බොරු­වෙන් කලා­වත්, දේශ­පා­ල­න­යත් අරා­ජික වෙලා

කාලෙන් කාලෙට කලා ලෝකයේ කතා මවන ජනප්‍රිය රංගන ශිල්පීන් අතර සිටින රංගන ශිල්පියකු ලෙස රොෂාන් පිලපිටිය හඳුන්වා දිය හැකියි. 'සිඳු', 'නීල පබළු' , ටෙලි නාට්‍ය හා 'නිදහසේ පියා' සිනමාපටය මේ දිනවල රොෂාන්ගේ රංගන හැකියාව පෙන්වන නිර්මාණ. හැමදාමත් රසඳුනට සමීප මේ රංගන ශිල්පියා මෙවර 'හදට දැනෙන ප්‍රශ්න දහයට'
පිළිතුරු දුන්නේ මෙසේයි.

රොෂාන් වත්මන් පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. ඔබ කුඩා කල සිට හීන මැව්වෙ රංගන ශිල්පියකු වෙන්නද?

නැහැ. කුමක් හෝ සුදුසු රැකියාවක් කරනවා කියන බලාපොරොත්තුවෙන් සිටියේ. එහෙම නැතුව මම අරයා වෙනවා මෙයා වෙනවා කියා අරමුණක් තිබුණේ නෑ. අපි ස්කෝලෙන් අවුට් වෙන කාලෙ තරුණ තරුණියන්ට පාරේ බැහැලා යන්න හොඳ පරිසරයක් රටේ පැවතුණේ නෑ. එම කාලෙදී තමයි සරසවිය පත්තරේ දැන්වීමක් දැක්කේ. ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ 'ගොළු හදවත' චිත්‍රපටයට නවක රංගන ශිල්පීන් බඳවා ගන්නවා කියලා. ඒකට අයැදුම්පතක් ඉදිරිපත් කළා. සම්මුඛ පරීක්ෂණයකින් පසුව මාව එහි කුඩා චරිතයකට තෝරා ගත්තා. ඒ විදිහට තමයි රංගනයට පිවිසෙන්නේ.

රංගන ශිල්පියකු වීම ගැන තෘප්තිමත්ද?

මම මට ලැබෙන ඕනෑම දෙයක් සුබවාදීව දකින පුද්ගලයෙක්. රංගනය පැත්තෙන් වුවත් ඒ විදිහටම ලැබෙන දෙයින් සතුටු වනවා. ඒ නිසා රංගන ශිල්පියකු වීම ගැන තෘප්තිමත්.

ඔබ වඩාත් කැමැත්තෙන් කියවපු මතකයේ රැඳුණු පොත මොකක්ද?

ප්‍රෙඩි මර්කරිගෙ ජීවිත කතා පොත. ඔහු ගායකයෙක් සහ සංගීත ශිල්පියෙක්. අතිශය ජනප්‍රිය ගායකයකුගේ සිට එච්. අයි. වී. රෝගියකු වීම දක්වා වු ඔහුගේ ජීවිත විකාශය ගැන මෙම කතාවෙන් කියවෙනවා. ඔහුගේ ජීවිත කතාව අලලා නිර්මාණය වු චිත්‍රපටයත් නැරඹුවා. එයත් පොත වගේම මගේ සිත් ගත්තා.

කැමැතිම සිනමා පටය..

දේශීය සිනමාපට අතරින් 'නිධානය' චිත්‍රපටය කැමැතියි. ගාමිණී ෆොන්සේකාගේ රංගනයේ තිබෙන සුවිශේෂී හැකියාව නිධානය තුළින් ඉස්මතු වෙනවා. ඒ වගේම 'children of the hevan ' චිත්‍රපටයත් මගේ සිත්ගත්තා.

කැමැතිම රංගන ශිල්පියා, ශිල්පිනිය, ගායකයා සහ ගායිකාව..

කැමැතිම රංගන ශිල්පියා ජොනී ඩෙප්, සහ අපේ සිනමා සක්විති ගාමිණී පොන්සේකා. ඔවුන් දෙදෙනාගේම රංගන විලාශයන්ට කැමැතියි. වත්මන් පරපුරෙත් විවිධ හැකියාවන්ගෙන් යුතු තරුණ රංගන ශිල්පීන් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඔවුන්ගේ රංගනයටත් කැමැතියි. රංගන ශිල්පිනිය පිළිබඳව කතා කරනවානම් මාලනී ෆොන්සේකා සහ ජුලියා රොබට්ස්ගේ රංගනයට කැමැතියි. අමරදේවයන්ගේ ගායනයටත් ෆ්‍රෙඩී මක්රිගේ ගායනයටත් කැමැතියි. ගායිකාවන් නම් කාලෙන් කාලෙට වෙනස් වෙනවා.

තව කෙනකු කරනවාට අකැමැති දෙය..

බොරුව. මෙම බොරුව නිසා සියලුම ක්ෂේත්‍රයන් අරාජික තත්වයට පත්වෙනවා. එය අපේ රටේ කලාව සහ දේශපාලනය තුළ කිඳා බැසීමෙන් එම ක්ෂේත්‍රයන් දෙකම අරාජික වෙලා. ඒ වගේම ඉච්ඡාභංගත්වයෙන් රටත්, වැසියනුත් විනාශ වෙලා. ප්‍රතිපත්තියක් නැති මිනිසුන් සෑම වෘත්තියකටම යොමු වෙලා. එවැනි මිනිසුන්ට මම කැමැති නැහැ.

රංගන ශිල්පියකු ලෙස සමාජයට දෙන ආදර්ශය කුමක්ද?

කරන දේ හරියට කරන්න. එය පාර සුද්ධ කරන පුද්ගලයාගේ සිට සෑම වෘත්තියකටම පොදුයි. අද බොහෝ පිරිස් කුමක් හෝ වගකීමක් පැවරුවත් එය කරන්නන් වාලෙ කරනවා. එනිසාවෙන් තමන්ට පැවරෙන කුමන දෙයක් වුණත් හරියට කරන්න. ඒ වගේම රටේ ලෝකයේ වෙන්නෙ මොනවද කියා අවදියෙන් ඉන්න ඕනෑ. එහෙම නොසිටියොත් අපි දන්නෙ නෑ අනතුර අපේ ළඟටම එනතුරු.

රටේ නායකයා වුණොත් පළමුව කරන්නේ‍...

පවතින දේශපාලන ක්‍රමය වෙනස් කරනවා. එය රටට කරන විනාශයක්. ඔය කොඩිවිනය නිසා තමයි මේ රට විනාශ වෙන්නේ.

වැඩිපුරම සංචාරය කරන්න කැමැති..

ඇත්තම කියනවානම් මම සංචාරයට කැමැති පුද්ගලයෙක් නෙමෙයි. නිවාඩුවක් ලැබෙන සෑම මොහොතකම ගෙදරට වෙලා පොතක් කියවන්න තමයි වඩාත් කැමැති. දීර්ඝ නිවාඩුවක් ලැබුණාම මගේ ගම නුවර හෝ රිද්මාගේ ගම වන පොලොන්නරුවේ යනවා.

ජීවිතයේ අමතක නොවන සිදුවීම සහ වැරැදුණු තැන්වලදී ළඟින්ම සිටියේ..

අමතක නොවන සිදුවීම් ගොඩක් තියෙනවා. ඒවාට පිළිතුරුත් මම විසින්ම සොයා ගන්නවා. එසේ නොමැතිව වැරැදුනාම කවුරුත් අපිට උදව්වට එන්නෙ නෑ. සමහර අවස්ථාවල ජීවිතය ගැන ගැඹුරින් අවබෝධය ලබා ගැනීමට බ්‍රිතාන්‍ය ජාතික චන්ද්‍රක් මාසෝ හිමිගේ පොත් පත් කියවනවා. එම පොත් මගින් ජීවිතය පිළිබඳව උපේක්ෂා සහගතව බැලීමට හැකියාව ලැබෙනවා.