"මම හාමුදුරුවන්ට කිව්වා, මහණ වෙන්න ආසයි කියලා" - දෙමළෙන් බණ කියන සිරිධම්ම හාමුදුරුවන්ගේ කතාව - Photos

සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පද‌ා 
සචිත්තපරියෝදපනං - ඒතං බුද්ධානු ශාසනං

මේ ලිපිය ආරම්භයේදී සඳහන් කළ දමිළ භාෂාවේ උච්චාරණ වචන ඛණ්ඩය අපට අසන්නට ලැබුණේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකගේ ධර්ම දේශනාවකදීය. දමිළ ජාතික බැතිමතුන් පිරිසකට ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන්ව ඇති උක්ත පාලි ගාථා පාඨයේ දමිළ සරල
අදහස දමිළ ජාතික බැතිමතුන් පිරිසකට එසේ දේශනා කරනු ලැබුවේ, දමිළ ජාතික භික්ෂූන් වහන්සේ නමක් විසින් වීම මෙම සටහන තබන්නට සුවිශේෂී හේතුවක් විය.
සීත කඳුකරයේ මස්කෙළිය, සාමිමලේ (නිශ්ශංක උයන) නගරයේ ශ්‍රී සුනේත්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති නිශ්ශංක උයනේ සිරිධම්ම හිමියන් විසින් විහාරස්ථානයට පැමිණි දමිළ ජාතික බැතිමතුන් පිරිසකට පසුගියදා දමිළ බසින් ධර්ම දේශනා කරමින් සිටියදී අපට දක්නට ලැබුණි.

ශ්‍රී ලංකාවේ වැඩසිටින දමිළ ජාතික බෞද්ධ භික්ෂූන් වහන්සේලා කීප දෙනා අතරින් නිශ්ශංක උයනේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. මස්කෙළිය, සාමිමලේ, ශ්‍රී සුනේත්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ලෙස වැඩවසන සිරිධම්ම හිමියන් දමිළ වතු කම්කරු හින්දු භක්තිකයින් බහුතරයක් වෙසෙන සාමිමලේ ප්‍රදේශයේ ජාතික සමගිය හා සහජීවනය ගොඩනැගීමෙහිලා සිදු කරන මහඟු සේවාව සම්බන්ධව සොයා බැලීමට අපි පසුගියදා එම විහාරස්ථානයට ගියෙමු.

නිශ්ශංක උයනේ සිරිධම්ම හිමියන්ගේ ගිහි නම කේ. ක්‍රිෂ්ණාය. උපතින් හින්දු භක්තිකයෙකු වන උන්වහන්සේ බෞද්ධ භික්ෂුවක් වූ අයුරු අතීතය ආවර්ජනය කරමින් අප සමග මෙසේ කතාව ආරම්භ කළහ.

“මම පදිංචිව සිටියේ මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, කැස්කීබන් කොටසේ. මගේ පියාගේ නම කොණ්නුසාමි පළනියාණ්ඩි. මවගේ නම අඩකායි අන්ණකොඩි. ඔවුන් වතු කම්කරුවෝ. දෙදෙනාම දැනට ජීවතුන් අතර නෑ. මට තව වැඩිමහල් සහෝදරියක් හා සහෝදරයෙක් ඉන්නවා. මම වත්තේ ඉස්කෝලේ 02 වසර දක්වා ඉගෙන ගත්තා. අපි ගොඩක් අමාරුවෙන් තමයි ජීවත් වුණේ. ඊට පස්සේ පාසල් ගමන නැවතුණා.

මට රස්සාවක් කරන්න ඕන වුණේ ගෙදර ප්‍රශ්න නිසා. මම පදිංචිවෙලා හිටිය තේ වත්තේ වැඩ කරන හිතවත් අයෙක් මාර්ගයෙන් දංකොටුව ප්‍රදේශයේ උළු කර්මාන්ත ශාලාවක මුලින්ම වැඩට ගියා. එය අයිතිකාර මහත්තයලාගේ ගෙදර නැවතිලා හිටියේ. ඒ මහත්තයා කතෝලිකයෙක්. වැඩකරපු තැන හිටපු මගේ යාළුවෝ සිංහල අය. ඔවුන් සියලු දෙනාම බෞද්ධ ආගමිකයින්. ඒ අය නිතර බුදුහාමුදුරුවෝ ගැන කියනවා. පන්සිය පනස් ජාතකය ගැන කියනවා. සතුන්ට අභයද‌ානය දෙන එක, බුද්ධාගමේ ද‌ාන මාන දෙන හැටි, ආගමික වතාවත් කරන හැටි නිතර කියනවා. මම නැවතිලා හිටිය ගෙදර මහත්තයලා එයාලගේ ළමයෙක් විදිහට මට සැලකුවා. ඒ මහතා හිටපු යුද හමුදා නිලධාරියෙක්. මම ඒ මහත්තයාගේ සර්විස් ස්ටේෂන් එකේ වැඩ කළා.

මම යාළුවොත් එක්ක දංකොටුවේ නගර ශාලාව ඉදිරිපිට තිබූ පන්සලට යනවා. මට බුදු හාමුදුරුවෝ දකින්න ලොකු ආශාවක් තිබ්බා. මට හිතෙනවා මම ඒකට පෙරුම් පිරුවා කියල. මම මිනිස්සුන්ගෙන් අහනවා බුදු හාමුදුරුවෝ ඉන්නේ කොහේද කියලා. මම සමහර වෙලාවට මිනිසුන්ට සල්ලි දීලා තියෙනවා, බුදු හාමුදුරුවෝ පෙන්නන්න කියලා. යාළුවන්ගෙන් මම බුදුහාමුදුරුවෝ ගැන විස්තර අහලා ගොඩක් දේවල් දැනගත්තා. භාවනා කරලා සිත දියුණු කරන්න පුළුවන් කියලා මම දැනගත්තා.

නිවාඩු තියෙන හැම වෙලාවකම ගිහින් මල් පූජා කරලා බුදුන් වඳිනවා. බුදුන් වහන්සේගේ පිළිමය ඉදිරියට ගියාම හිතට ලොකු සැනසීමක් ලැබෙනවා. කොච්චර ප්‍රශ්න තිබුණත් හිත නිදහස් වෙනවා. බුදුන් වහන්සේ වැඳ පුද‌ා ගැනීමෙන් මට ලොකු ආශිර්වාදයක් ලැබුණා. ඒක මම අත්දැකීමෙන් කියන්නේ.

අවුරුදු 15ක් විතර දංකොටුව ප්‍රදේශයේ ඉඳල නැවත ගමට ආවා. දෙමව්පියන් අසරණ නිසා වෙනත් රැකියාවක් කරල ඒ අයට සලකන්න ඕන කියන එක මගේ සිතේ නිතරම තිබුණා. මම මගේ දෙමව්පියන්ට බුදු හාමුදුරුවෝ ගැන කිව්වා. බෞද්ධ ක්‍රමයට මම අම්මටයි තාත්තටයි බුලත් දීලා වැන්ද‌ා. ඒ අය අඬලා මට ආශිර්වාද කළා. මට කොහේවත් යන්න එපා කියල කිව්වා. නමුත් මට වෙන රැකියාවක් කරන්න ඕනකම තිබුණේ දෙමව්පියන්ට සලකන්න. මම රැකියාවක් සොයමින් අවුරුදු කීපයක් ගෙදර ඉන්න කොට කොන්ත්‍රාත් කරන හිතවත් මහත්තයෙක් හමුවුණා. ඒ මහත්තයා සාමිමලේ බස් නැවතුම්පළ කපල විශාල කරන කොන්ත්‍රාත්තුව කළා. මම එතන වැඩට ගියා. එතන පස් ගෙනත් පන්සලේ ඉඩමට දාලා තුනී කළා. මමත් පස් ගෙනාවා. ඒ වෙනකොට මේ පන්සලේ වැඩහිටියේ ගිංතොට සද්ධානන්ද කියන විහාරාධිපති ලොකු හාමුදුරුවෝ. මට උන්වහන්සේ දවසක් කීවා වතුර බාල්දියක් ගෙනත් දෙන්න කියලා. මම බොහෝම සතුටින් වතුර ගෙනත් දුන්නා. හාමුදුරුවෝ මට සල්ලි දුන්නා. මම පින් වැඩක් නිසා එපා කිව්වා. ඊට පස්සේ හාමුදුරුවෝ මට පන්සලට එන්න කියල තේ හදල දුන්නා. පන්සලේ උළු කැට වගයක් කැඩිලා තිබුණා. පන්සලේ හිටිය ප්‍රේමචන්ද්‍ර කියල අයිය කෙනෙක්. එයා උළු කැට දෙකක් මට ගෙනත් දුන්නා. මම වහළයට නැගලා ඒක දාල දුන්නා. ඒ වෙලාවේ නායක හාමුදුරුවෝ මට කිව්වා පන්සලේ උදව්වට කවුරුත් නෑ උන්වහන්සේ තනියම වැඩ ඉන්නේ කියල. මට උදව්වට පන්සලට එන්න කිව්වා. මමත් ආශාවෙන් හිටිය නිසා පන්සලට ආවා.”

නිශ්ශංකඋයනේ සිරිධම්ම හිමියෝ ඉතා චතුර ලෙස සිංහල භාෂාව හසුරුවමින් අප සමග වැඩිදුරටත් මෙසේ පැවසූහ.

“මම මුලින්ම පන්සල් භූමිය, තොරණ, ඝණ්ඨාර කුලුන හැම දෙයක්ම සුද්ධ පවිත්‍ර කළා. ඒ දවස්වල දායකයෝ හිටිය. සිංහල කට්ටිය ගොඩක් දකුණු පළාතේ අය. ඒ අය පන්සලට දාන මාන දීල උදව් කරන අය. මෙහෙම පන්සලේ වැඩ කරමින් ඉන්න ගමන් මම දවසක් හාමුදුරුවන්ට කීවා මහණ වෙන්න ආසයි කියල. හාමුදුරුවෝ කීවා එහෙම පැවිදි වෙන්න බෑ කියල. මම කීවා මෙහෙ බැරි වුණොත් මම වෙන පන්සලක හරි පැවිදි වෙන බව කීවා. මම ලොකු හාමුදුරුවන්ගෙන් ඇහැව්වා බුදු හාමුදුරුවෝ වැඩ ඉන්නේ කොහේද කියල. හාමුදුරුවෝ කීවා බුදු ගේ වැඩ ඉන්න බව. මම ගිහින් බුදු හාමුදුරුවන් වැඳපුදා ගත්තා. එහෙම ඉන්න ගමන් මම ලොකු හාමුදුරුවන්ගෙන් ඇසුවා බුදු හාමුදුරුවන්ට පූජා කරන්නේ මොනවද කියල. බුද්ධ පූජාව සෑම දිනකම පූජා කරන්න කියල නායක හාමුදුරුවෝ කීවා. එදා ඉඳන් මම වරද්දන්නේ නැතිව හැමදාම බුද්ධ පූජාව හා ගිලන්පස බුදුහාමුදුරුවන්ට බොහෝම සතුටින් පූජා කළා.

බුද්ධ පූජාව තියන්න පොඩ්ඩක් හරි ප්‍රමාද වුණ දවසට මම බුදු හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලනවා. මම ලොකු හාමුදුරුවන්ගෙන් ඇසුවා බුද්ධ පූජාවට අමතරව බුදුන්ට වෙන මොනවද පූජා කරන්න පුළුවන් කියල. උන්වහන්සේගේ උපදෙස් අනුව මම එදා ඉඳන් මල්, දැහැත් පූජා කළා. ඔහොම ඉන්නකොට පෝය දවසට සිල් සමාදන් වෙන්න පන්සලට එන උපාසකඅම්මලාට මම ධර්මශාලාව අතු ගාලා පැදුරු එළල සුද්ධ පවිත්‍ර කරල දුන්නා. ඒ අයට දානේ පූජා කරන්න පටන් ගත්තා.

උපාසකඅම්මලා බෝධි පූජා තියද්දී මමත් යනවා. ඒ අය කියන බෝධි පූජා ගාථා ඒ අය සමගම කියල මම කෙටි කලකින් ඉගෙන ගත්තා. නායක හාමුදුරුවෝ කිව්වා මහණ වෙන්න අවුරුදු 05ක් ඉන්න ඕන කියල. නායක හාමුදුරුවෝ කියපු විදිහට මම උපදෙස් ඔක්කොම පිළිපැද්දා. හාමුදුරුවෝ රෑට දානේ වළඳන්නේ නැති නිසා මමත් රෑට කෑම කෑවේ නෑ. ඒකට මම පුරුදු වුණා. එහෙම ටික කලක් ඉන්නකොට විහාරාධිපති ගිංතොට සද්ධානන්ද හාමුදුරුවෝ උන්වහන්සේගේ නායක හාමුරුවෝ රාජකීය පණ්ඩිත දෙවුන්දර සිරිනන්ද හාමුදුරුවන්ට කීවා මෙහෙ පන්සලේ දෙමළ ළමයෙක් පැවිදි වෙන්න ආශාවෙන් ඉන්න බව. “මේ පළාතේ ද්‍රවිඩ අය ගොඩක් ඉන්න නිසා ඒක හොඳ වැඩක්. අපි නැති කාලෙට පන්සල හොඳින් පවත්වාගෙන යයි” කියල නායක හාමුදුරුවරු තීරණය කළා මම සසුන්ගත කරන්න. එතකොට මගේ වයස අවුරුදු 21යි. මහණ වෙන බව මගේ අම්මටයි, තාත්තටයි, අක්කටයි, මල්ලිටයි කියන්න මම ගෙදර ගියා. මම ඒ අයට වැඳලා කිව්වා. ඒ වෙලාවේ අම්මයි තාත්තයි ඇඬුවා. මම ඒ අවස්ථාවේ ශාසනයට දරුවෙක් පූජා කරන එකේ ආනිසංස දෙමව්පියන්ට බුද්ධාගමේ හැටියට වැඳලා පැහැදිලි කරලා කිව්වා. ඒ අය අවබෝධ කරගෙන මට ආශිර්වාද කළා.”

මහණ දම් පිරීමට වසර 05ක පමණ කාලයක් තිස්සේ සිටි කොණ්නුසාමි ක්‍රිෂ්ණා නමැති දමිළ ජාතික තරුණයා නිශ්ශංක උයනේ සිරිධම්ම හිමියන් ලෙස 1994 ඔක්තෝබර් 30 වෙනි දින සසුන්ගත වූයේ අමරපුර නිකායේ අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත අපවත් වී වදාළ දෙවුන්දර සිරිනන්ද හිමියන් හා නිශ්ශංක උයන ශ්‍රී සුනේත්‍රාරාමාධිපති අපවත් වී වදාළ ගිංතොට සද්ධානන්ද යන හිමිවරුන්ගේ උපාධ්‍යයෙන් යුතුවය. මහණ පුණ්‍යොත්සවය තිබුණේ ගාල්ලේ ගිංතොට විහාරස්ථානයේදී. සිරිධම්ම සාමණේර හිමියන් දහම් දැනුම යහමින් හැදෑරීම සිදු කළේ පුංචි බොරැල්ලේ ශ්‍රී ලංකාරාම මහා විහාරස්ථානයේදීය. අනතුරුව උන්වහන්සේ 1996 ජූලි 20 වෙනි දින අම්බලන්ගොඩ රන්කොත් විහාරයේදී උපසම්පදාව ලබා ගත්හ.

උපසම්පද‌ා පිංකමෙන් අනතුරුව තමන් වහන්සේ සාමිමලේ නිශ්ශංක උයන ශ්‍රී සුනේත්‍රාරාම විහාරස්ථානයට වැඩම කිරීමේ උත්සවය මහ ඉහළින් පවත්වනු ලැබුවේ, සාමිමලේ හා මස්කෙළිය ප්‍රදේශවල ජීවත්වන සිංහල, දමිළ ජනතාව සංහිඳියාව හා ජාතික සමගියට අපූර්ව පූර්වාදර්ශයක් සපයමින් බව නිශ්ශංක උයනේ සිරිධම්ම හිමියන් අතීත මතකයන් යළි සිහිපත් කරමින් අප සමග පැවසූහ. මෙදින සාමිමලේ, ගවරවිල මංසන්ධියේ සිට සාමිමලේ නගරයේ පිහිටි විහාරස්ථානය දක්වා සිරිධම්ම හිමියන් පංචතූර්ය නාදය මැද්දේ විචිත්‍රවත් පෙරහරකින් වැඩමවාගෙන ගිය අවස්ථාව සඳහා බහුතරයක් සහභාගී වූයේ දමිළ හින්දු භක්තිකයින් වීම ද විශේෂ සිද්ධියකි.

විහාරස්ථානයේ පැවැත්වෙන වාර්ෂික කඨින පිංකමට ප්‍රදේශයේ සුළුතරයක් වූ සිංහල බෞද්ධ ජනතාව සමගින් බහුතරයක් වූ දමිළ හින්දු බැතිමතුන් ද දානය රැගෙන එමින් දායකත්වය දරන බව පවසන සිරිධම්ම හිමියෝ, එහිදී තමන් වහන්සේ දමිළ භාෂාවෙන් බුදු දහම සම්බන්ධව පැහැදිලි කර ධර්ම දේශනා පැවැත්වීම සිදු කරන බව ද කීහ. ප්‍රදේශයේ බොහෝ හින්දු බැතිමතුන් පෝය දිනට විහාරස්ථානයට පැමිණ මල් පහන් පූජා කරති. ඔවුන් බෝධි පූජාවන් සඳහා සිංහල බැතිමතුන් සමග සහභාගි වන බව පවසන උන්වහන්සේ, ප්‍රදේශයේ සිංහල, දමිළ ව්‍යාපාරික ප්‍රජාව විහාර සංවර්ධනය සඳහා හැකි පමණින් ආධාර උපකාර කරන්නේ ආගම්, ජාති හා කුල භේදයකින් තොරව බව ද අප සමග පැවසූහ.
සහජීවනය, සංහිඳියාව මෙන්ම විවිධත්වයට ද කදිම උදාහරණයක් පවසමින් නිශ්ශංක උයනේ ශ්‍රී සුනේත්‍රාරාම විහාරස්ථානයේ ඉරුදින දහම් පාසලේ දහම් දැනුම හදාරන්නේ බහුතරයක් දමිළ ළමයින් වීම විශේෂත්වයකි. ඔවුන්ගෙන් වැඩි දෙනෙකුගේ මව්පියන් මිශ්‍ර විවාහයන් කරගෙන වතුකරයේ වතු කම්කරුවන් ලෙස ඉතා සහජීවනයෙන් ජීවත්වන පිරිසකි. ඔවුහු බෞද්ධාගම මෙන්ම හින්දු ආගමට ද ගරුකරමින් ආගමික සංහිඳියාවෙන් දිවි ගෙවති. එමෙන්ම විහාරස්ථානයේ පැවැත්වෙන උපේක්ෂා පෙරපාසලේ සිංහල, දමිළ හා යෝනක ළමෝ සෑම භාෂාවකින්ම මූලික අධ්‍යාපනය හදාරති.

එම ළමයින් ආගම් හෝ ජාති භේදයෙක් නොමැතිව විහාරස්ථානයේ ආගමික වතාවත්වලට සහභාගී වන බවත්, හින්දු, ඉස්ලාම් ආගමික අවස්ථාවන් ද පෙරපාසලේ සියලු දරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන බවත් එහි පාලිකාව වන වාසනා රෂ්මී කරුණාරත්න මහත්මිය අප සමග පැවසුවාය. එමෙන්ම විහාරාධිපති නිශ්ශංක උයනේ සිරිධම්ම හිමියන් ප්‍රදේශයේ ජාතික සමගිය ගොඩනැගීමෙහිලා විශාල සේවාවක් වසර ගණනක් තිස්සේ සිදුකරගෙන එන බවත්, ඒ තුළින් සංහිඳියාව හා සහජීවනය වර්ධනය වී ප්‍රදේශයේ සාමකාමී පරිසරයක් ගොඩනැගීමට ජාතීන් අතර පාලමක් ඉදිකර ඇති බවත් කරුණාරත්න මහත්මිය වැඩිදුරටත් කීවාය.

ප්‍රදේශයේ වෙනත් විහාරස්ථානවල පැවැත්වෙන කඨින පිංකම් ඇතුළු ආගමික කටයුතුවලට තමන් වහන්සේට ආරාධනා ලැබෙන බවත්, එම ස්ථානවලදී ධර්ම දේශනා කිරීම් සිදුකරන බවත් පවසන නිශ්ශංක උයනේ සිරිධම්ම හිමියෝ නිර්මල බුදු දහම තුළින් ජාතීන් අතර සහජීවනය, සංහිඳියාව මෙන්ම සාමය ඇති කිරීම සඳහා තමන් වහන්සේට දමිළ බසින් ධර්ම දේශනා පැවැත්වීම සඳහා ආරාධනාවක් ලැබෙන්නේ නම් උතුරු නැගෙනහිර ප්‍රදේශවලට පවා වැඩම කිරීමට මහත් කැමැත්තකින් සිටින බවත් නිශ්ශංක උයනේ සිරිධම්ම හිමියෝ අප සමග පැවසූහ.

දසක තුනකට ආසන්න කාලයක් තිස්සේ මෙරට පැවති කුරිරු යුද්ධය හේතුවෙන් ජාති, කුල, ආගම් වශයෙන් රටේ ජනතාව බේද බින්න වී එකිනෙකා අභිබවා යමින් හැසුරුණු අනුවේදනීය සමය අපට තාමත් අමතක නැත. එවන් පසුබිමකට හේතු පාදක වූ කාරණාවන් හා බැඳී ඇත්තේ වසර ගණනක් තිස්සේ අටුවන් බැස ඇති මේ රටේ අවස්ථාවාදී පටු දේශපාලනය බව නොකියාම බැරිය. සංහිඳියාව, විවිධත්වය, සමානාත්මතාව මෙන්ම සැබෑ සාමයට වින කරන එවන් පසුබිමක් යළි මෙම භූමියට නොඑන්නට ජාති, කුල, ආගම් භේදයෙන් තොරව සමස්ත පුරවැසියන්ම කැපවීමෙන් කටයුතු කළ යුතුව ඇති බව අවසන් වශයෙන් අපි සඳහන් කරනු කැමැත්තෙමු.

ඡායාරූප හා සටහන - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක