"ජිවිතේ ගත්ත තීරණ ගැන ලොකු කලකිරීම් නැහැ, පොඩි පොඩි කලකිරීම් තියෙනවා.." - රයිනි චාරුකා

රයිනි ගුණතිලක දක්ෂ ගායිකාවක්. ගායන හැකියාව උපතින්ම අරගෙන එන ඇයට කලාව ඕපපාතිකයක් නෙමෙයි. ඒ වගේම තමයි කොතරම් ජනප්‍රිය  වුණත් වැඩි සද්ද බද්දයක් නැතිව පාඩුවේ වැඩක් කරගෙන යන කෙනෙක්. රයිනි චාරුකා මේ දවස්වල මොනවාද
කරන්නේ කියලා අපි හොයලා බැලූවා. මේ ඒ ගැනයි.

ඉතින් කොහොමද?
හොඳින් ඉන්නවා.

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
ටිකක් වැඩ අධික වෙන්න ළඟයි. මොකද නොවැම්බර් දෙසැම්බර් කියන්නේ වැඩ වැඩි කාලයක්. ගෘහස්ථ ප්‍රසංග තමයි මේ දවස් වල වැඩියෙන් තියෙන්නේ. ඉතිං ඒවත් එක්ක නත්තලටත් ලෑස්ති වෙනවා.

අලූත් වැඩ කටයුතු මොනවද?
සිංදු දෙක තුනක්ම තියෙනවා. බාලගිරි දෝෂය වගේ ඒවා නවතිනවා. හැබැයි එක ගීතයක් හරි එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා.

මොනවාද ඒ ගීත?
පහසක් කියලා ගීතයක්. ඒක මම දැනට කරලා තියෙන ගීතවලට වඩා වෙනස් ආරක් ගන්නවා.

මුලින්ම ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ කොහොමද?
අම්මා තාත්තා නිසා තමයි. ගායිකාවක් හැටියට මම එළියට ආවේ 2009 අගෝස්තු 14 අම්මගේ කොන්සර්ට් එකෙන්. එදා තමයි මම හිතාගත්තේ මම ගායිකාවක් වෙනවා කියලා.

ගායන ක්ෂේත්‍රය ගැන කොච්චර දුරට හදාරලා තියෙනවාද?
තවම ඉගෙන ගන්නවා. ඉතින් ඉදිරියටත් ඒක නවතී කියලා මම හිතන්නේ නෑ. මොකද එන්න එන්නම තාක්ෂණය වගේම ගායනයෙත් ඉගෙන ගන්න දේවල් වැඩි වෙනවා.

ඔබේ අම්මා තාත්තා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ. ඉතින් ඒ දැනුම අනාගත පරපුරට දෙන්න ලෑස්ති නැද්ද?
අපි ඇත්තටම බොරලැස්ගමුවේ පොඩි පන්තියක් කරනවා. ඒකේ මගේ සැමියත් උගන්වනවා. උගන්වනවා කියන එක එච්චර ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසා මමත් තව ඉගෙන ගන්නවා.

සැමියාගෙන් ලැබෙන සහයෝගය කොයි වගේද?
වැඩිපුරම එයාගෙන් තමයි මට උදව් ලැබෙන්නේ. මගේ වැඩ ඔක්කොම හොයල බලලා කරන්නේ මගේ සැමියා

විවාහයෙන් පස්සේ කාර්යබහුල වුණා නේද?
ඔව්” ඒකත් එහෙමයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මට ලස්සන නම් තමයි මම ඒ ගීතය කරන්නේ. එහෙම ගීතයක් මට හම්බවුණේ නැහැ. ඉතින් මට ඔය ලැබුණ පහස කියන ගීතය ගොඩක් ගීත අතුරින් මම කැමැති වෙච්ච ගීතයක්. මම දන්නේ නැහැ ඒකට මොනවගේ ප්‍රතිචාර ලැබෙයිද කියලා. ඒත් මම ඒකට කැමැතියි. මට එකදිගට ගීත එළියට දාන්න ඕනෑ කියලා අදහසක් නැහැ. මගේ දෙමව්පියොත් එහෙමයි.

රූ සඳ ? ප්‍රසංගය ආයෙත් කරනවාද?
අපි එන අවුරුද්දේ අගෝස්තු මාසයේ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරියටම කියන්න බැහැ.

ඒකට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඒක මම හිතන්නේ ලංකාවේ තියෙන ලොකුම කොන්සර්ට් එකක්. ඒකට ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොදයි. මොකද ඒ ප්‍රසංගය බලන්න ගොඩක් අය ඉන්නවා සහ ඒ ගැන ගොඩක් අය අහනවා.

නංගි ගායන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ නැද්ද?
එයා තාම සම්බන්ධ වෙලා නැහැ. සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපේ ගීත වලින්ම තමයි එයා එළියට එන්න හදන්නේ.

අම්මයි තාත්තයි ලොකු වැඩක් කරන්න නේද ඉන්නේ?
ඔව්. ඒ දෙන්නගේ ගීත වලින් විතරක් රූකා ලේකා කියලා කොන්සර්ට් එකක් කරන්න ඉන්නේ. ඒක 2019 අවුරුද්දේ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

නැවත රඟපාන්න අදහසක් නැද්ද?
ඇත්තටම මුල් කාලයේ ආරාධනා ලැබුණා. මට ආසාවක් තිබුණා ඒ ගැන අත්දැකීමක් ගන්න. මට ඒක ලැබුණා. මට ගායනය තරම් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. මට ගැළපෙන හොද චරිතයක් හම්බවුණොත් කරන්න කැමැතියි.

නැවත රංගනයට ආවොත් ගායනය මඟ හැරේවිද?
නැහැ. ලෝකයේ ගොඩක් අය ඉන්නවා එහෙම වැඩ කරන අය. හැමදේම බැලන්ස් කරගෙන කරන්න ඕනෑ.

ගායනය වෘත්තියද? විනෝදාස්වාදයද?
වෘත්තිය.

ගොසිප් ගැන මොකද හිතන්නේ?
ජනප්‍රියත්වයට අවශ්‍ය දෙයක්. හැම කේෂ්ත්‍රයකම වගේ ගොසිප් තියෙනවා. මං හිතන්නේ ලංකාවේ ඒක අනවශ්‍ය විදියට පාවිච්චි වෙනවා.

අද වෙනකොට ගායන කේෂේත්‍රයේ ඔබ ඉන්න තැන ගැන තෘප්තිමත්ද?
මට තව ගොඩාක් දුර යන්න තියෙනවා. තාම පටන්ගත්තා විතරයි වගේ කියලා හිතෙනවා. මං ලංකාවේ හිටියේ නැති වුණත් අද ඇවිත් තියෙන තැන ගැන ගොඩක් සතුටුයි.

ක්‍ෂේත්‍රයේ කැපිලි කෙටිලි තියෙනවාද?
තියෙනවා. මට අදාළ නැහැ.

ජීවිතේ ගත්ත තීන්දු තීරණ ගැන පසුතැවීම් තියෙනවාද?
නැනැ. පොඩි පොඩි දේවල් ගැන තියෙනවා.

ගායන කේෂ්ත්‍රයේ මේ තියෙන රැල්ලට ඔබ අසුවෙලා නැද්ද?
අහුවෙනවානම් දැන් අහුවෙලා ඉන්න ඕනෑ. හැබැයි ටෙලිනාට්‍යයක ගීතයක් හදන්නේ රැල්ලට නම් ඒක මට ගායනා කරන්න ආවොත් ඒක මම කරනවා. ඒක මගේ චොයිස් එක නෙවෙයි. හොද රැල්ලක් නම් ප්‍රශ්නයක් නැහැ. ආව කිසිම රැල්ලක් නරකයි කියන්න බැහැ.

දිනුෂිකා රත්නායක