නින්දට පෙර පිරිසිදු පොල්තෙල් ටිකක් මුහුණ ඇතුළු මුළු ශරීරයේම ගල්වා, හොඳින් පිරිමදිනවා

ශ්‍රී ලාංකීය සිනමාවේ නොමැකෙන නාමයක් සනිටුහන් කරමින් දස්කම් පානා ඇය වයසට යෑම නතර කලාක් මෙන් දිනෙන් දින තරුණ වෙන සුරූපිනියකි.

80 දශකයේදී සිනමාවට පැමිණි ඇය, අද වන විට දේශීය චිත්‍රපටි සියයකට වඩා වැඩි ප්‍රමාණයකට රංගන දායකත්වය සපයා ඇති අතර ඇය ප්‍රධාන චරිතය හෙබවූ විදේශීය චිත්‍රපටි සංඛ්‍යාව දාසයකි.
ඇය නමින් සබීතා පෙරේරාය.

එන්න එන්නම ලස්සන වෙනවා. මොකක්ද ඇත්තටම රහස.

අපේ ඇතුළාන්තයයි බාහිරෙන් දිස්වෙන්නේ. යහපත් විදිහට, හිත සැහැල්ලූවෙන් ජීවත් වෙන්න පුළුවන්නම්, විශේෂයෙන්ම බාහිර පාර්ශවයකට අපෙන් බලපෑමක් වෙන්නේ නැතුව ජීවත් වෙනවා නම් අපි ඉබේම ලස්සන වෙනවා. මගේ පෞද්ගලික මතයනම් කෙනෙකුගේ ලස්සන මුහුණේ ස්වරූපයෙන් මනින්න බැහැ කියන එක. හරිම ලස්සන, ආකර්ශනීයව කතා කරන බොහෝ අයගේ ඇතුළාන්තය ඇත්තටම ලස්සන නැහැ. එවැනි අයගේ ගති නිසා බොහෝ පිරිසක් පීඩා විඳිනවා. ඒ නිසා මුහුණේ ලස්සනට වඩා හදවත ලස්සන නම්, හදවතින්ම, අවංකවම, ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙන්න පුළුවන්නම් එයයි මූණේ හැඩයටත්, හමේ පාටටත් වඩා වැදගත්.

රංගන ශිල්පිනියක් විදිහට ඔබ නිතර ලස්සනට අඳිනවා. මතකයේ තිබෙනවාද ඔබට වඩාත් ලස්සනයි කියූ දිනයක්.

ම්.. හැමදාම මාව දකින අය නම් කියන්නේ ඔයා එදාට වඩා අද හරි ලස්සනයි කියලා. පාටි වලට යන ගොඩක් වෙලාවට මගේ හිතවතුන් මා ගාවට ඇවිත් හැමදාම කියන්නේ ඔයා අද තවත් ලස්සනයි කියලා. ඒ නිසා හැමදිනක්ම මට විශේෂයෙන්ම මතකයේ තියෙනවා.

 විලාසිතා තෝරා ගැනීමේදී සැලකිලිමත්ද?

අනිවාර්යෙන්ම. මගේ වයස. සහභාගි වෙන උත්සවයේ ස්වභාවය. සහභාගි වෙන වෙලාව. මේ සියලූ දේ ගැන මම සැළකිලිමත්. පාටියකට යන විදිහට පන්සලකට ගියොත් එක හරි විහිළුවක් වෙනවානේ. ඒ නිසා තැනට ඔබින විදිහට, මට ගැලපෙන විදිහට විලාසිතා කරන්න මම කැමතියි.

ඇඟේ හැඩය ගැන ඔබ ගොඩක් සැළකිලිමත් වෙනවා වගේ.

ඔව්. ඇඟේ හැඩයටත් වඩා නිරෝගීකම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මම කෑම බීම ගැනීමේදී හරිම පරිස්සම්. පිටි සහිත කෑම, තෙල් කෑම, පැණි රස කෑම හරිම අඩුයි ආහාරයට ගන්නවා. ඒ වගේම සතියකට දින 3 4 ක් ව්‍යායාම වල නිරත වෙනවා. නිවසේදී යෝග ව්‍යායාම වල නිරත වෙනවා. ඒ නිසා ඇෙඟ් හැඩය නියමාකාරයෙන් තියාගන්න මට පුළුවන් වෙලා තියෙනවා. අපි ඇඳුමක් ඇන්දත් අපිව ලස්සනට පේන්නනම් අපි ඇඟ ක්‍රමානුකූලව තියාගත යුතුයි. මොනතරම් ලස්සන, වටින ඇඳුම් ඇන්දත් ඇෙඟ් හැඩය නියමාකාරයෙන් නැත්නම් ඇඳුමේ ලස්සනවත් ඉස්මතු වෙන්නේ නැහැ.

සමේ පැහැය ආරක්ෂා කරගන්න මොනවාද කරන්නේ

සමේ පැහැයටත් වඩා නිරෝගී සමක් තියා ගැනීමට මම වෙහෙසෙනවා. දෛනිකව ස්වභාවිකව පිළියෙල කළ කොළ වර්ගයක යුෂ උදෑසන බොනවා. නිවිති, ගොටුකොළ, මුකුණුවැන්න, කොළ වර්ග වගේම නැවුම් පලතුරු යුෂත් දෛනිකව මම පානය කරනවා. කෑම පිළියෙල කිරීමේදී තෙල් භාවිත කරන්නේ හරිම අඩුවෙන්. තේ එකක් වුණත් සීනි ගොඩක් දාලා බොන්නෑ. සමේ තෙතමනය ආරක්ෂා කරගන්න සුදුසු ආලේපන යොදා ගන්නවා. උදෑසන ඉඳලා මේකප් යොදා තිබුණහොත් රාත්‍රියේදී බොහෝ විට ආලේපන වලින් තොරව නිදහසේ පිරිසිදුව තියාගන්න උත්සාහ කරනවා.

හම පෝෂණය කිරීමටත්, සමේ දිස්නය රැක ගැනීමටත් සතියකට දෙතුන් වරක් ශරීරය හොඳින් පිරිසිදු කරලා රාත්‍රි නින්දට පෙර පිරිසිදු පොල්තෙල් ටිකක් මුහුණේ ඇතුළු මුළු ශරීරයේම ගල්වා, හොඳින් පිරිමදිනවා. පොල්තෙල් සමට ඉතාම හිතකර බව අද වනවිට ලෝකයේ බොහෝ රටවලින් පවා සොයාගෙන තිබෙනවා. එම ආලේපනය ඇඟට ටිකක් වේලෙන්න තිියලා නිදාගන්නවා. උදෑසනම සෝදා හරිනවා.

ඊට අමතරව කඩල පිටි, බිත්තර සුදු මදය, යෝගට්, මීපැණි එකට කවලම් කරලා පල්පයක් හදලා මුහුණේ තවරනවා. ඒකට ඇතැම් විට කස්තුරි කහ හෝ සුදු හඳුන් කුඩු ආදියත් එක් කරනවා. මෙම සත්කාරය සමේ පැහැයට, දීප්තියට හරිම වැදගත්. මුහුණට පමණක් නොවේ මුළු සිරුරේම ගල්වන්න පුළුවන්. සතියකට වරක් හෝ මෙවැනි ස්වභාවික සත්කාරයක් කරගන්න මම උත්සාහ කරනවා. මෙවැනි ස්වභාවික සත්කාර වලින් ඇත්තටම හොඳ ප්‍රතිඵලයක් තිබෙනවා. විෂබීජ නාශක ගුණයෙන් ඉතාම ඉහළ කහත් ඉඳහිට මම මුහුණේ ගල්වා ටික වෙලාවක් ඉඳලා සෝදා හරිනවා.

බොහෝ කාන්තාවන් තවත් කාන්තාවක් ලස්සනට ඉන්නවාට වැඩි කැමැත්තක් නැහැ. මේ කරුණ ගැන ඔබට හිතෙන්නේ කොහොමද?

කාන්තාවන් පමණක්ම නොවේ කාන්තාවන්ට ඊර්ෂ්‍යා කරන්නේ. ඇතැම් වෙලාවට පිරිමිත් කාන්තාවන්ට ඊර්ෂ්‍යා කරනවා. කොහොමටත් කාටත් ඊර්ෂ්‍යාවෙන් දෙයක් කළා කියලා කාටවත් මොකුත් ලැබෙන්නේ නැහැනේ. තියෙන දේත් නැති වෙනවා මිසක.

ලස්සන ලැබෙන්නේ පෙර පිනකට කියා ඔබ හිතනවාද?

ලස්සන පමණක් නොවේ, අද මට ලැබිලා තියෙන සියලූ දේ මට ලැබුණේ පෙර කළ කුසල් නිසා කියා බෞද්ධ දර්ශනයට අනුව මා විශ්වාස කරනවා. මේ ආත්මයේදීත් ගොඩක් පිං දහම් කටයුතු කරනවා.

බිරිඳක් මවක් ලෙසින් ඔබ රඟපෑමට අමතරව වගකීම් දරනවා.

ඔව්. පුතාට දැන් අවුරුදු 18 ක්. උසස් පෙළ විභාගයට පෙනී සිටින්න නියමිත නිසා එයා වෙනුවෙන් වැඩි කාලයක් ගත කරනවා. හොඳ නිර්මාණයක් හම්බ වුණොත් සහභාගි වෙනවා. ඊට අමතරව මහත්තයාගේ වැඩකටයුතු වලට උදව් කරගෙන ඉන්නවා.

බොහෝ කාන්තාවන්ට තමන්ට තමන් ගැන හිතන්න වෙලාවක් නැහැ කියනවා. ඔබ එකඟද?

නැහැ. අපි අපේ ගැන හිතන්න අමතක කළොත් වෙන්නේ, අනිත් අයටත් අපිව ඉබේම අමතක වෙන එක. දිනකට තියෙන පැය 24 කින් පුංචි පැය බාගයක් තමන් වෙනුවෙන් වෙන්කරගන්න කාන්තා ඔබ බුද්ධිමත් විය යුතුයි.

නිවසක සතුට රැඳිලා තිබෙන්නේ ආදරණීය බිරිඳ අතේ. නැත්නම් සෙනෙහෙබර අම්මා අතේ. අම්මා නිරෝගීව, පිරිසිදුව පිළිවෙලට, ලස්සනට ඉන්නවා නම් ඒක ගෙදර සතුටටත් ලොකු හේතුවක් වෙනවා.

අසුන්තා එදිරිසූරිය.