gossip lanka

"දවස් 157ට කෙසෙල් ගෙඩි 640ක් කෑවා..." බිත්‍රාන්‍යය වටා පිහිනා යමින් ලෝක වාර්තාවක් තැබූ තරුණයෙකුගේ කතාව - Photos

33 හැවිරිදි රොස් එග්ලේ ඉංග්‍රීසි ජාතිකයෙක්.

වතාවක් එවරස්ට් කන්දේ උසට සමාන උසැති කඹයක් දිගේ ඉහළට නැගුණූ ඔහු තවත් විටෙක මෝටර් රථයක් අදිමින් මැරතන් තරඟයකටත් සහභාගි වුණා.

මෙවැනි අපූර්ව දේ තුළින් වැඩ පෙන්වන ඔහු මෑතක ඊටත් වඩා වෙනස්ම විදිහේ දෙයක් කළා. ඒ තමයි බිත්‍රාන්‍ය වටා පිහිනා යමින් ලෝක වාර්තාවක් තැබීම. සැතපුම් 1,798 ක මේ මුහුදු තීරය වටා යන්න රොස්ට
දවස් 157ක් ගතවී තිබුණා.

රොස්ගේ මේ පිහිනුමේ විශේෂත්වය වන්නේ පිහිනුම අතරවාරයේ හෝ එක් වතාවක්වත් ගොඩ බිමට නොපැමිණිම.

ඒකත් වාර්තා අතරට එකතු වෙනවා.

දිනකට පැය 12ක් පිහිනූ ඔහු ඉතිරි පැය 12ක කාලය ගත කළේ මුහුදේ ඔහුට සමගාමීව යාත්‍රා කළ කැටමාරන් (සංචාරක රැෆල් යාත්‍රාවක්) එක්කයි.

මේ කාලය පුරාවට ඔහුගේ ප්‍රධාන ආහාර වුණේ කෙසෙල්. ඔහු මේ දවස් 157ට කෙසෙල් ගෙඩි 640ක් කාලා.

ඔහු චාරිකාව පටන් අරන් තිබුණේ ගිය ජූනි මාසේ පළමුවැනිදා. ඔහුගේ වැඩේට ගොඩක් දෙනෙක්ගේ සහයෝගයත් ලැබිලා තිබුණා. රොස්ගේ චාරිකාව දිනෙන් දින රූපවාහිනි නාලිකා මඟින් පවා විකාශනය කරලා තිබුණා.

වික්‍රාන්විත දේට කැමති බොහෝ දෙනා රොස්ගේ මේ වැඩේ ගැන අවධානයෙන් පසුවුණා.

එය කොයි තරම් ජනප්‍රිය වුණාද කිවහොත් එක් වරෙක ඔහුගේ රසිකාවියක් බෝට්ටුවකින් ඇවිත් ඔහුට කේක් එකකුත් දීලා ගිහින්.

‘ඒක හරිම සුහදශිලී අවස්ථාවක්. ඈ බෝට්ටුවකින් ඇවිත් මට කේක් එකක් දීලා සුබ පතලා ගියා. ඒක උණු උණු කේක් එකක්. ඒ හින්දා ඒක ඉතුර වෙලා තිබුණේ විනාඩි කිහිපයයි...‘

මහ මුහුදේ පිහිනපු ඔහුට විවිධ අකරතැබ්බ වලටත් මුහුණ දෙන්න සිදු වෙලා තියනවා.

වරක් ජෙලිෆිෂ් කෙනෙකුගේ ප්‍රහාරයකටත් ඔහු ලක් වෙලා තිබුණා.

‘මට මුකුත් හිතාගන්න බැරිවුණා. මම ඔලුව උස්සලා බලද්දි ඌ මගේ මුහුණට පහර දුන්නා. ඒක හරිම භයංකර අත්දැකීමක්. මම වැර යොදලා ඌව මූණෙන් අයින් කළා...‘

ඔහුගේ මූලික සැලසුමේ හැටියට මේ චාරිකාව දින 100කින් අවසන් කරන්නයි ඔහු හිතාගෙන ඉඳලා තියෙන්නේ.

ඒත් දින 57ක් වැඩිපුර වැය කරන්න ඔහුට සිද්ධ වුණේ එවන් වූ අකරතැබ්බ බොහෝමයකට මුහුණ දෙන්න සිදු වුණු නිසයි.

‘මට සමාවෙන්න. මම එන්න ටිකක් පරක්කු උනා..‘ දින සියයකට පසු පෙම්වතා මුණ ගැහෙන්න බලාගෙන හිටපු ඔහුගේ පෙම්වතියට ඔහු කිව්වේ හැමෝම හිනස්සවමින්.

මාස ගානක් පිහිනුවත් රොස්ට ඒ ආසාව නම් ගිලිහිලා ගිහින් තිබුණේ නැහැ.

‘මම දැන් යන හෝටලේ පිහිනුම් තටාකයක් තිබ්බොත් ඒකට බහින්න මම දෙපාරක් හිතන් නෑ...‘ රොස් කිව්වේ එහෙමයි.


gossip lanka