මට වැඩිපුරම ප්‍රතිචාර ආච්චිලාගෙන් - සංගීත් ප්‍රභූ

මං කැමැතියි පළමුව මගේ ආරම්භය ගැන කතා කරන්න. මගේ ජීවිතේ තිබුණේ එකම එක හීනයයි. කවදා හරි නළුවෙක් වෙලා හැකියාව පෙන්නලා ජනප්‍රිය වෙන්න වුවමනාව තිබුණා. මං කොළඹ කෙනෙක් නෙවෙයි. හැදුණේ වැඩුණේ අනුරාධපුර. පසුව බදුල්ලට ආවා. ගමක කෙනෙකුට කෙහොමත් අමාරුයි මේ ක්ෂේත්‍රයට එන්න. අඳුනන අයත් නැහැ. වයස අවුරුදු තිහේදී නළුවෙක් වෙන්න මං හිතා
ගත්තේ ඔය ප්‍රශ්න මත.

හැබැයි ඔබ වයස අවුරුදු දහනවයේදී ඒ අභිප්‍රාය ඉටු කර ගන්නවා?

එහෙම වුණේ මගේ වාසනාවට කියලයි මට හිතෙන්නේ. මෙතැනට එන්න අනන්තවත් කට්ට කාලා ඇති. ඒ හින්ද ක්ෂේත්‍රය එපා වෙලත් තියෙනවා. මට මුලින්ම කතා කරපු ටෙලි නාට්‍යයක සිදු වූ සිදුවීමක් මතක් වෙනවා. යාළුවෙකුගේ මාර්ගයෙන් තමයි ඒ අවස්ථාව ලැබුණේ. දර්ශන තලයට ගියාම මට තියෙන්නේ පොත් වගයක් අරගෙන ප්‍රධාන නළුවාගේ ඈතින් ගමන් කරන්න. මං හිටියේ කැමරාවට ඉතාම දුරින්. ඒ වෙලාවේ මං කල්පනා කළේ කැමරාව ගාවට එන්නේ කොහොමද කියලා. මං කළේ ඇවිදින ගමන් අතේ තිබුණු පොතක් කැරකුව එක. ඒ නිසා මට නළුවාගේ ළඟින් යන්න ලැබුණා.

සංගිත් ප්‍රභූ නමැති නළුවා ඉස්මතු වන්නේ කොතැනදිද?

එයට පාර කැපුණේ දුරුතු සිනමා පාසල නිසා. මේ මොහොතේ රවීන්ද්‍ර විජේරත්න සහ තරංග දිසානායක යන මහත්වරුන් මතක් කළ යුතුමයි. ඔවුන් තමයි මාව ඉදිරියට ගෙනාවේ.

ඔබ රඟපෑ නාට්‍ය පෙළ මතක් කළොත්?

කුටු කුටු මාමා, සල්සපුනා, අනන්තා, මගේ ආදර අවනඩුව, ඔක්කොම හොඳටයි, තව දුරයි ජීවිතේ, තුත්තිරි.

ඔබ වඩාත් ජනප්‍රිය වුණ චරිතය ගැන කිව්වොත්?

නිල්හාන් තමයි. නිල්හාන් හිිටියේ සල්සපුනා ටෙලි නාට්‍යයේ. අදටත් මට බොහෝ දෙනෙක් කතා කරන්නේ ඒ නමින්. තුත්තිරි නාට්‍යයේ චරිතයෙනුත් මාව වෙනස් මානයකට ගෙන ගියා.

මේ දිනවල ඔබ සිටින නාට්‍ය හතරක් විකාශය වෙනවා?

ඔව්. සිල්ලර සමනල්ලු, ක්‍රයිම් සීන්, පූරි සහ මංසල. මේවා අතරින් වඩාත් ප්‍රතිචාර ලැබෙන්නේ සිල්ලර සමනල්ලු නාට්‍යයේ ප්‍රවීන්ගේ චරිතයට.ඒ චරිතයේ ගති සොභාවයට මං ආසයි. ප්‍රවීන් හරිම සෙල්ලක්කාරයි. වැඩිය හිතන්නේ නැහැ කරන දේවල් ගැන. හැබැයි ඔහු මං වගේ නම් නෙවෙයි.

මේ වන විට ඔබ වෘත්තීය නළුවෙක් බවට පත් වෙලාද?

වෘත්තීය නළුවෙක් වෙමින් පවතිනවා කිව්වොත් හරි. හැබැයි දැන් තියෙන තත්ත්වය අනුව වෘත්තීය නළුකම අන්ෂුවර්. ඉදිරියේදී ව්‍යාපාරයකට අත තබනවා.

ඔබට වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ කොයි වයස් කාණ්ඩවල රසික රසිකාවන්ගෙන්ද?

ඒකට දෙන උත්තරයට මට හිනවෙන්න එපා. වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ ආච්චි අම්මලාගෙන්. මාව එයාලා බදා ගන්නවා. මූණුපුරන්ව මතක් වෙනවලු මාව දැක්කම.

ඉදිරියේදී රඟපාන්න කැමැති චරිතයක් තියෙනවද කියලා මං ඇහැව්වොත්?

හරිම ආසයි ගොළු කොල්ලෙකුගේ චරිතයක් කරන්න. දෙබස් නැතුව මුහුණෙන් විතරක් රඟපාන්න එතකොට පුළුවන්. ගොඩක් අමාරු වෙයි. ඒ අභියෝගය බාර ගන්න කැමැතියි.

ජනප්‍රිය නළුවන්ගේ ලැයිස්තුවේ ඔබ නැති හේතුව?

මම දන්නේ නැහැ. තැනකට ගියාම රසික සම්මානය නම් ලැබෙනවා. හැබැයි කවද හරි ලොකු සෙනඟක් මැද සම්මානයක් ගන්නවා. එතැනම ඉන්න ගමන් ඒ සම්මානය අම්මට ලබා දෙනවා.

 රංගනයට අමතරව ඔබ දැන් නිවේදකයකු ද වෙලා. ඒ ගැනත් සඳහනක් කළොත්?

සිරස 16+ වැඩ සටහන තමයි මං ඉදිරිපත් කරන්නේ. වෙනස්ම අත්දැකීමක්. නිවේදනය මගේ ඇඟේ තියෙනවා කියලා මට දැනෙනවා. ඒ නිසයි ආරාධනාව බාර ගත්තේ.

 සංගීත් ප්‍රේමවන්තයෙක්ද?

හෑබැ ජීවිතයේද?

ඔව්?

ප්‍රේමවන්තයෙක් වෙමින් පවතිනවා. ඒක තමයි දැනට දෙන්න පුළුවන් උත්තරය.


gossip lanka