රූපවාහිනි වැඩසටහනක් අත්හදා බැලීමට ගිය සාමණේර හිමිනම අපවත් වෙති

රූප පෙට්ටියට ඇබ්බැහි වූ කුඩා සාමණේර හිමිනමක් ජනප්‍රිය රූපවාහිනි නාළිකාවකින් විකාශනය වන අපේ රටේ දරුවන්ගේ විවිධ දක්ෂතා ලොවට පෙන්වන 'ටැලන්ට් වැඩසටහනක් ඉතාම ආශාවෙන් නැරැඹීමට මෙන්ම ඒවා අත්හදා බැලීමටද යෑමෙන් සමනල වියේදීම ජීවිතයෙන් සමුගත් පුවතක් ගණේමුල්ල පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ.

ගණේමුල්ල ප්‍රදේශයේ විහාරයක පැවිදිව සිටි 13
හැවිරිදි සාමණේර භික්ෂුන් වහන්සේ නමක් මෙලෙස අපවත් වී ඇත.

තමන් නරඹන වැඩසටහනේ දරුවන් ඉදිරිපත් කරන ජිම්නාස්ටික් ක්‍රියාකාරකම් සිය ආවාසගෙයි කාමරයේදී පුහුණුවීමට ගොස් ඉලක්කය වැරැදි අත ලිස්සා යෑමෙන් ගෙලට ඉහළ කම්මුල් දෙපසින් සිදුවූ තදබල හිරවීමක් හේතුවෙන් 30 වැනිදා අපවත් වූ මෙම පොඩි හිමිනම විහාරස්ථානයේ සිටම අධ්‍යාපනය හදාරා ඇත.

සිවුරු පටියකින් ඉහළ පහළ පැද්දෙමින් ටාසන්ගේ වීර ක්‍රියා පුහුණුවට යෑමේදී සාමණේරයන් වහන්සේ මෙම අනතුරට මුහුණ පා ඇති අතර විහාරාධිපති හිමියන් වයෝවෘද්ධව අසනීපව සිටින බැවින් ගෝල හිමියන් පිළිබඳව නිතර පසුපසින් හිඳ සෙවීමට උන්වහන්සේට නොහැකි වී ඇත.

සිද්ධිය වන අවස්ථාවේදී විහාරවාසී ශිෂ්‍ය හිමිවරු ඒ අවස්ථාවේ පිරිවෙන වෙත ගොස් සිට ඇති අතර අපවත් වූ කුඩා හිමිනම හා වයෝවෘද්ධ හිමියන් පමණක් එදින විහාරස්ථානයේ සිට ඇත.

පසුගිය 30 වැනිදා සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මෙලෙස අපවත් වී ඇත්තේ ගණේමුල්ල කුඩා බොල්ලත සුමන වීරසිංහාරාම වාසී 13 හැවිරිදි හඟුන්නාවේ පියරතන නම් වූ සාමණේර භික්ෂුන් වහන්සේ නමකි.

උන්වහන්සේගේ කාමරයේ සිවුරු පටියකට හිර වී තිබූ සිරුර රාගම රෝහල් මරණ පරීක්ෂකවරයා විසින් පරීක්ෂාවට ලක් කර රාගම රෝහලට භාරදී ඇති අතර පසුදා සාමණේර හිමියන්ගේ මවුපියන් කැඳවාගෙන රෝහලට පැමිණෙන ලෙස භාරකාරත්වයට උපදෙස් දී ඇත.

පසුදින රෝහලට පැමිණි අපවත් වූ හිමියන්ගේ මවුපියන් මෙම අපවත්වීම සැක සහිත බව ප්‍රකාශ කළ බැවින් රාගම රෝහලේ මරණ පරීක්ෂකවරයා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් සඳහා මීගමුව මහෙස්ත්‍රාත්වරයා වෙත යොමු කර ඇත.

මරණය සැකසහිත යැයි පවසන්නේ ඇයිද යන්න මරණ පරීක්ෂකවරයා මවගෙන් විමසූ විට ඇය පවසා ඇත්තේ නිතර නිතර දරුවාට දුරකථන ඇමැතුම් නොදෙන ලෙස විහාරස්ථානයෙන් දැනුම් දුන් බැවින් මෙම සැකය හට ගත් බවකි. සාමණේර හිමියන්ගේ මෘතදේහය භාර ගැනීම හා සාක්ෂි දීමට 31 වැනිදා රාගම රෝහල වෙත ගිය විහාරවාසී හිමිනමගෙන් මරණ පරීක්ෂකවරයා දුරකථන ඇමැතුම් නොදෙන ලෙස පැවැසීමට හේතුව විමසූ විට බුදු සසුනට පූජා කිරීමෙන් පසු නිතර මවුපියන් දුරකථන ඇමැතුම් දීමෙන් සිවුරු හැරදා යෑමට කුඩා සාමණේරවරුන් පෙලඹෙන බැවින් එසේ සිදු කරන බව පවසා ඇත.

මීගමු අධිකරණයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් සිරුර මවුපියන්ට භාරදී ඇත.

අපවත් වී වදාළ සාමණේර හිමියන්ගේ අවසන් කටයුතු පසුගිය 3 වැනිදා කුඩා බොල්ලත සුමන වීරසිංහාරාම විහාරස්ථ ආදාහන මළුවේදී සිදු කර ඇත.


gossip lanka