මා අඳින පළඳින විදියෙන් මා ගැන තීරණයක් ගන්න එපා

ටෙලි නාට්‍ය නිළියක් නම් වෙන්නේ නැහැයි කියපු ටීනා රංගනයෙන් දායක වන “සකූගේ කතාව” ටෙලි සිත්තම පිළිබඳව මේ දවස්වල කාගේත් අවධානය යොමු වෙලා. ඔය අතර සකූගේ කතාවේ ටීනාගේ රංගනය ගැන විවේචනාත්මකව කතා කරන පිරිසකුත් ඉන්නවා. ඒ අයට ටීනා කිව්වේ මොනවාද කියලා දන්නවාද?

අපි ඉස්සෙල්ලාම මේ දවස්වල ටීනාගේ ජීවිතය ගවෛන හැටි කියමුකෝ?

මේ දවස්වල සකූගේ කතාව ටෙලි නාට්‍ය නිසා ටිකක්
විතර කාර්ය බහුලයි. ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන සකූගේ කතාව ගැන ගොඩාක් අය කතා වෙනවා.  ටෙලි නාට්‍ය නොබලන අය පවා මේ කතාව බලන්නට පුරුදු වෙලා ඉන්නවා. අද වෙනකොට ටෙලි නාට්‍ය අතර මුල් තැනට සකූගේ කතාව ඇවිත් තියෙන එක ගැන නම් හරිම සතුටුයි. ඒ ප්‍රශංසාව හිමිවිය යුත්තේ නම් එහි අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේටයි.

නමුත් ඔබ ක්ෂේත්‍රයට ආවේ නම් කවදාවත් ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා නේද?

කොහොමත් මම කලා ලෝකය හඳුනාගත්තේ චිත්‍රපට රංගනයෙන්. ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න විශේෂ කැමැත්තක් මගේ තිබුණේ  නැහැ. ඒත් මගේ පළමු චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ මහතා ඔහුගේ ටෙලි නාට්‍යයේ රංගනයට මට කළ ආරාධනාව ඉවත දමන්න  මට බැරි වුණා. අනෙක ඔහු වැනි කුසලතා පූර්ණ නිර්මාණකරුවෙකුගේ නිර්මාණයක් සාර්ථකත්වය කරා ළඟා වෙන බව මට දැනුණා. ඒ නිසයි. ටෙලි නාට්‍ය රංගනයට මම යොමු වුණේ. අද වෙනකොට ඊට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒත් මට ඊර්ෂ්‍යා කරන අයත් ඉන්නවා.

ඇයි ඔබට ඔවුන් ඊර්ෂ්‍යා කරන්නේ?

මට මේ ක්ෂේත්‍රයේ ඊර්ෂ්‍යා කරන අය ගොඩාක් ඉන්නවා. ඒ අය කවුද කියලා නම් වශයෙන් කියන්න මම කැමති නැහැ. නමුත් කවුරු හෝ කෙනෙක් මගේ වැරදි කිය කියා යනවා නම් ඒ ඊර්ෂ්‍යාව නිසානේ. කොහොමත් මොඩ්ලින් කරන ගොඩාක් අය ළඟ ඔය වගේ හැසිරීම්  තියෙනවා. හැබැයි ඒ හැමෝටම හොඳම උත්තරේ මම දීලා තියෙන්නේ.

ඒ කියන්නේ ටීනා අභියෝගය භාර අරගෙන?

ඔව්. මම කටින් උත්තර දෙන කෙනෙක් ‍නෙවෙයි. මම කරන කියන දේ එක්ක ඒ වගේ ඊර්ෂ්‍යා කරන අයට උත්තර ලැබෙනවා. මොකද මම කරන වැඩ කටයුතු එක්ක මාව අද වෙද්දී කතා බහට ලක් වෙන චරිතයක් වෙලා ඉවරයි. මේ හැමදේම මට ලැබුණේ ප්‍රියන්ත අයියා මාව ක්ෂේත්‍රයට ගෙනාව නිසා. එයාට ගොඩාක් ස්තූතියි.

කැපිලි කෙටිලි මැද දිවෙන ජීවිතේ ඔබට අභියෝගයක් ‍නෙවෙයිද?

එහෙන් මෙහෙන් කකුලෙන් ඇදිලි ගොසිප් මේ දේවල් තමා මගේ ශක්තිය. මොකද මනුස්සයෙක් ගැන කවුරුත් කතා බහට ලක්කරන්නේ නැත්නම් වැඩක් නැහැනේ. අද මාව මිනිස්සු මනින්නේ මියුසික් වීඩියෝ හරහා. එහෙමත් නැත්නම් මම අඳින පළදින විදියෙන්. ඒක මගේ පෞද්ගලික කැමැත්ත. මොඩල් කෙනෙක් විදියට මම කැමති දෙයක් අඳින්න නිදහස තියෙනවා. කොහොමත් අපි රසිකයන් ඉදිරියට එන්නේ චරිතයකින්. එතැනදී අපි නිරූපණය කරන්නේ චරිතයක්. එය අපේ සැබෑ චරිතය ‍නෙවෙයි. ඒ නිසා බොරු කට කතා වලට රැවටෙන්න එපා. කතාවක් හදන්න කලින් ඒ පුද්ගලයා කවුද කියලා අවබෝධ කර ගෙන ඉන්න. අපි දෙයක් කරන්නේ රසිකයන් පිනවන්නයි. ඒක වැරදි විදියට තේරුම් අරගෙන දකින දකින තැන ඒ පුද්ගලයව විවේචනය කරන එක නම්  මම අනුමත කරන්නේ නැහැ.

සකූගේ කතාවෙන් පස්සේ අලුත් ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණේ නැද්ද?

ප්‍රියන්ත අයියගේ නිර්මාණයක් නිසා සම්බන්ධ වුණත් මම අදටත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට කැමැති නැහැ. ඒ නිසා හැම ටෙලි නිර්මාණයක්ම භාරගන්නේ නැහැ. මාව ඉස්මතු වෙන, හොඳ පිටපතක් ලැබුණොත් ඉදිරියේදී සම්බන්ධ වෙනවා. එහෙම නැතිව කතා කරපු පමණින් මම නිර්මාණ භාර ගන්නේ නෑ.

ඉදිරියේ එන්න තිබෙන චිත්‍රපට මොනවාද?

මගේ ප්‍රථම චිත්‍රපටය වාණිජ චිත්‍රපටයක්. දෙවන චිත්‍රපටය සමීර වක්වැල්ලගේ හෝර්න්. මේක හොරර් ෆිල්ම් එකක්. මේ චිත්‍රපට දෙකම ඉදිරියේදී එන්න තියෙනවා.

තමාරා පතිරණ