යාතිකා කරන මුවාවෙන් 13 හැවිරිදි දැරිය බරපතල ලිංගික අපයෝයනය කළ කපුවා

සූරියවැව මහගල්වැව ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අතවර කළ කපුවකු මේ මස 30 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජේ.ඒ. නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පහළ දෙල්ගහහේන,
වියලගොඩ, ඇහැලියගොඩ පදිංචි 62 හැවිරිදි මාදැල ආරච්චිගේ ජයසේන නමැති කපුවෙක් බවයි කියන්නේ. ඔහු විවිධ ප්‍රදේශවල ඇවිද යමින් දේව යාතිකා කරන කපුවෙක් බවත් සදහන්.

පසුගිය 21 වැනි දින සැකකරු සූරියවැව මහගල්වැව ප්‍රදේශයේ නිවෙසකට පැමිණ තිබුණේ හිතවතකුගේ දැනුම් දීමකට අනුව එම නිවෙසේ සිටි 13 හැවිරිදි දැරියකට යාතිකාවක් කිරීමටයි. ඒ දැරියට හටගෙන තිබූ බඩේ රුදාවක් සඳහායි. කපුවා දැරියට සුදු රෙද්දක් අන්දවා බඩේ රුදාව සඳහා යාතිකා කිරීම ආරම්භ කර මඳ වෙලාවකින් පසු මවට හා පියාටද එම ස්ථානයෙන් ඉවත් වෙන ලෙස දන්වා තිබෙනවා. මඳ වේලාවකින් දැරියගේ මවුපියන් ගුරුකම් හා යාතිකාව සිදුවන අයුරු බැලීමේදී දැක ඇත්තේ කපුවා දැරියට ලිංගික අතවර කරන අයුරුයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ නිවැසියන් හා ගම්මුන් එක්ව කපුවාට බඩකට පිරෙන්න ගුටි පූජාවක් දී සූරියවැව පොලිසියට භාරදී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මවද සූරියවැව පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

අත්අඩංගුවට පත් කපුවා සූරියවැව පොලිසිය විසින් හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 30 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර දැරිය අධිකරණ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙසද නියෝග කර තිබෙන බවත් සදහන්.