යුක්රේනය-රුසියාව සමග ගැටෙයි

රුසියාව විසින් අද (26) අළුයම යුක්රේනයට අයත් නෞකා 03 ක් අත්අඩංගුවට ගැනීමත් සමග දෙරට අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

තම දේශසීමාවට අයත් මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වූ බව පවසමින් රුසියාව මෙලෙස යුක්රේන නෞකා සිය ග්‍රගහනයට නතුකරගෙන ඇතැයි වාර්තා වේ. එම අවස්ථාවේ එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් යුක්රේන සෙබළුන්
තිදෙනෙකු තුවාල ලබා ඇත.

මෙම සිදුවීමත් සමග යුක්රේනයේ කිව් අගනුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලයට යුක්රේන උද්ඝෝෂකයින් විසින් ප්‍රහාර එල්ලකර ඇති අතර එමගින් වාහන වලට හා ගොඩනැගිල්ලට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්ත්වය පාලනය කර ගැනීම සදහා යුක්රේනය පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමේ අවසන් තීරණයට එළැඹීම සඳහා එරට පාර්ලිමේන්තුව අද රැස්වීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී අද සාකච්ඡා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර සිටියි.

එසේම රුසියාවේ දේශසීමා උල්ලංඝණය කිරීමේ මෙම සිද්ධිය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් දියත් කළ බව, රුසියානු රජය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයට එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටියි.