පාසල් පෙම්වතිය හැරගිය තරහට ටිපර් පෙම්වතා පෙම්වතියගේ මිතුරන්ට කල අපරාධය

ටිපර් රථ හිමිකරුවකුගේ සහ ඔහුගේ බාල වයස්කාර පෙම්වතියකගේ ආදරයට හරස්වූවා යැයි සැක සිතා, ටිපර් රථ හිමිකරු ඇතුළු මැර පිරිසක් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ කනිටු පාසලක සිසුන් 15 දෙනකුට පසුගියදා (22දා) සවස අමානුෂික ලෙස පහරදී ඇති බව පොලිසිය කියයි. පහරකෑමට ලක් වූ සිසුන් තිදෙනකු දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට
ඇතුළත් කර ඇත.

සිරිපුර පොලිස් බල ප්‍රදේශයේ පදිංචි මෙම ටිපර් රථ හිමිකරු මෙම පාසලේ 11 ශේ‍ර්ණියේ සිසුවියක සමඟ කාලයක් ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බැව් මෙම පාසලේ දරුවෝ පවසති. දඟරයා නමින් හඳුන්වන මේ ටිපර් රථ හිමිකරු ගංජා සහ කසිප්පු පානය කරන බව පවසා පෙම්වතිය ඔහු මඟහැර ඇති බව අනාවරණය වෙයි.

ප්‍රේම සම්බන්ධතාවට බාධක වූයේ මෙම සිසුවියගේම පන්තියේ ඉගෙනුම ලබන සිසුන් යැයි සැක සිතූ දඟරයා ඇතුළු මෙම පිරිස 11 ශේ‍ර්ණියේ පිරිමි ළමයින් 15 දෙනකුට පහරදී ඇති බව පහරකෑමට ලක්වූ සිසුවෝ පවසති. පහරකෑමට ලක්වී බරපතළ තත්ත්වයේ පසුවූ තිදෙනකු මේ වනවිට රෝහල් ගත කර ඇත.

මෙසේ පහරකෑමට ලක්වූ පාසල් සිසුහු මෙසේ අදහස් දැක්වූහ.

අපි මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ඒ සඳහා විදුහලේදීම අපිට අමතර පන්ති පැවැත්වෙනවා. සිද්ධිය වූ දා (22දා) හවස අමතර පන්ති අවසන් වෙලා පාසලෙන් එළියට එනකොට ගේට්ටුව ළඟ හිටිය සුපුන් සහ දඟරයා කියන අය ඇවිත් පොලුවලින් අපිට ගැහුවා. ඒ වෙලාවේ සෙනඟ විශාල පිරිසක් පාරේ හිටියා. කිසි කෙනකු අප බේරාගන්න ආවේ නැහැ.

විකට් පොලු, ෆයිබර් පොලු සහ යකඩ පොලුවලින් ඒ අය අපිට ගැහුවා. අපිට ගහන්න හතර දෙනෙක් ඇවිත් හිටියා. දෙන්නෙක් කැබ් එකට වෙලා හිටියා. මේ මැර කණ්ඩායම අපිට ගහන්න මීට කලිනුත් කීප විටක් ආවා. අපි පාසල් ඇඳුමින් හිටිය නිසා ගහන්නෙ නැහැ කියා යන්න ගියා. දඟරයා කියන කෙනා අපේ පන්තියේ ගෑනු ළමයකු එක්ක යාළුවෙලා ඉඳලා. දැන් ඇය සම්බන්ධය නතර කරලා. දඟරයා කියනවා අපි ඒ ළමයට කේලම් කිව්වා කියලා.

නමුත් අපි කවදාවත් දඟරයා ගංජා බොනවා කියලා ඒ ළමයට කිව්වේ නැහැ. මෙම මැර කණ්ඩායම අපිට කිව්වා ටිපර් එකට අපිව යටකරලා මරණවා කියලා. මේක මෙතැනින් අවසාන වන්නේ නැහැ කිව්වා. සිරිපුර පොලිසිය ඉස්සරහට අපිව අරන් ගිහින් වෙඩි තියලා මරණවා කියලා තර්ජනය කළා. ඊට පස්සේ ඒ අය කැබ් එකෙන් පලා ගියා. දඟරයා මීට කලින් ඒ ටිපර් එකට සහ කේ.ඩී.එච්. වෑන් එකකට තුන් දෙනකු යටකරලා තිබෙනවා. ඒ නිසා දැන් අපිත් බයෙන් ඉන්නේ. අපිට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

මෙම පහරකෑමට ලක්වූ සිසුවකුගේ පියකු වන සිරිපුර, රත්මල්කඳුර පදිංචි නිමල් කරුණාතිලක මහතා මෙසේ පැවැසීය.

අපේ දරුවන්ට ගහලා තියෙන්නේ වැඩිහිටි සල්ලිකාර මදාවියෝ පිරිසක්. ගුටි කෑව එක් පාසල් දරුවකුගේ තාත්තා වකුගඩු අමාරුවෙන් මියගිහින්. අනෙක් දරුවාගේ තාත්තා ගල්වළක වැඩ කරන්න ගිහින් ආබාධිත වෙලා. මම හදවත් රෝගියෙක්. අපි වගේ දුප්පත් මිනිස්සුන්ගේ අහිංසක දරුවන්ට මේ වගේ හිරිහැර කරන්න එපා කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.

මේ නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බලපෑම් ඇති වී තිබෙනවා. අද අපේ දරුවන්ගේ ජීවිත අනාරක්ෂිත වී තිබෙනවා. මෙය පාසලේ ගුරුවරුන්ට පාලනය කරන්න බැහැ. සල්ලිකාර ටිපර් මුදලාලිලාට අපේ දරුවන්ගේ ජීවිත බිලි ගන්න දෙන්න බැහැ. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිසි පියවර ගන්නා ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි පැවැසීය.

දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි මහේෂ් දහනායක මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමේදී මෙසේ පැවැසීය.

පොලු මුගුරුවලින් පහරකෑමකට ලක්වූ බව පවසා සිසුන් තිදෙනකු මෙම රෝහලට ඇතුළත් වී සිටිනවා. ඒ දරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර සිදුකරනවා. අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් මේ අය පරීක්ෂාකර වාර්තාවක් ලබාදුන්නා.

පහරදීමට සම්බන්ධ සැකකරුවන් සහ කැබ්රථය දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.