බිරිඳ අරක්කු බොන්න එපා කීවාම කෘමිනාෂක බෝතලය කටට හලාගෙන සැමියා ජීවිතයට කරගත් අපරාධය

තදින් මත්පැන් බීමට ඇබ්බැහි වී සිටි සැමියාට සිය බිරිඳ විසින් කළ අවවාදයක් නිසා ජීවිතය ගැන කලකිරී ඔහු වස පානය කරගත් මියයාමේ පුවතක් ගලේවෙල පාළු හොම්බාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙසේ මියගොස් ඇත්තේ පලූ‍හොම්බාව පදිංචි එන්.ඩබ්ලිව්.කේ.අප්පුහාමි නමැති 60 හැවිරිදි තිදරු පියෙක්.

මේ පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය පසුගිය 20 වැනිදා දඹුල්ල මහ රෝහලේදී හදිසි මරණ පරීක්ෂක
ඞී.ඩබ්ලිව්.ජේ.බණ්ඩාර මහතා විසින් පවත්වන ලදී.

එහිදී සාක්ෂි දුන් මියගිය අයගේ බිරිඳ වන එම්.එච්.ලීලාවතී (58) නමැති අය මෙසේ පැවැසුවා.

”මියගොස් සිටින්නේ මගේ විවාහක සැමියාය. ඔහුට දාව මට දරුවන් තිදෙනෙක් ඉන්නවා. ඔවුන් සියලූ‍ දෙනා විවාහ වෙලා. සැමියා අවුරුදු 30ක පමණ කාලයක් තිස්සේ මත්පැන් පානයට තදින් ඇබ්බැහි වී සිටියා. පසුගිය 16 වැනිදා පෙරවරුවේ සැමියා මත්පැන් පානය කර නිදාගෙන සිටියා. එවිට මම කීවා දැන් ළමයි ලොකුයි. මත්පැන් බොන්න එපා. අරක්කු බීලා ඇඟටත් පණ නෑ. දැන්වත් ඕක අත්හරින්න කියා. එවිට ඔහු ඇදෙන් නැගිට ගොස් ළිප අසල එල්ලා තිබූ බටු වගාවට යෙදීමට ගෙනා කෘමිනාෂක බෝතලය කටට හලා ගත්තා. පසුව අපි ඔහු දඹුල්ල රෝහලට ඇතුළත් කළා. එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් තිබියදී පසුගිය 20 වැනිදා මිය ගියා. මත්පැන් නොබොන ලෙසට මම කළ අවවාදය නොරිස්සූ නිසා සැමියා වස පානය කරන්නට ඇතැයි සිතනවා.” මෙහිදී මියගිය අයගේ මාමාකෙනකු වන ඞී.එම්.රණසිංහ බණ්ඩා යන අය ද සාක්කි දුන්නේය.

දඹුල්ල අධිකරණ වෛද්‍ය නිලධාරී බී.එම්.ටී.බෝරුක්ගම මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදී.ඉදිරිපත් වූ සාක්ෂි අනුව මෙම මරණය වස පානය කිරීම හේතුවෙන් නියුමෝනියාව හා විෂබීජයක් ශරීර ගතවීමෙන් සිදුවූවක් බවයි හදිසි මරණ පරීක්ෂකවරයා නිගමනය කර ඇත්තේ.