රිය අනතුරක් නොවේ,මිනීමැරුමක්... අධිකරණ හෙළිදරව්වෙන් පසු තාජුඩීන්ගේ ඝාතනය ගැන හොයන්න නාසා ආයතනයත් සම්බන්ධ වෙයි!

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය මාරක රිය අනතුරක් නොව මිනීමැරුමක් බවට මේ වන විටත් නිගමනයටකට එළඹ ඇති බව  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා ඊයේ (29) පෙන්වා දුන්නේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ සැබෑ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරීමෙන් අනතුරුවය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි සහකාර පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටිගේ මහතා කරුණු දක්වමින් කියා සිටියේ, 2012 වසරේදී සිදු වූ එම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට 1200 කට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව ය.

දුරකතන ඇමතුම් ලක්ෂ 22 කට ආසන්න ප්‍රමාණයක් විශ්ලේෂණය කර ඇති බව ද ඔහු අධිකරණය හමුවේ කියා සිටියේ ය.

මෙම ඝාතනය සිදු වන අවස්ථාවේදී මරණයට ලක් වූ තැනැත්තා භාවිත කළ ජංගම දුරකතනය සම්බන්ධයෙන් වෝහාරික විද්‍යා වාර්තාව පිටු 172 ක් වන බව ද පෙන්වා දුන් සහකාර පොලිස් අධිකාරීවරයා එම ඝාතනය සිදු වූ දින වසීම් තජුඩීන් මහතා පසුපසින් හැව්ලොක් පාරේ සිට හඹා ගිය බවට සැලකෙන වාහනයේ ගමන් කළ පුද්ගලයෙකු ඇඳ සිටි ටීෂර්ට් එකේ අංකයක් සහ නමක් සටහන් වී ඇති බැවින් සී.සී.ටී.වී. වාර්තා අනුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන බව පෙන්වා දුන්නේ ය.

සහකාර පොලිස් අධිකාරීවරයා කියා සිටියේ, නාසා ආයතනය මගින් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබා ගෙන එම ඝාතනය සිදු වූ දින අදාළ වේලාව තුළ ඝාතනය සිදු වු ප්‍රදේශයෙන් ගමන් කළ වාහන හා පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගෙන විමර්ශන කෙරෙන බව ය.


gossip lanka