේ නෝට්ටුවක් දුන් චීන ජාතිකයෙක්ට ඉංග්‍රීසි භාෂාවෙන් ඔහු ස්තුතිය පළ කරන ආකාරය මම දිටිමි.

“මට දැනුණ දෙයක් තමයි මිනිස්සු අපිට දෙන්නේ එයාලගේ හදවතට දෙයක් දුන්නොත් විතරයි. අපිට බලෙන් මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලන්න බෑ. හදවතට දනවන්න පුළුවන් බයිලා, 6 සින්දුවලින්. ඒකත් එක්ක මං නෝමල් සින්දු කිහිපයක් කියනවා. මිනිස්සුන්ව තෘප්තිමත් කරන්න පුළුවන්  සින්දුවලින් කියලා විතරයි. ඒක මං රස්සාවෙන් ලබපු අත්දැකීමක්.”

“බස් එකට නැග්ගායින් පස්සේ කුඩ්ඩෙක් කියලා සමහරු හිතන්නේ. නමුත් දැන් මිනිස්සු මට එහෙම කියන්නේ නෑ. ඒ ප්‍රතිරූපය මං හදාගත්තා. අතේ සල්ලි තියෙන නිසා සමහරු ‘මචං කෑල්ලක් ගහමුද’ කියලා කතා කරනවා. නමුත් සමාජයෙන් ලබපු දැනුමෙන්, ඒකට ඇබ්බැහි වෙන්නැතුව හරි ට්‍රැක් එකේ ගියේ මං අදහපු ආගමේ දහමේ හා ලබාගත් සමාජ දැනුමෙන්. ඒ වගේම මෙතැන ඉන්න එකට මං ලබපු අධ්‍යාපනය ගොඩක් උදව් වුණා. නමුත් මං ඉගෙනගත්තා කියන බයි‍ලේ හැමෝටම කියන්නේ නෑ. මං කියන සින්දුව හොඳයි නම් ඒකට හරියන වටිනාකමක් දෙන්න. මං එච්චරයි මිනිස්සුන්ට කියන්නේ.”

උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ මේ අප්‍රකට ගායකයාට දේශපාලනය ගැන යම්කිසි සවිඥාණික දැනුමක් තිබිය යුතු බව මම විශ්වාස කෙරුවෙමි.

“මේ තියෙන දේශපාලන පක්ෂ දෙක ගැනම මට විශ්වාසයක් නැහැ. මං කැමති පක්ෂයක් තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ. ප්‍රධාන දේ තමයි ගොඩක් මැද්දට හොඳ මිනිහෙක් ගියොත් ඒ  පිස්සෝ ඒ හොඳ මිනිහාව පඥණඥජබ කරනවා. මං කියන්නේ ජවිපෙ නරකයි කියලා ‍නෙවෙයි. ජරාව  කන 100ක් ඉද්දි ඒ මැද්දට එක හොඳ මිනිහෙක් ගියාම අර මනුස්සයාට බෑ මේ ජරා බලවේගේ එක්ක හැප්පෙන්න.”

සතියට දවස් පහක් මං සින්දු කියනවා. කටහඬයි, බොංගෝ එකයි තියෙනකන් ඉතාලි ගියා වගේ තමයි. නමුත් පුතා ලොකු වෙද්දි දුම්රියෙන් අයින් වෙන්න හිතන් ඉන්නවා. වෙන රස්සාවක් කරලා මං සින්දු කියලා හොයාගන්න ගාණ ගන්න බෑ. එතකොට අවුරුදු 14ක් මේකට පුරුදුවෙලා තියෙන හන්දා වෙන හොඳ රස්සාවක් දෙනවා කිව්වත් මට යන්න බෑ. අර 6.30ට යන කෝච්චියේ නැග්ගොත් මට 1500ක් හම්බ වෙනවා. හැබැයි මං හදවතින් ආසයි සින්දු කියන්න.”

“ග්‍රේෂන් ආනන්ද මහත්තයාට මං ගොඩක් ආදරෙයි. එක දවසක් එයාව හම්බ වුණා. එයාට එදා ටිකක්  වැඩිවෙලා. අපි හතර දෙනෙක් වත්තන් කරගෙන තමා ස්ටේජ් එකට නැග්ගුවේ. මිනිස්සු කියලා එයාට සින්දු කියන්න බෑ බස්සන්න කිව්වා. එයා මියුසික් එක පටන් ගන්න කිව්වා. ස්ටේජ් එකට නැග්ග වෙ‍ලේ ඉඳලා හෙළවෙන්නේ නැතිව එකම ඉරියව්වක හිටියේ. නමුත් මියුසික් එක පටන් ගන්නවාත් එක්කම ‘අම්මා’ කියලා සින්දුව ගාණට කියන්න පටන් ගත්තා. නමුත් නිරපරාදේ නැති වුණා.”

දුම්රියේ, බස්රථවල වෙළෙඳාම් කරන, ගී ගයන පුද්ගලයන් සීත කුටිවල විදුලිපංකා යට රැකියා කරන පුද්ගලයන්ට වඩා විශාල සමාජ දැනුමක් ආයෝජනය කරයි. වසන්තද එවැනි ප්‍රමාණික දැනුමක් අත්පත් කරගත් අයෙකි.

“මේ රස්සාවෙන් ගත්ත ලොකුම අත්දැකීම මිනිස්සුන්ව රවට්ටන්න බෑ කියන එක. මට ඔයාව රවට්ටන්න බෑ. ඔයාට මාව රවට්ටන්න බෑ. මට තේරෙනවා ඔයා එහෙම කරනවා නම්. ඒකට අපි සමාජයේ යම්කිසි තලයකට එන්න ඕනේ. සින්දු කියලා රවට්ටලා සල්ලි ගන්න බෑ. පිළිකාවක් තියෙනවා කියලා මිනිස්සුන්ට බොරු කරන්න බෑ. නමුත් හදවතට එකඟව අපි වැඩේ කළොත් ඉදිරියට යන එක බාධාවක් නෑ කියලා ඉගෙනගත්තා මේකෙන්.”

“මගේ ගම කිඹුලාපිටියේ. චන්ද්‍රිකාගේ කා‍ලේ කටුනායකට කොටි ගහනවා මම දැක්කා. රණවිරුවන්ට මම ගරු කරනවා. පණ හරි දෙනවා. බස් එකේ, කෝච්චි පෙට්ටියේ පාර්සලයක් දැක්කාම නගින්න ‍පොඩි බයක් දැනුණා. පුපුරයිද කියලා හිතුණා. සමහර වෙලාවට සෙනග වැඩි ට්‍රේන්වල නගින්නේ නෑ. වාර කිහිපයකදී මගේ බොංගෝ සෙට් එක එහෙම නැතිවෙලා තිබෙනවා. සමහර මිනිස්සු සින්දු අහන්න ඉන්නවා මග බලාගෙන. අද ආවේ නැත්නම් හෙට අහනවා ඇයි ආවේ නැත්තෙ කියලා. සමහර අය මගේ සින්දුවලට කැමති නෑ. ඒක එයාලගේ රසිකත්වය. මං මේ හම්බ කරන සල්ලිවලින් රෑට කුඩු, ගංජා ගහනවා නම් උදේට මට සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. එතකොට මට ඔයාව රවට්ටන්න වෙනවා. එතකොට රැවටීම වැඩිවුණාම හැකියාව ඉස්මතු වෙන්නේ නැහැ. ටික කාලයක් යද්දි ඒ මනුස්සයා ඉවරයි. හරියට වැඩේ කරනවා නම් පාරේ වුණත් සල්ලි තියෙනවා.”

“දවසට පැය අටක් දහයක් වගේ මං සින්දු කියනවා. උගුරේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් සින්දු කියන එක නවත්තනවා. ගේ‍රගරි වැව ගාව, හග්ගල පාක් එක, රඹුක්කන අනාථාගාරය, ලෙෂර් වර්ල්ඩ් එක, ගල්කිස්ස-වැල්ලවත්ත බිච් එක කියන තැන් කිහිපයකත් මං සින්දු කියනවා. හෝටල්වල සින්දු කිව්වොත් කන්න ටිකත් ලැබිලා රුපියල් 500ක්, 1000ක් ලැබෙනවා. ඒත් බිච් එකේ සින්දු කියලා මට ඊට වඩා ලැබෙනවා. ඒ නිසා මං ආයෙම එතැනට යනවා.”

“මේ සමාජය හොඳයි. වෙනත් රටවල් එක්ක ගත්තාම මේ සමාජය හොඳයි. ඒ අතර එක නරක මනුස්සයෙක් දෙන්නෙක් ඉන්නවා. මාධ්‍ය මගින් ලොකු කරලා පෙන්වන්නේ අර දෙන්නව. ඒකයි අපිට සමාජය නරකයි කියලා පේන්නේ. ඒකත් එක්තරා විදිහට හොඳයි. එතකොටනේ ඒ දේවල් බලලා සමාජය හැදෙන්නේ.”

“මට හොඳ දරුවෝ දෙන්නෙකුයි, නෝන කෙනකුයි ලැබුණා. නෝනා මාව ප්‍රතික්ෂේප කළේ නෑ මේ රැකියාව නිසා. අපි ගෙවල් දොරවල් හදාගත්තා. ප්‍රශ්න තිබුණට ජීවිතේ ගැන මං තෘප්තිමත්.”

මිනිස්සුන්ට මුදල් තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. අතේ තිබුණොත් දෙන්න සුදුසුයි කියලා තීරණය කරන්නේ එයාගේ හදවත. මිනිස්සු නොදුන්නා කියලා මං එයා එක්ක වෛර බැඳගන්නේ නෑ. එයා ඊළඟ දවසේ මාව දකිනවා. කවදා හරි එයාට හිතුණ දාක මට දෙයි.”

අයන්ත යුනේෂ් ප්‍රනාන්දු

gossip lanka