රනිල් අරලියගහ මන්දිරයේ තනිකරන්න එජාපයේ කුමන්ත්‍රණයක්..? පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් කියන කතාව..!

අග්‍රාමාත්‍ය ලේකම්වරයා සඳහා රජයේ මුදල් පරිහරණය කිරීමට කිසිදු බලයක් නොමැති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බාරදුන් පූර්ණ යෝජනාව පදනම් කරගනිමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරය තුළ තනි කිරීමේ සැලැස්මක් එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කරනවාද යන්න පිළිබඳව සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ප්‍රකාශ කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය
කාර්යාලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අග්‍රාමාත්‍ය ලේකම්වරයාට වෙන් කරන මූල්‍යමය ප්‍රතිපාදන යටතේ අරලියගහ මන්දිරය සම්පූර්ණයෙන්ම නඩත්තු වන අතර අග්‍රාමාත්‍යවරයාගේ වියදම් කපා හරින ලෙස යෝජනාවක් සිදුකළහොත් එය අරලියගහ මන්දිරයේ වියදම් කපා හැරීමට ද අදාළ වන බවයි මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේ.

එලෙස අග්‍රාමාත්‍ය ලේකම්වරයාට වෙන් කරන මූල්‍යමය ප්‍රතිපාදන කපාහැරියහොත් රනිල් වික්‍රමසිංහ දැනට රැදී සිටින අරලිය ගහ මන්දිරයේ ජලය, විදුලිය සහ තෙල් ආදී වියදම් කපාහැරෙන අතර, ඒ අනුව ඔහු අරලිය ගහ මන්දිරයේ තනි කරවීමට මෙම කුමන්ත්‍රණය දියත් වන බවට සැකයක් මතු වන බවයි රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.