හැම ප්‍රශ්නෙටම හඬා වැටෙන කාන්තාවන් නෑ - ශ්‍රීයානි අමරසේන

සරසවිය සිනමා සම්මාන උලෙළකදී ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන රණ තිසර සම්මානයන් මෙවර පිදුම් ලද එක් තාරකාවක් වූයේ ප්‍රවීණ සිනමා රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේනයි. සිංහල සිනමාවේ අහිංසකාවිය වූ ඇය පිළිබඳ අමුතුවෙන් අටුවා ටීකා කිව යුතු නොවේ. අඩ සියවසකට ආසන්න සිනමා දිවියේ ඇගේ මතකයන් සහ අත්දැකීම් පිළිබඳ යළි සිහිපත් කිරීමටත්, ඉදිරි අනාගතය සැලසුම් කර ඇති ආකාරය පිළිබඳවත් අපි මෙසේ විමසමු.

 අද තරුණියන් සියලු දෙනාම එක වගේ. මුහුණුවල වෙනසක් නැහැ. හැමෝම කොණ්ඩ ස්ට්‍රේට්න් කරලා. හැමෝම ඇහි බැම මුඩු කරලා ඊට පස්සේ අඳීනවා පොල්ලෙල්ලක් වගේ වෙන්න. ඔක්කොම මොඩ්
වෙලා කියලා හිතන්නේ.

රණතිසර සරසවිය සම්මානය හදවතට දැනුණේ කොහොමද?

ජීවිතේ එක් වරක් පමණක් ලැබෙන මේ සම්මානයට නිර්දේශ වෙලා කියලා දැනගත්ත වෙලාවේ මට පුදුම සතුටක් දැනුණා. මොකද මෙය බලාපොරොත්තු නොවූ අහම්බයක්. ඕනැම කලාකරුවකුට මෙය බොහොම වටිනවා. කලාකරුවන් ලෙස අපට ලැබෙන ඇගයීම් හරි සුහදයි, තෘප්තියක් ගෙනෙනවා. ඒවා රාක්කේ තියෙද්දි, මේ මේ කාලවල නේද ලැබුණේ කියලා හිතෙනකොට වෙන මොනවද අපි කලා ලෝකේ ලැබිය යුත්තේ කියලා හිතෙනවා. මොකද අපි මුදල් හම්බ කරන්න ඇති, ජනප්‍රිය වෙන්න ඇති, වෙනත් ඇගයීම්වලට ලක් වන්න ඇති, හොඳ චරිත ලබන්නත් ඇති. ඒත් මේ සියල්ල එකතු කර ලැබුණු දෙයක් තමයි රණ තිසර සම්මානය කියන්නේ. ඒ නිසා එය විශිෂ්ටයි.

එවන් සම්මානයක් ලබන නිළියක් වන්නත් ලේසියෙන් බැහැ?

ඇත්තටම මම චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසිලා දැන් වසර පනහකට ළං වනවා. මගේ කලා ජීවිතේ ඊට වැඩියි. පාසල් නාට්‍ය වේදිකාවට තමයි මුලින්ම සම්බන්ධ වුණේ. පස්සේ ප්‍රසිද්ධ වේදිකාවට. ඊළඟට තමයි චිත්‍රපටවලට සම්බන්ධ වුණේ. එහෙම බැලුවොත් මගේ කලා ජීවිතේට අවුරුදු පනහත් පැනලා.

සිනමාවට මුලින්ම සම්බන්ධ වුණු වේලාවේ සිනමාව ගැන මුකුත්ම දන්නෙත් නැහැ. කාච මොනවාද කියලා අවබෝධයකුත් නැ. වේදිකාවේ ලැබූ පලපුරුද්දෙන්, බොහෝ පොත පත කියවීමෙන්, ්උසස් ගණයේ චිත්‍රපට නැරඹීමෙන් වගේම ලෝකේ දක්ෂතම නළු නිළියන්ගේ චරිත කතා කියවීමෙන් තමයි සිනමා රංගනය අවබෝධ කර ගත්තේ. කල් ගත වෙනකොට වේශ නිරූපණය මගේ චරිතයට ගැළපෙනවාද, කැමරා කාචයට අනුව හැසිරෙන්නේ කොහොමද, චරිතය මට සුදුසුද වගේ හැම දෙයක්ම ඉගෙන ගත්තා. සිනමාව කියන්නේ කැමරාවක් ඉදිරියේ රඟපැම පමණක් නොවේ ඊට වඩා ලොකු පරාසයක තිබෙන, දැනුම් සම්භාරයක් තිබිය යුතු දෙයක් කියලා මට තේරුණා. එය පාසලේදී ඉගෙන ගන්නා දැනුම වගේ නෙවෙයි, හරිම වෙනස්. එදා ඉඳන් අද දක්වා ගමන දෙස හැරී බලනකොට වුණත් මට හිතෙන්නේ තවත් බොහෝ දේ ඉගෙන ගන්න තිබෙනවා කියලයි.

මොනවගේ දේවල්ද ඒ?

කලාවේ හැදියාව ගැන මට මුලින්ම කියලා දුන්නේ අමරෙ. (ආතර් යූ. අමරසේන). මම සිනමාවට එද්දි විවාහකයි. අමරෙ විසිතුර සිනමා පුවත්පතේ ප්‍රධාන කර්තෘ නිසා සිනමාවේ පුරෝගාමී බොහෝ නළු නිළියන්, නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂවරුන් සහ විවිධ කලාකරුවන් ඔහු සමඟ මිතුරුයි. ඒ නිසා සිනමාව කියන්නේ මොකක්ද, සිනමාවේ සිටිය යුත්තේ කෙසේද කියන දේ ඔහු මට කියා දුන්නා. ඒ පැහැදිලි කිරීමට සිනමාවේ ආකර්ෂණය වගේම වේදනාකාරී අත්දැකීම් ඇතුළත් වුණා. රූපගත කිරීම්වලදී අව්ව වැස්ස දිවා රැ, කැමක් බීමක් නැතුව ගෙවෙන කාල සටහන් ආදි සියල්ල අතරේ දිනපතා රැකියාවක් කරන කෙනකුට වඩා වෙනස් තෘප්තියක් ලැබීම තමයි අප සිනමාවට තවතවත් තල්ලු කරන්නේ.

විවාහක කාන්තාවක් සිනමාව වැනි ක්ෂේත්‍රයකට සම්බන්ධ වෙද්දි මොන වගේ වෙනසක්ද තිබෙන්නේ?

ඇත්තම කතාව නම් විවාහයට කලින් මම එයාර් සිලෝන් ආයතනයේ වටිනාකම ගැන කියන්න හැදූ වාර්තා චිත්‍රපටයක රඟපැවා. කැමරාකරණය කළේ සුමිත්ත අමරසිංහ. එදා මම ඒ කවුද කියලාවත් දැනගෙන හිටියේ නැ. ඒ චිත්‍රපටයේ මම කීර්ති කල්දේරා කියලා ඇත්තම ගුවන් නියමුවකුගේ ගර්ල් ‍ෆ්‍රෙන්ඩ්. මම එතකොට ඉස්කෝලේ යනවා. මුල්වරට ටිකක් දුර ප්ලේන් එකක යන්න, යානයක් ඇතුළෙ රූපගත කිරීම් කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ වැඩසටහන අනෙක් චිත්‍රපට සමඟ ලිබර්ටි ශාලාවේ පෙන්නුවා. ලෙස්ටර් මහත්තයා ඒකෙ දැකලා තමයි මට කතා කරලා කීවේ අපි රන්සළු කියලා චිත්‍රපටයක් කරනවා. ඒකට සම්බන්ධ වෙන්න කියලා. එතකොට මට දුව ඉනෝකා ලැබෙන්න ඉන්නවා. ඒ නිසා යන්න අවස්ථාව ලැබුණේ නැ. පස්සේ ගොළු හදවත පටන් ගත්තා. එතකොට ඉනෝකාට අවුරුදු එකහමාරක් විතර නිසා නිදහසකුත් තිබුණා. රඟපැම කියන එක මගේ ජීවිතේ මුල් බැහැගෙන තිබුණු ආශාවක්. ඒත් පවුලේ බැඳීම නිසා බල කළේ නැතත් අමරේ තේරුම් ගත්තා මගේ කැමැත්ත සහ හැකියාව ගැන. ඉතින් චිත්‍රපට දෙක තුනක් ආසාවට රඟපාලා නතර කරන්න හිටිය ගමන තමයි මේ අවුරුදු පනහක් තිස්සේත් අවසන් නොවී ගෙවෙන්නේ. ඒ බව මතක් වෙනකොටත් හිනා යනවා.

එහෙම නතර නොවෙන්න හේතුව?

එක දිගට චිත්‍රපට වැල නොකැඩී ගලාගෙන එද්දි මට රඟපැම නතර කරන්න බැරිව ගියා. තෝරා ගැනීමක් කළාට මම කැමතිම චරිත තමයි ලැබුණේ. දැස නිසා, අහසින් පොළොවට, රත්තරන් අම්මා, කල්‍යාණි ගංගා, මහගෙදර වගේ මුල් කාලේ මගේ කළුසුදු චිත්‍රපටවලින් මම රංගනයෙදි කොහොමද හැසිරෙන්න ඕනා කියලා ඉගෙන ගත්තා.

රංගනය කළා වුණාට ඔබට වෙනත් නිර්මාණශීලී හැකියාවන් තිබෙනවා?

ආ.. ඔව්. මට ටිකක් ලියන්න කියන්නත් පුළුවන්. ඉතින් ඔබේ සරසවිය පුවත්පතේමත් මගේ චිත්‍රකතා පළ වුණා 'ඔබ පමණයි මගේ පැතුම' කියලා. එකේ පින්තූරවලට පෙනී හිටියේ විජය කුමාරතුංග, සුවිනීතා වීරසිංහ වගේ අය. තවත් පුවත්පත්වලත් එහෙම කතා පළ වුණා

සිරි අය්යාගේ ළමා පිටියේ මම සින්දු කීවා. මම සංගීතය ගැන කිසිම හසරක් දන්නේ නැතිව. මට දැන් හිතෙනවා ඒ ගැනත් ටිකක් හැදැරුවා නම් හුඟක් වටීයි කියලා. දක්ෂතාවත් දියුණු කර ගන්න තිබුණා. මම ඇත්තටම එහෙම ගීත ගායනා කළේ ගායිකාවක් වෙන්න නෙවෙයි. ඒත් මට තිබුණු හීනයක් තමයි ඒකත්. මොකද සංගීතටත් මම බොහොම ආසයි.

ඔබ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළා, චිත්‍රපට නිෂ්පාදනය කළා, හැබැයි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා කියලා අහලා නැහැ?

හුඟක් අය අහනවා ඇයි අධ්‍යක්ෂණය කරන්නේ නැත්තේ කියලා. පළමුවැනිම හේතුව අධ්‍යක්ෂණයට වඩා මම කැමැති රංගනයට. රඟපැමෙන් ලැබෙන තෘප්තිය මට විශේෂයි. එය අධ්‍යක්ෂණයෙන් හෝ වෙනත් කිසිම දෙයකින් මට ලැබෙන එකක් නැහැ. එහෙම බැලුවම මට හිතෙනවා මම රංගනයෙන් සැහීමකට පත්වෙලා නැ කියලා. මොකද මට තාම රඟපැවා මදි. දෙවැනි කාරණයත් ඒ හා සමානයි. මට හොඳ චරිතයක් ලැබුණාම මම බයයි ඒ චරිතය හරියට කර ගන්න බැරිවෙයි කියලා, අධ්‍යක්ෂණයත් කරන්න ගියාම.

ඒත් සමහර අලුත් අයත් රඟපාමින් අධ්‍යක්ෂණය කරන්නේ?

ඔව්. ගාමිණි අය්යා (ගාමිණී ෆොන්සේකා) කළේ. ඔහු ඉතින් පරිපූර්ණ කෙනෙක්නේ. මම ටෙලි නාට්‍යවලට නම් රංගනයෙන් ඉවත්වෙලා අධ්‍යක්ෂණය කළා. ඒත් මට චිත්‍රපටයට නම් එහෙම කරන්න හිතෙන්නෙම නැ. මට ඒ දෙකෙන් එකක් තෝරගන්න කීවොත් මම අධ්‍යක්ෂණය අතහරලා රඟපැම බාරගන්නවා. හේතුව මම චිත්‍රපටවලට ගරුකරනවා.

ඔබ සැහීමකට පත් වන්නේ කෙබඳු චරිත රඟ පැ පසුවද?

මට ලැබෙන්නේ ඔක්කොම අහිංසක චරිතනෙ. ප්‍රේක්ෂකයොත් මට හැම තිස්සෙම කියන්නේ ඔයා අහිංසක චරිත රඟපාන්න ගැමි චරිත, රෙද්ද හැට්ට ඇඳලා. ඒකටත් මම ටිකක් ඇහුම්කන් දුන්නා අපට ප්‍රේක්ෂකයන්ගේ අදහසුත් වැදගත් නේ. ඒත් පස්සේ මහගෙදර, කුලගෙය, සරුංගලේ, විරාගය වගේ ඒවායේ චරිතය අහිංසකමත් නෙවේ. එදිනෙදා ප්‍රශ්න, අභියෝගවලට මුහුණ දෙන කාන්තාවන්ගේ චරිත. මොකද අද හැදම ප්‍රශ්නයටම අඬා වැටෙන කාන්තාවන් නැහැනේ. හිතේ ධෛර්යය ශක්තිය තිබෙන චරිත තමයි ඉදිරියෙදී එන්නත් ඕනේ. අසාධාරණේට විරුද්ධව නැගෙන චරිත මිසක් බොරුවට රණ්ඩුවෙන චරිතවලටත් මම කැමති නැහැ.

මම කැමතියි මානසික රෝගියකුගේ චරිතයක් කරන්න. ඒ වගේම පර්යේෂණවලින් ලෝකයට වැඩදායක වුණු කාන්තාවකගේ චරිතයකට.

මාරි කියුරි වගේද?

(සිනාසී) අහුවුණා නේද මගේ හිතේ තියෙන දේ...

මුහුණ අහිංසක නපුරු අය නැද්ද?

ඉන්නවා. ඉන්නවා. අම්මේ... මුහුණ ලස්සනට තිබුණට ඇතුළාන්තය යක්ෂයෝ යක්ෂණියො වගේ චරිත ඉන්නවා. මමත් ආසයි එහෙම චරිතයක් කරන්න. අපි ගොඩක් බටහිර චිත්‍රපට බලනවා. ඒවායේ හරි පෙනුමට ඉන්න චරිත තමයි අවසානයේ විග්‍රහ වෙද්දි අන්තිම දුෂ්ඨ නපුරුම චරිතය. ඒකත් එක්තරා විදිහක වෙනසක් නේද?

ඒ කියන්නේ ලංකාවේ නළු නිළියන් කොටුවන බවද?

ඔව්. අපේ රටේ හරියට එහෙම වෙනවා. මාව කවදාවත් දුෂ්ඨ නපුරු චරිතෙකට ගන්නේ නැ. ඔන්න සෙලිනාගේ වලව්වේ නම් මම ටිකක් සැරයි. මොකද ඒකේ මාලිනීයි මමයි අක්කයි නංගියි. පැල්පතක ඉන්නේ. කැම බීම බෙදාගන්න බැරුවයි රණ්ඩු වෙන්නෙ. ඒ චරිතෙට මම හරි ආසයි. මොකද වෙනස්. ඒත් අපේ සිනමාවේ නළුනිළියන් හරියට එකම විධියේ චරිතෙට කොටු වෙනවා. ඒ නළුවාට හෝ නිළියට වෙනස් දෙයක් දෙන්න හිතන්නෙත් නැ. අත්හදාබැලීමක් කරන්නත් අදහසක්වත්, කැමැත්තක්වත් නැ.

හේතුව?

අද වෙද්දි ඉන්දීය සිනමාව බොහෝ ඉදිරියට ගියාට, අපේ අය පරණ හින්දි සිනමා රාමුවේ කොටු වෙලා. තරමක් අත්හදාබැලීම් කරනවා තරුණ අයනම්.

ඔබ උත්සාහ කළේ නැද්ද වෙනසකට යන්න?

එහෙම හිතලා තමයි මම 'පාද යාත්‍රා' කළේ. මම සම නිෂ්පාදනය, අධ්‍යක්ෂණය ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු. මේ චිත්‍රපටයේ තරුණිය තරුණ කාලෙදිම දූෂණයට ලක්වෙනවා. ඒ නිසාම ඇය කාන්තා අයිතීන් වෙනුවෙන් සටන් කරන්න පටන් ගන්නවා. පසු කාලීනව බොහෝම ධනවත් වන ඇය අසරණ වුණු තරුණියන් වෙනුවෙන් සේවය කරනවා. ඇය පසු බසින්නේ, කඩා වැටෙන්නේ නැතිව ජීවිතයට මුහුණ දෙනවා. කාන්තාවන්ට අතවර කරන පිරිමින්ට ඇය බොහොම දඬුවම් කරනවා.

රංගන පාසලක් වගේ තිබුණා නම් හොඳ වෙයිද?

අනිවාර්යයෙන්ම මැත යුගයේ චරිතවල හරි හිඟයක් තිබෙනවා. රංගන පාසලක් තිබුණා නම් මේ තත්ත්වය වෙනස් වෙන්න තිබුණා. මම එකක් කියන්න ඕනා. අද තරුණියන් සියලු දෙනාම එක වගේ. මුහුණුවල වෙනසක් නැහැ. හැමෝම කොණ්ඩ ස්ට්‍රේට්න් කරලා. හැමෝම ඇහි බැම මුඩු කරලා ඊට පස්සේ අඳීනවා පොල්ලෙල්ලක් වගේ වෙන්න. ඔක්කොම මොඩ් වෙලා කියලා හිතන්නේ. ඉතින් රංගන පාසලක අවශ්‍යතාව තිබෙන්නේ රංගනයට අමතරව මේ දේවල් පවා උගන්වන නිසා. හැදියාව, හැකියාව, විනය, වෙලාවට වැඩ කිරීම, චරිතයට සාධාරණය ඉටු කිරීම, අන් අයට කරදර නොකර ඉඳීම මේ සියල්ල උගන්වනවා. අද බොහෝ දේවල් අවරට ගිහින් තිබෙන්නෙත් මේ අඩු පාඩු නිසානේ. මෙය ඇත්තෙන්ම සිදු කළ යුත්තේ රජයෙන්. මොකද පෞද්ගලික රංගන පාසල් කියලා කරන ඒවායින් සහතිකයකුත් දෙනවා, ඒත් සල්ලි අරන් ළමයි අමාරුවේ දානවා. හේවුඩ් වගේ එකක් රංගනයටත් තිබුණා නම් හොඳ යි.

වසර පනහක් සිනමා ජීවිතයට පිරෙද්දී මේ තරම් සුන්දරව, කාර්ය ශූරව ඉන්න රහස?

අපේ ජීවිතේත් ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වුණා. තරණය චිත්‍රපටය කරලා මම චිත්‍රපට සංස්ථාවට ණය වුණා, මගේ දේපළ උකස් කළා, බැංකුවලට ණය වුණා, ගෙවල් විකුණන්න වුණා. ඒ චිත්‍රපටය දෙස් විදෙස් සම්මාන උලෙළ නියෝජනය කළා, සම්මාන ගත්තා, මම හොඳම නිළිය වුණා. ඒත් ශත පහකවත් ආර්ථික වාසියක් මට ලැබුණේ නැහැ. හැබැයි මට තෘප්තියක් ලැබුණා. ඒත් ඒ අවස්ථාවේ මම කඩා වැටුණු තරමට වෙන කෙනකු නම් පුදුම විදිහට ජීවිතේ පසු බහිනවා. ඒ සියල්ලට මම මුහුණ දුන්නේ අපේ බුදු දහම නිසා. සතර සතිපට්ඨානය, අභිධර්මය, මධ්‍යම ප්‍රතිපදාව අපේ ජීවිතයට කොයි තරම් ගැළපෙනවාද යන්න මම පසක් කර ගත්තා ඒ අවස්ථාවලදී. අර ලොකූ ප්‍රශ්න අයිස්ක්‍රීම් වගේ දිය වෙලා යනවා අපි ධර්මාවබෝධයෙන් ආත්ම ශක්තිය පෙරදැරි කරගෙන ඉන්නකොට.

මම හොඳ චරිත රඟ පෑ කාලේ සම්මාන උලෙළ පැවැත්වුණේ නැහැ. සම්මාන උලෙළ තියෙන කාලේ මට හොඳ චරිත ලැබුණේ නැහැ. මට හොඳ චරිතවලට ඇගයීමක් වුණේ නැහැ. හැමෝම ඇවිත් අහනවා ඔයාට සම්මාන නැත්තේ ඇයි කියලා. ඒත් මට ඒකේ ගාණක් නැහැ. මගේ චරිතේ අනික් නිළියක් ගත්තා කියලා මට තරහක් එන්නේ නැ. මොකද මට හිත හදාගන්න පුළුවන්. මම මැදුම් පිළිවෙතේ ඉන්න නිසා. ගෙදර වුණත් අසීමිත සැප සම්පත් මම බලාපොරොත්තු වුණේ නැහැ.

ඒකට හේතුව මගේ අම්මා මට ඉතිරි කරන්න පුරුදු කළා. මට මතකයි නරිබැනා නාට්‍යයේ රඟපාලා තමයි මම මුල්ම පඩිය ගත්තේ. රුපියල් 15ක්. අම්මේ ඒ කාලේ ඒක හරි ලොකු මුදලක්. අම්මා කීවා අපි පාස් පොතක් අරන් සල්ලි පොතේ දාමු කියලා. අම්මලා දරුවන් පුරුදු කරන්න ඕනා කියන්නේ ඒකයි. මට අදටත් බැංකු ගිණුමට මුදල් දාද්දි ඒ උපදෙස මතක් වෙනවා. අද අපේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනා අතර ඒ සකසුරුවම නැහැ. හම්බෙන හැම දේම අනවශ්‍ය දේවලට යොදවනවා. අතේ සල්ලි නැහැ. හදිසියට කාටවත් උදව්වක්වත් කරන්න බැහැ. පස්සේ ක්‍රෙඩිට් කාඩ් පිහිට තමයි. ඒ දේවල්වලිනුත් මම ජීවිතේ අත් වින්දා.

එකම හේතුව ඒකද?

නැහැ. සරල ජීවිතේට අමතරව ව්‍යායාම සහ ආහාර ගැනත් අපි හිතන්න ඕනා. අපේ ගෙදර නම් තෙල් මිරිස් අනවශ්‍ය සෝස් ජාති පාව්චි කරන්නේ නැහැ. අහිංසක සතුන්ගේ මස්වර්ග තියා ඒ සතුන්ගේ ලෝම කබාවත් මම පාවිච්චි කරන්නේ නැහැ. අනෙක වෝටර් තෙරපි කරනවා. මගේ මුහුණ ගැන කතා වුණ හින්දා කියන්නේ මම මුහුණට සරල ව්‍යයාම කරන නිසාත් නිතරම වේශ නිරූපනය නොකර ඉඳීමත් මුහුණේ සමට පේශිවලට හොඳයි. නිතරම මේකප්වලින් යැපෙන්න ගියොත් ස්වභාවික විදිහට සමාජයට මුහුණ දෙන්න බැරුව යනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. අනෙක අප තේරුම් ගත යුතුම දෙයක් තමයි මේ ලෝකේ ස්වභාවය කියන දේ. චිත්‍රපට, රංගනය කියන්නේ හරිම සුන්දර ලෞකික දේවල්. ඒවායේ කොහොම යෙදී සිටියත් අපි තේරුම් ගන්න ඕනා කවදා හරි අපට ඒ සියල්ල දාලා යන්න වනවා කියලා. ඒ නිසා හැමදාම ඉන්න ආවා වගේ අනෙක් කෙනාව කපා කොටාගෙන යන්න හිතන්න හොඳ නැ.

ගුවන්විදුලිය, වේදිකාව, චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කියන මාධ්‍ය හතරමත්, මුද්‍රිත මාධ්‍යයත් ඔබ නියෝජනය කළා, අදටත් කටයුතුවල යෙදෙනවා?

මේ ක්ෂේත්‍ර හතරේම සිටීමෙන් ලද දැනුම හරිම වටිනවා. පරිනතයි කියනවා නෙමෙයි මම. ඒත් මම වාසනාවන්තයි කියලා හිතෙනවා. අපේ කලා ජීවිතයට මේ ක්ෂේත්‍ර සියල්ලට සම්බන්ධ වීම හරි වටිනවා. දිනෙන් දින වැඩිදියුණු වන තාක්ෂණය, මාධ්‍යවල සිදුවන වෙනස්වීම් මේ සියල්ල අපේ ජීවිතයට අත්දැකීම් ලබා දෙනවා. අපේ කටයුතුවලදී ඒ දැනුම අවබෝධය යොදාගෙන වඩාත් හොඳ නිර්මාණ කරන්න එය වැදගත්.

විවාහයෙන් පසු සිනමාවට ආ නිසා විවාහ ජීවිතයටත් අඩසියවසකට වැඩි විය යුතුයි?

අපි දෙන්නගේ ජීවිතවල, රුචිකත්වයේ විශාල සමානත්වයක් තිබෙනවා. මම පොඩි කාලේ ඉඳන්ම පොත් කියවන්න, ලියන්න ආසයි. මට මගේම පුස්තකාලයකුත් තිබුණා. පාඩම් නොකර කතා පොත් කියව කියව ඉඳලා අම්මගෙන් බැණුම් අහනවා විතරක් නෙවෙයි ගුටිත් කාලා තියෙනවා. ඊට පස්සේ විවාහ වෙලා අමරේ අපේ ගෙදර එනකොට එයත් ගෙනාවේ මොනවද? පොත් පෙට්ටි තොගයක්. දැන් අපේ ගෙදර පොත් රාක්ක ගොඩායි. ඒ වගේම අමරේ මම වගේම කලාවට ආදරෙයි. විවාහ වෙන්න කලින් අපි අවුරුද්දක් එකහමාරක් විතර ආශ්‍රය කළා. ඒ කාලේ අමරේ හැම සති අන්තෙක වගේම මාව එක්කං යනවා චිත්‍රපටයක් බලන්න. ඒ කාලේ හොඳ ඉංග්‍රීසි චිත්‍රපට ලංකාවට ආවා. මට මතකයි සොෆියා ලොරේන්, මාසෙලෝ මස්ට්‍රොයින්, යූල් බ්‍රයිනර්, එලිසබත් ටේලර් වගේ නළු නිළියන්ගේ චිත්‍රපට බලලා මම පුදුම විදිහට දේවල් ඉගෙන ගත්තා. ඒ දවස්වල අපි චිත්‍රපට බලන්න ගියාම මට මතකයි ජෝ අය්යයි (ජෝ අබේවික්‍රම), ඇන්ටන් අය්යයි (ඇන්ටන් අල්විස්) එනවා. අමරෙගෙන් අහනවා ආ... උඹලත් අද ආවද? කියලා.

ඒත් නිළියක් වුණාම ඒ සරල ජීවිතේ වෙනස් වන්න ඇති?

ම්... මුල් කාලේ නම් මම හරි කාර්ය බහුල වුණා. එතකොට සති ගණන් ගෙදර නැ. මගේ අම්මා තාත්තා තමයි මගේ පිහිටට හිටියේ. ඔවුන් නිසා ගෙදර හැල හැප්පීම් අඩු වුණා. අනෙක අමරෙ හොඳටම චිත්‍රපට ක්ෂේත්‍රය ගැන දන්නවා. ඒ වගේම මගේ වෘත්තියට එයා බොහොම කැමති නිසා උපරිම සහයෝගය දුන්නා. ඒකත් එක්තරා වාසනාවක්.

එහෙම නොවුණානම් අද මට මෙතැන ඉන්න බැරි වෙන්නත් තිබුණා. මොකද රංගනය කියන්නේ භාවනාවක් වගේ සිත නිරවුල්ව තිබිය යුතු දෙයක්. ඒ නිදහස ගෙදරින් ලැබීම චරිත නිරූපණයේදී මට ලොකු පහසුවක් වුණා.

සමහර විට බිරිඳ සහ සැමියා දෙදෙනාම දක්ෂ වීම ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?

මධ්‍යස්ථව හිතන්න ඕන කියන්නේ ඒකයි. නිර්මාණාත්මක බවින් දක්ෂ වුණාට මදි. අපි ජීවිතේ කොටස්වලට බෙදා ගන්නවානේ ටිකක් දැනුම් තේරුම් වෙනකොට. පවුල් ජීවිතය සහ වෘත්තිය ජීවිතය සමබර කරගන්න හිතන්න ඕනා. අනෙක තමන් විශේෂ නොවන්න ඕනා. මම හරිම දක්ෂයි, මට වඩා කෙනෙක් නැ, කියන 'පොරත්වයෙන්' හිතන්න ගත්තොත් ටික කාලයයි යන්න පුළුවන්. ගෙදරත් රැකියාවත් දෙකම අවුල් වෙනවා. අනෙක රඟපාලා ගෙදර ආවාට පස්සේ ඉතින් මම නිළියක් නෙවෙයි බිරිඳක්, දුවක් සහ මවක්. මගේ දෙමව්පියන්ගෙන් මට සහාය ලැබුණා වුණත් මට පුළුවන් හැම වෙලාවෙම මම ගෙදර වැඩ ටික උපරිමයෙන් කරනවා. තමන් ගැන අධිතක්සේරුව හොඳ නැහැ.

අදටත් ඔබ කාර්ය බහුලද?

නැහැ. දැන් මගේ ජීවිතේ තරමක් සන්සුන්ව නිහඬව ගලා යන්නෙ. ඒක ඉබේම තමන්ගේ හිතට එන දෙයක්. මම හැම චරිතයක්ම බාර ගන්නෙත් නැ. චිත්‍රපට නම් කොහොම හරි රඟපානවා මම ඒකට ආසාම නිසා. ඒත් අපි මුහුකුරා යද්දි ජීවිතේ සැළසුම් කර ගන්නවානේ. මේ වෙද්දි මම චිත්‍රපට 110ක රඟපාලා තිබෙනවා. ටෙලි නාට්‍ය තිහකට වැඩියි. වේදිකා නාට්‍ය 10ක් විතර කළා. ඉතින් පුන පුනා ඒවාට යන්න මම කැමති නැහැ. හොඳ නිෂ්පාදනයක් නම් හොඳ චරිතයක් නම් විතරයි මම කරන්නේ.

මොනවද ඉදිරි සැලසුම්?

පටන්ගත් තැනට ආයෙත් යන්න. හොඳ වේදිකා නාට්‍යයක හොඳ චරිතයක් කරන්න. කාලයක් වේදිකා නාට්‍යය හාස්‍යයටම බර වී තිබුණා තමයි. ඒවා එහෙම තිබෙද්දි මනමේ, සිංහබාහු, නරිබැනා වගේ නාට්‍ය ගැන තාමත් කතා වෙනවානේ. ඉතින් මේ දිනවල හොඳ පිටපත් හොයනවා මම ම නිෂ්පාදනය කරන්න කියලා. වේදිකාවේදී නම් ඉතා හොඳ චරිතයක් වෙන්න ඕනා. නරිබැනා, හිතහොඳ අම්මණ්ඩි, වෙස් මුහුණු, කුස පබාවතී වගේ චරිත මම කළ නිසා ඊට වඩා ප්‍රබල චරිතයක් වෙන්න ඕනා. එහෙම නැත්නම් වැඩක් නැ ඒ ගමනින්. ඒ වගේම ඔබ මුලින් කියූ චිත්‍රපට අධ්‍යක්ෂණ යෝජනාවත් මතු යම් දවසක ඉටු වෙයි.


gossip lanka