ක්‍රිකට් ක්‍රීඩකයෝ වත්කම් හෙළිකිරීමට සැරසෙති ක්‍රීඩා සමාජ නිලධාරීන්ට හා ක්‍රීඩකයන්ටත් වත්කම් හෙළිකරන්නැයි යෝජනාවක්

ජාත්‍යන්තර මට්ටමෙන් ගත් කල ක්‍රිකට් තරග මුදලට පාවාදීම සම්බන්ධයෙන් වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ගේද නම් කියැවෙන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලුම සාමාජිකයන් තම වත්කම් හෙළිකිරීමට කැමැත්ත පළකර ඇති බව වාර්තා වේ. පසුගිය සිකුරාදා (2දා) ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාද මේ බව තහවුරු කළ අතර ඊට අදාළ නව නීති කෙටුම්පත්
කඩිනමින් සම්පාදනය කරමින් සිටින බවද අමාත්‍යවරයා තවදුරටත් පැවැසීය.

අනෙකුත් ක්‍රීඩාවන්ට අදාළ ක්‍රීඩකයන්ගේ මෙන්ම ක්‍රීඩා සමාජ නිලධාරීන්ගේද වත්කම් පරීක්ෂා කිරීමේ යෝජනාවක් තමන් විසින් ගෙන එනු ලබන බවද එහිදී ප්‍රකාශ කළ අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් 63න් වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයන් සහ නිලධාරීන් වෙත මෙම යෝජනාව ගෙන ඒමත් සමඟ ඔවුන් ඊට ඒකමතිකව කැමැත්ත පළකළ බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා "අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් සිය වත්කම් හෙළි කිරීමට එකඟවීම ඉතාම ප්‍රගතිශීලී පියවරක්. මේක ලෝකයේ වෙනත් රටවල ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආදර්ශයක්. මේ සම්බන්ධයෙන් ඔවුන්ට කිසිදු නෛතික අවශ්‍යතාවක් නැහැ. නමුත් තරග පාවාදීම් සම්බන්ධයෙන් රටේ නොයෙකුත් කටකතා පැතිරී යන නිසා ඒ සම්බන්ධව ක්‍රීඩකයන් දැඩි පීඩනයකට ලක්ව සිටිනවා. ඒ වගේම අපි නෛතික සංශෝධනයක් ගෙනැල්ලා රට නියෝජනය කරන ක්‍රීඩකයන් සහ ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට වසරක වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීමේ නෛතික රාමුවක් ඇති කළා නම් එය ක්‍රීඩාවට සුබදායී කරුණක් වේවි" යනුවෙන් පැවැසීය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) දූෂණ විමර්ශන ඒකකය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ පුද්ගලයන් තරග පාවාදීම් රාශියකට සම්බන්ධ බවට අනතුරු ඇඟවීම හේතුවෙන් ඇමැතිවරයා මෙම තීරණය ගෙන තිබේ. එහෙත් ශ්‍රී ලංකාවේ කිසිදු නිලධාරියකු හෝ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයකු තරග පාවාදී ඇති බවට අයි.සී.සී.ය ස්ථීර වශයෙන් මෙතෙක් සඳහන් කර නොමැත.


gossip lanka