සැමියා නැති අතරේ මගේ පරම හතුරා ගෙට ඇවිත්

මම යකෙකුටවත් බය නැති කෙනෙක් බව හැමෝම වගේ දන්නවා. හුඟක් අය විසකුරු සර්පයන්ට බයයිනේ. හැබැයි මම නම් නයින්ට, ‍පොළඟුන්ට වත් බය නැහැ. ගෙදරට සර්පයෙක් ආවත් අනිත් අය ඒ සර්පයව දැකලා මර ලතෝනි දෙද්දී මම තමයි ඒ සර්පයෝ එළවලා දාන්න ඉදිරිපත් වෙන්නේ.

හැබැයි මම එකම එක සතෙකුට විතරක් පුදුමාකාර විදිහට බයයි. කොටින්ම කිව්වොත් ඒ සතා ඈතින් හරි ඉන්නවා දැක්කොත් මට උන් හිටි තැන් පවා අමතක වෙනවා. දුර පළාතක ෂුටිං යන්න වුණාම මම
නිදන කාමරයට ගිහින් මුලින්ම කරන්නේ මේ සතා ඉන්නවද කියලා පරීක්ෂා කරන එකයි. නාන කාමරයට ගියත් මම විමසිල්ලෙන් තමයි ඉන්නේ.

මම මේ තරම් බයක් දක්වන නයාට ‍පොළඟටත් වඩා දරුණු සතා කවුද කියලා දැන් හැමෝටම කුතුහලයක් ඇති. ඒ තමයි කැර‍පොත්තා. බැරි වෙලාවත් කැර‍පොත්තෙක් මම ඉන්න තැනකට පියාඹාගෙන ආවොත් මට උන් හිටි තැන් අමතක වෙලා යනවා. ඒ වෙලාවට ඒ කැර‍පොත්තා ඉගිල්ලිලා යන්නේ මගේ මර ළතෝනියට බයවෙලා.

කැර‍පොත්තන්ට බයවෙලා මම ඇති කරපු කලබල ගැන ලියන්න ගියොත් නම් ඉතින් ‘රිද්ම’ පත්තරේ සති පතා ලිපි මාලාවක් ලියන්න වෙයි. ඒ සිදුවීම් අතරින් මම තදින්ම මතක සිද්ධි දෙක තුනක් තියෙනවා. මේ ඉන් එක සිදුවීමක්.

මේ සිද්ධිය සිදුවන කා‍ලේ අපි පදිංචි වෙලා සිටියේ මොරටුව සොයිසා ෆ්ලැට්වල. ඒ දවස්වල මගේ සැමියා රහල් බන්ධනාගාර නිලධාරියෙක් විදියට රැකියාව කළා. මම ගෙදර ඉන්න වෙලාවට ලැබෙන විවේකය යොදවන්නේ ගේ අස්පස් කරන්නයි. මොකද ගේ දොර ලස්සනට තියාගන්න එක තමයි මගේ ලොකුම ආශාව. ඔන්න ඉතින් මේ සිද්ධිය වෙන දවසෙත් මම දවල්ට කාලා බිලා ටිකක් විවේකීව ඉඳලා, සාලය අස්පස් කරන්න සූදානම් වුණා. දැන් ඔන්න මම සා‍ලේ අස් කරනවා. මේ වේලාවේ කොහෙදෝ ඉඳලා පියාඹාගෙන ආපු කැර‍පොත්තෙක් මම හිටපු තැන තිබුණු සැටියේ වැහුවා. මට උන් හිටි තැන් අමතක වුණා. අතට අහුවුණු හරියක තිබුණේ ලී වලින් හදපු විසිතුරු සැරසිල්ලක් විතරයි. මම ඒක අරගෙන අර කැර‍පොත්තාට දමලා ගැහුවා. කැර‍පොත්තා ඉගිලිලා ගියා. හැබැයි අර ලී සැරසිල්ල නම් කුඩේ කුඩු.

ඒ වෙලාවේ මගේ බයයි කේන්තියයි තවත් වැඩි වුණා. මොකද, කැර‍පොත්තා ඉගිලිලා ගිහින් වැහුවේ එතැන ටී ‍පෝවක් උඩ තියලා තිබුණු තවත් අපූරු ලී සැරසිල්ලකයි. මොකකින් හරි දමලා ගැහුවොත් ඒ ලී සැරසිල්ලටත් වෙන දේ දන්නා නිසා මම එතැන තිබුණු පත්තරයක් අරගෙන ඒ මේ අත වැනුවා. හැබැයි බැරි වෙලාවත් පත්තරේ වැදුනොත් අර ලී සැරසිල්ල බිම වැටිලා බිඳෙනවා. ඒ හින්දා බොහොම ප්‍රවේශමෙන් තමයි මම ඒ වැඩේ කළේ. ඒත් මේ හිතුවක්කාර කැර‍පොත්තා හිටි තැනින් හෙල්ලෙන්නේවත් නැහැ. මමත් නිකන් හිටියේ නැහැ. පත්තරේ ඒ මේ අත වන වනා අර කැර‍පොත්තට හොඳටම බණින්න පටන් ගත්තා. දන්නවනේ ඉතින් මම කෙනෙකුට බණින විදිය. ඒ වෙලාවට මගේ කටින් පිටවෙන වචනයි, ඒ වචනවල සද්දෙයි ඇති බැණුම් අහන කෙනාට ගම රට පවා අතෑරලා යන්න. ඒත් මොනවා කරන්නද? කැර‍පොත්තන්ට මගේ භාෂාව තේරෙන්නේ නැහැනේ. ඌ හිටපු විදියටම ඉන්නවා. මමත් දිගින් දිගටම බණිනවා.

දැන් ඉතින් වෙලාව 3.30ට විතර ඇති. රහල් ගෙදර එන වෙලාව. රහල් වැඩ ඇරිලා ගෙදර ආවා’ ගේ ඇතුළේ මහා ගාලගෝට්ටියක්.

“මං තොට යන්න නේද කිව්වේ පල යන්න.... යන්න කිව්වම පල....”

මම එහෙම කෑ ගහනවා ඇහෙද්දී රහල්ට මොනවා හිතෙන්න ඇතිද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. රහල් කඩාගෙන බිඳගෙන ගෙට දුවලා ආවා. එතකොට තමයි එයාට වැඩේ තේරුම් ගියේ. අනේ ඉතින් වැඩ ඇරිලා ගෙට ගොඩ වුණ මනුස්සයා ඊට පස්සේ ඇඳුම් මාරු කරන්නෙවත් නැතුව කළේ අර කැර‍පොත්තා එළවන එකයි.

ආරියවංශ කුලතිලක