පිරිත් කියමින් තවමත් රකින අරලියගහ මැඳුරේ ඇතුළත පිටත කතා

පසුගිය 26දා රාත්‍රි 7.30ට පමණ වන විට මෙරට දේශපාලනය උඩු යටිකරු විය. පාලනයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කොට හිටපු ජනාධිපති මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස නම් කොට දිවුරුම් දීම 26දා රාත්‍රියේ සිදුවිය.

මෙම සිදුවීමට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ ගාල්ලේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි. එම උත්සවයේ වැඩ කටයුතු හමාර කොට
රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොතේ පැවැති උත්සවයකට සහභාගිවීමට නියමිතව තිබිණි.

සිරිකොත තුළද ලහි ලහියේ මෙම උත්සව කටයුතු සිදුවෙමින් පැවතිණි. රවි කරුණානායක මන්ත්‍රිවරයා විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණු අතර පක්ෂයේ බොහෝ දෙනෙක් ඊට එක් වීමට නියමිතව සිටියහ.


එහෙත් එදින සවස දේශපාලනික වශයෙන් අර්බුදකාරී වාතාවරණයක් උදාවන බව කිසිවකු දැන සිටියේ නැත. එහෙත් සවස හය වන විට ජනාධිපති ලේකම් කාර්යාලය සහ මලලසේකර මාවත මෙන්ම තවත් මාර්ග කිහිපයකට හමුදා ආරක්ෂාව යොදා එම මාර්ග වසා තිබිණි.

මේ අතර පොලිසිය ස්ථානාධිපතිවරයකුගෙන් අරලියගහ මන්දිරය වෙත දුරකථන ඇමතුමක් ලැබිණි.
"ජනාධිපති ලේකම් කාර්යාලය ගාවයි මලලසේකර පාරයි වහලා ආමි එක දාලා"

දුරකථන ඇමතුමෙන් කියැවිණි. අරලියගහ මැඳුරේ සිටි නිලධාරීන් මේ ගැන අදාළ නිලධාරීන්ව දැනුවත් කර තිබිණි.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඒ මොහොතේ හිටියේ ප්‍රතිකාර ගැනීම පිණිස පෞද්ගලික රෝහලට ගොසිනි. ඇමැතිවරයාද හමුදාව යොදා ඇත්තේ ඇයිද යන්න සොයා බැලුවත් හරි පිළිතුරක් සොයාගත නොහැකි විය.

සවස 7.30 පමණ වන විට රාජිත ඇමැතිවරයාගේ ආරක්ෂක නිලධාරීන්ට වාර්තා වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී ඇති බවය. ඇමැතිවරයා ඒ මොහොතේ සිටියේ වෛද්‍ය ප්‍රතිකාර ගනිමිනි. මේ පුවත ඒ වන විට අගමැතිවරයාටද දැනගන්නට ලැබී තිබිණි.

අගමැතිවරයා වහාම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අරලියගහ මන්දිරයට කැඳවන ලෙස පක්ෂ මහ ලේකම්වරයාට දන්වා තිබිණි. ඒ වන විටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ බලා පිටත්වීමට සූදානමින් සිටියේය. ඒ තමා අගමැති ධුරයෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කළ බව දැන ගැනීමත් සමඟය. පුවත සැලවීමත් සමඟ කොළඹ සිටි එජාප මන්ත්‍රිවරු, පළාත් සභා මන්ත්‍රිවරු අරලියගහ මැඳුරට පැමිණියෝය.

සිකුරාදා දිනයක් හෙයින් සමහර මැති ඇමැතිවරු සිය ගම් රටවල ගොසිනි. මේ සියලු දෙනාම ලහි ලහියේ කොළඹට කැඳවනු ලැබිණි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ සිදුවූ සිදුවීම ඇතැම් මාධ්‍යද දැන සිටියේ නැත. කුමක් හෝ දෙයක් සිදුවන බව දැන සිටියේ එක් රූපවාහිනි නාළිකාවක් පමණි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත නියෝජනය කරන තරුණ මන්ත්‍රිවරයකු අදාළ රූපවාහිනි නාළිකාවේ සිය මිතුරකුට කෙටි පණිවුඩයක් එවා තිබිණි.

එමගින් කියවුණේ ජනාධිපතිතුමා අපේ මන්ත්‍රි කණ්ඩායම කැඳෙව්වා ජනාධිපති ලේකම් කාර්යාලයට. මොකක් හරි වෙනසක් තියෙනවා අවධානයෙන් ඉන්න කියාය.
සිරිකොත තුළටද මේ සිදුවීම් වාර්තා වූ අතර එහි සිටි මැති ඇමැතිවරුද අරලියගහ මැඳුරට ආහ. එහෙත් එම සිරිකොතේ උත්සවයේ සංගීත සාදය රාත්‍රි 10 පමණ වන තෙක් පැවැත්විණි.
"රනිල් එළවලා රවි සිරිකොතේ පාටි දානවා"හැමතැනටම ආරංචිය ගියේය.

එහෙත් එය ඇත්තක් නොවිණි. රාත්‍රියේ සිරිකොතට ගල් ප්‍රහාර කිහිපයක්ද එල්ල වූ බව එහි සිටි අය කීවෝය. එය ආණ්ඩුව වෙනස් වීමත් සමඟ සිදුවූ දෙයකි. ඉන් කිසිවකුටත් හානියක් සිදු නොවීය.
අරලියගහ මැඳුරට රනිල් වික්‍රමසිංහ මහතා පැමිණෙන විට රාත්‍රි 9.00 පසුවී තිබිණි. රනිල් වික්‍රමසිංහ මහතා පැමිණි විගස පාර්ලිමේන්තු කණ්ඩායම කැඳවා සාකච්ඡා පැවැත්වූයේ සිදුවී තිබෙන අගමැති පත්කිරීම ව්‍යවස්ථා විරෝධීව බව කියමිනි.

සවස 7.00 පමණ වන විට පාළු ස්වභාවයක් ඉසිලු අරලියගහ මන්දිරයට රාත්‍රි 10-11 වන විට මැති ඇමැතිවරු සහ වෙනත් කණ්ඩායම් පැමිණෙමින් තිබිණි. මේ පත්කිරීමට විරෝධය පා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විය යුතු බවට එජාපයට හිතවත් මාධ්‍යවේදීන්ගේ අදහස විය. ඒ අනුව පෞද්ගලික නාළිකාවක මාධ්‍යවේදියකු මැදිහත් වී හිතවත් මාධ්‍ය සගයන් ගෙන්වා ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීට කටයුතු සූදානම් කළේය.

යහපාලන ආණ්ඩුව බලයට විත් රාජකාරි කටයුතු සඳහා අරලියගහ මැඳුර භාවිත කළත් රනිල් වික්‍රමසිංහ මහතා කිසි දිනක එහි නතර වූයේ නැත. නමුත් 26දා සිට මේ දක්වාම රනිල් වික්‍රමසිංහ මහතා එහි නතර වී සිටියේ පාර්ලිමේන්තුව වහාම කැඳවා සිය බහුතරය පෙන්වනවා යැයි කියමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා තනි නොකර සහාය දෙන බව පක්ෂයේ මන්ත්‍රිවරු සහ අනෙකුත් පක්ෂ දේශපාලකයෝද පැවැසූහ.

මේ කර්තව්‍ය නිසා එළිවෙනතුරු අරලියගහ මැඳුරේ පහන් කිරීමට එජාප මැති ඇමැතිවරුන්ට සිදුවිය.

සෙනසුරාදා උදේ වරුවේ කොළඹ අවට ජනයා අරලියගහ මැඳුරට එමින් සිටියේ පක්ෂය හා පක්ෂ නායකයාට සහයෝගය දැක්වීමටය. මේ අතර අජිත් පී. පෙරේරා මහතා ප්‍රදේශයේ ජනතාවද රැගෙන අරලියගහ මැඳුරට විත් ඒ අසල උද්ඝෝෂණයක්ද කළේය.

සවස් වන විට අරලියගහ මැඳුරට එන පිරිස බොහෝ වැඩි විය. එන පිරිස වෙනුවෙන් කෑම බීම අනෙකුත් අවශ්‍යතා සැපයීම එක් එක් මන්ත්‍රිවරු භාර ගෙන තිබිනි.
මේ වන විට අරලියගහ මැඳුර තුළ පන්දහසකට අධික පිරිසක් රැස්ව සිටියහ.

මේ අය තැන තැන කතා කරමින් ඇවිදිමින් කාලය ගත කළේය. අවට පිහිටි කඩවලටද හොඳ ඉල්ලුමකි. ටොෆියක්, බුලත් විටක්, අයිස්ක්‍රීම් එකක්, කෑලි කැපූ අන්නාසි උරයක් විකිණීමට තබා තිබුණේ පැමිණ සිටි ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙනි.

මේ අතර මහා සංඝරත්නයද වැඩම කොට අරලියගහ මැඳුරේ නැවැතී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වී තිබිණි. එහෙත් සංඝයා වහන්සේලා වැඩම කොට නිකම් ඉන්නවාට වඩා පිරිත් දේශනා කිරීම සුදුසු යැයි සේදවත්ත පන්සලේ අඹන්වල ඥානාලෝක හාමුදුරුවෝ කියා සිටියහ. රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මැති ඇමැතිවරුද එය අනුමත කරමින් ඊට අවශ්‍ය පහසුකම් සැලසීය.

කෙසේ වෙතත් බහුතරය හදා ගැනීම පිණිස මන්ත්‍රිවරු තම පාර්ශ්වයට ගැනීමට එජාපය හා ශ්‍රී ලනිපය මේ වන විට තරගයක නිරත වෙති. තම පක්ෂයේ මන්ත්‍රිවරු ආරක්ෂා කිරීමට එජාපය බොහෝ දේ දැන් කරයි.
වසන්ත සේනානායක, වඩිවේල් සුරේෂ් මන්ත්‍රිවරු මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයාට සහාය දක්වන බවට ආරංචිය අරලියගහ මැඳුරට ලැබී තිබිණි. එහෙත් සජිත් ප්‍රේමදාස මහතා මැදිහත්ව එම අදහස වෙනස් කොට ඔවුන්ව අරලියගහ මන්දිරයට ගෙන්වා රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැස්සුවේය. එනමුදු නැවත ඔවුන් මහින්ද රාජපක්ෂ මහතා ළඟට ගොස් තිබිණි.

මේ අතර පසුගිය අඟහරුවාදා කොළඹට එජාප පාක්ෂිකයන් පැමිණ අරලියගහ මන්දිරය අසල ජන රැලියක් හා විරෝධතාවක්ද පැවැත්විය.

සමහර එජාප පාක්ෂිකයන්ගේ මතය වූයේ "රනිල් වික්‍රමසිංහ මහත්තයට අපි අකැමැති වුණත් ජනාධිපතිතුමා කරපු වැඩේ නිසා නායකතුමා බේරාගන්න පක්ෂය බේරාගන්න" පෙළ ගැසෙන බවකි.
එම රැස්වීම පවත්වන අතරතුරද එජාප මන්ත්‍රිවරුන්ට මහින්ද රාජපක්ෂ මහතා හා එක්වී වැඩ කිරීමට එන ලෙස ආරාධනා තිබිණි.

කෙසේ හෝ පසුගිය 31දා වන විට එජාපයේ තවත් මන්ත්‍රිවරු හතරක් මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට එක් වන බවට තොරතුරු තිබිණි. වයඹ පළාත නියෝජනය කරන හිටපු කැබිනට් ඇමැතිවරයකු, හිටපු රාජ්‍ය ඇමැතිවරයකු සහ මන්ත්‍රිවරයකු මෙන්ම බදුල්ල දිස්තික්කයේ හිටපු ඇමැතිවරු එම පිරිසට අයත් වූහ.

මේ අය අතරින් තිදෙනකු රඳවා ගැනීමට එජාපය සමත් වී තිබිණි. එහෙත් වයඹ පළාත නියෝජනය කළ හිටපු කැබිනට් ඇමැතිවරයාගේ පක්ෂය අතහැරයෑම ස්ථීර වී තිබිණි.
ඔහුගේ ගමන නවතාලීමට අජිත් පී. පෙරේරා හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා පිඹුරු පත් සැකසුවේය. ඔහුගේ හිතවතකු අදාළ හිටපු ඇමැතිවරයාගේ නිවෙසට යවා තොරතුරු සොයා ගැනීමට අජිත් පී. පෙරේරා හිටපු නියෝජ්‍ය ඇමැතිවරයාට හැකිවිය.

ඒ අනුව අජිත් පී. පෙරේරා මන්ත්‍රිවරයා පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට ඒ පිළිබඳව දන්වා තිබිණි.

ඒ අනුව එම ඇමැතිවරයාව රඳවා ගැනීමේ කාර්යය පැවැරුණේ අශෝක් අබේසිංහ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයාටය.

"අශෝක් ගිහින් නාවින්නට කතා කරන්න" කණ්ඩායම් රැස්වීම වෙලාවේදී රනිල් වික්‍රමසිංහ මහතා අශෝක් අබේසිංහ මන්ත්‍රිවරයාට කියා තිබිණි. එසේම අදාළ හිටපු කැබිනට් ඇමැතිවරයාට කතා කොට තත්ත්වය සමනය කිරීමට රංජිත් අළුවිහාරේ හිටපු රාජ්‍ය ඇමැතිවරයාට පැවරිණි. 31දා රත්‍රියේ හිටපු ඇමැතිවරු දෙදෙනා අදාළ හිටපු ඇමැතිවරයාගේ නිවෙසට ගොස් තිබිණි.
නොවැම්බර් 01 වැනිදාට දිනය උදාවෙද්දි උදෑසන හයටත් පෙරම වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක ඇතුළු ඇමතිවරු හයදෙනක් නාවින්නගේ අලුත් ගමන අහුරන්නට ඔහුගේ නිවසට පැමිණියහ. පැය දෙකතුනක්ම ඔවුහු ඇවිටිලි කළත් නාවින්නගෙන් සාර්ථක පිළිතුරුක් ලැබුණේ නැත.

ඔවුන් පිටව ගොස් මද වේලාවක් යද්දි නවීන් දිසානායක හා අශෝක් අබේසිංහ හිටපු ඇමැතිවරු නාවින්නගේ නිවසට ආහ. ඒත් නාවින්න හිටපු ඇමැතිවරයාට නම්මා ගන්නට ඔවුන්ටද හැකිවුයේ නැත.
මේ අතරේ හිටපු ඇමැතිවරයා සිය බල මණ්ඩලයද කැඳවා සන්ධාන මන්ත්‍රිවරුද සිය නිවෙසට එන ලෙස 1දාට දැනුම් දී තිබිණි. ඔහු එහිදී ජනතාවට කීවේ මොන ආණ්ඩුවක් ආවත් තමත් ඇමැතිවරයකු බවය. එහි ප්‍රතිලාභය ජනතාවට බවය. අවසානයේදී එස්.බී. නාවින්න මහතා සිකුරාදා තමන්ගේ පැත්ත මාරු කරමින් නව ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකු ලෙස දිවුරුම් දුන්නේය

මේ අතර අජිත් පී. පෙරේරා මන්ත්‍රිවරයා තිරය පිටුපස සිට පක්ෂය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරගෙන ගියේය.

මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීමට සිටි හිටපු ඇමැතිවරයෙක් හමුවී සහාය දැක්වීමේ සිතිවිලි අවලංගු කිරීමට අවැසි නම් අම්පාර ප්‍රදේශයට පවා ගොස් සාකච්ඡා කිරීමට අජිත් පී. පෙරේරා මන්ත්‍රිවරයා තිරය පිටුපස සිට කටයුතු කර තිබිණි.

මීට අමතරව රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු ඇමැතිවරයාද පක්ෂයට අවශ්‍ය දේවල් ලබා ගැනීම වෙනුවෙන් තිරය පිටුපස සිට විශාල වැඩ කොටසක් කරගෙන යයි.
කථානායකවරයා සහ ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවෙන් පසු පාර්ලිමේන්තුව 16දාට පෙර විවෘත කිරීමට දින නියම වුවහොත් ගම්වල පාක්ෂිකයන්ට රතිඤ්ඤා පුපුරුවා සතුට පළ කිරීමට සලස්වන ලෙස ගාමිණී ජයවික්‍රම හිටපු ඇමැතිවරයා පළාත් සභා මන්ත්‍රි ගල්ගමුව ආසන සංවිධායක මොහාන් පෙරේරාට දැන්වීය.
ඒ සමඟම මොහාන් පෙරේරා අරලියගහ මන්දිරයේ සිට මන්ත්‍රිවරයා සිය ප්‍රාදේශීය දේශපාලනඥයන්ට, ක්‍රියාකාරීන්ට, හිටපු සභාපතිවරුන්ට කිව්වේ පක්ෂය හැරදා යෑමට සැරසෙන හිටපු ඇමැතිවරයාගේ නිවෙසට ගොස් ඔහුගේ ගමන නවතාලීමට සහාය දෙන ලෙසය.

මේ අතර මාදිවෙල මන්ත්‍රි නිවාසවල වෙසෙන එජාප මන්ත්‍රිවරු සොයාගෙන සන්ධාන මන්ත්‍රිවරු පැමිණෙන බව දැනගන්නට තිබේ.
"අපේ ගෙදර එහා පැත්තේ ඉන්නේ අසවලා" මහනුවර දිස්ත්‍රික්කයේ එජනිස මන්ත්‍රිවරයකුගේ නමක් කීය.

එයා උදේ සවස දිගටම එනවා මහින්ද මහත්තයාට සහාය දෙන්න කියලා. බෑ කිව්වට අහන්නේ නැහැ. ගෙදර ඉන්නේ නැතුව අරලියගහ මන්දිරයේ ඉන්න එක හොඳ යැයි එම එජාප මන්ත්‍රිවරයා පැවැසුවේය. මේ අතර ගිනිගත්හේන පැත්තේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි පියදාස මහතා කීවේ තමන්ට මේ වන තෙක් කිසිවකු කතා නොකළ බවය. කතා කළේ නම් කෝටි 25කට හරි යන්න අහන්න වෙනවා යැයි මන්ත්‍රිවරයා සිනහසෙමින් පැවැසුවේය.

ලබන 16 වැනිදාට පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත බවට තොරතුරු තිබේ. ඒ වන විට එජාපය මෙන්ම එජනිස සිය බහුතරය නිර්මාණය කරගත යුතුය. ඒ වෙනුවෙන් මන්ත්‍රිවරු බිලිබා ගැනීමට දෙපක්ෂයම උත්සාහයක නිරත වෙති. ලබන 16දා පාර්ලිමේන්තුව කැඳවුවිට බහුතර බලය ඇත්තේ කාටදැයි බලාගත හැකි වනු ඇත.

දෙපාර්ශ්වයේම කලාකරුවන්, සිවිල් සංවිධාන, ප්‍රාදේශීය දේශපාලන බල පෙරළි ඇතුළු හැම ක්‍රියාකාරකමක්ම කරති.

- මවුබිම





gossip lanka