ටෙලි නාට්‍ය කලාවෙන් මම දැන් ඈත් වෙලා ඉන්නේ – සේමිණි ඉද්දමල්ගොඩ

සේමිණී ඉද්දමල්ගොඩ කියන්නේ ජනප්‍රිය දක්ෂ ආකර්ෂණීය නිළියක්. රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් සහ 28 වැනි චිත්‍රපට තුළින් වගේම ඉරබටු තරුව, ස්වයංජාත, ඉතින් මට අවසරයි වැනි ටෙලි නාට්‍ය රැසකින් ඇය ප්‍රේක්ෂක හදවත් ආකර්ෂණය කරගනු ලැබුවා.


කලා කටයුතුවලින් ‍පොඩ්ඩක් විතර බැහැර වෙලා වගේ දැනෙනවා නේද?

ක්ෂේත්‍රයේ වැඩ කරපු කා‍ලේ වුණත් මම ගොඩක් වැඩ භාර අරගෙන කාර්යබහුල වුණ කෙනෙක් ‍නෙවෙයි. තෝරාබේරගෙන වැඩ ටිකක් කළා. ඒත් පැත්තකට වෙලා හිටියා කිව්වත් වැරදි නැහැ. දැන් නම් චිත්‍රපටවලට විතරක්ම සම්බන්ධ වෙන තරමට ටෙලි නාට්‍ය කලාවෙන් ඈත් වෙලා ඉන්නේ.

ඇයි ටෙලි නාට්‍ය කලාවෙන් ඈත් වෙන්නෙ?
ටෙලි නාට්‍යවලට කාලය වැඩිපුර යොදන්න වෙලා තියෙනවා. වැඩිපුර හැදෙන්නේ මෙගා ටෙලි නාට්‍යයයි. මෙගා රැල්ලට මම ටිකක් අකැමැතියි. ඒවායින් ඈත් වුණහම නිකම්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් ඈත් වුණා වගේ දැනුණා.

අනික තමයි මගේ දුව දැන් තරුණ දරුවෙක් නිසා එයත් එක්කම මම ඉන්න ඕන කියලා තීරණයක් අරගත්තා. ගෙවීම් පිළිබඳ ප්‍රශ්නත් මේ ක්ෂේත්‍රයේ හරියට තියෙනවා. ඔය හැම හේතුවක්ම මේ ඈත්වීමට බලපානන් ඇති.

කලාවෙන් ටිකක් ඈත් වෙනකොට ප්‍රේක්ෂක ආකර්ෂණයක් අඩු වෙලාද?
කොහෙත්ම නැහැ. මම කවදාවත් ගොඩ වැඩි කර ගන්න වැඩ කරපු කෙනෙක් ‍නෙවෙයි. හැමදාම කලාවේ බාහිර වැඩකටයුතුත් කලා මිතුරු මිතුරියන්ගේ වැඩකටයුතුවලත් මම ඉන්නවා. ඒ වගේම ප්‍රේක්ෂකයෝ එක්කත් මම ඉන්නවා. මම රඟපාපු හොඳ නිර්මාණවල මම රඟපෑවා. ඒ චරිත තාමත් ප්‍රේක්ෂකයන්ගේ හදවතේ තිබෙන බව දැනෙනවා.
මගතොටදී වුණත් මට ලැබෙන ප්‍රතිචාරවලින් මට ඒක දැනෙනවා. රූපවාහිනියේ මාව දැක්කේ නැති වුණත් මම රඟපාපු චරිතවල නම්වලින් ප්‍රේක්ෂකයෝ මාව අමතන කොට මට හරිම සතුටක් දැනෙනවා.

රෝෂිණි මැඩම්, පුණ්ණි, ‍පොඩි හාමිනේ වගේ නම් ප්‍රේක්ෂකයන්ගෙන් ඇහෙන කොට තමයි තේරෙන්නේ මම රඟපාපු චරිත මිනිස්සු කොයි තරම් ආකර්ෂණය කරගෙන තියෙනවාද කියන දේ.

අලුතින්ම මතක හිටින චරිතයක් ලැබුණොත් භාර ගන්නවාද?
ඇත්තටම ඔව්. මට ගැළපෙනවා නම් මම චරිත භාර ගන්නවා. මේ දවස්වලත් තේජ ඉද්දමල්ගොඩගේ අලුත්ම චිත්‍රපටයක රඟපානවා. බොහොම දරුණු ගැහැනියකගේ චරිතයක් එහි මම රඟපානවා. ඒ චරිතයත් ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙන වෙනස්ම චරිතයක් වේවි.

චිත්‍රපට ක්ෂේත්‍රයේ පවතින අර්බුදකාරී වටපිටාවත් එක්ක ප්‍රවීණ දක්ෂ නිළියක් විදිහට කොහොමද තමන්ගේ පැවැත්ම රැක ගන්නේ?
හැමදාම චිත්‍රපට නිපදවීම පිළිබඳ ප්‍රශ්න තිබුණා. මම කියන්නේ චිත්‍රපට ගොඩක රඟපාපු කෙනෙක් ‍නෙවෙයි. අතේ ඇඟිලි ගණනක තරම් අඩු චිත්‍රපට ප්‍රමාණයක තමයි මම රඟපාලා තියෙන්නේ. හැබැයි අපේ රටේ හැටියට හොඳ නිර්මාණ විශාල ප්‍රමාණයක් ලංකාවේ කෙරෙනවා.

චිත්‍රපට අඩුයි කියන දේ හැඟෙන්නේ සහ චිත්‍රපට ශාලා හිස් වෙන්නේ ප්‍රේක්ෂකයින් වැඩිපුර රූපවාහිනියට යොමු වෙලා නිසයි. මේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක වියදමක් නැතුව රූපවාහිනියෙන් ඔවුන්ට රසවින්දනයක් ලබාගත හැකියි. එහෙම නැතුව චිත්‍රපට හැදෙනවා අඩු වෙලා නැහැ.

පවතින වාතාවරණය තුළ ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉදිරිය පිළිබඳව දකින්නේ කොහොමද?
දැන් කලා ක්ෂේත්‍රයේ හැම පැත්තෙන්ම ඒ කියන්නේ රංගනය, අධ්‍යක්ෂණය සහ කාර්මික ශිල්පීන්ගේ පටන් ඉතා දක්ෂ පිරිසක් අද බිහි වෙලා ඉන්නවා.

හැබැයි රටේ තියෙන ආර්ථික සහ දේශපාලන තත්ත්වය හැම ක්ෂේත්‍රයටම බලපාලා තියෙනවා. ඒ නිසා හොඳ නිර්මාණ බිහිවීමේ අඩුවක් වෙන්න පුළුවන්.

ඔබ ලස්සන දුවකුගේ අම්මා කෙනෙක්නේ. දුවවත් මේ ක්ෂේත්‍රයට යොමු කරන්න අදහසක් නැද්ද?
කොහෙත්ම නැහැ. මගේ දුව කවදාවත් මේ ක්ෂේත්‍රයට එන එකක් ැහැ. මමත් ඒකට කැමැති නැහැ. එයා මේ දවස්වල හොඳින් අධ්‍යාපනය හදාරමින් ඉන්නවා. එයා එයාට කැමැති වෙනත් ක්ෂේත්‍රයකින් ඉදිරියට යාවි.

කොහොමද ස්වාමියා සහ දුවත් එක්ක ගෙවන ජීවිතේ?
මම හැමදාම මගේ පවුලට මූලිකත්වය දුන්න කෙනෙක්. ගෙදර වැඩකටයුතු සැමියාගේ දුවගේ වැඩකටයුතු හැම දෙයක්ම මම කරනවා. හෙට අනිද්දට අපි විවාහ වෙලා අවුරුදු 24ක් වෙනවා. අදත් හෙටත් අපි බොහොම සතුටින් සමාදානයෙන් ආදරෙන් ජීවත් වෙනවා.

නෙරංජලා වික්‍රමසිංහ