මැණික් ගලක දෝෂ මැජික් වගේ හොයන්න යන්ත්‍රයක් හදලා රනින් පුද ලද පාසල් ශිෂ්‍යයා

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් මතු වෙද්දී එම මැණික් ස්වාභාවික මැණික්ද නැතහොත් කෘත්‍රිම මැණික්ද යන්න ලෝකයේ කොතැනක හෝ සිට එය බලා ගැනීමට හැකිවන අයුරින් සංයුක්ත මැණික් ගල් පරීක්‍ෂකයක් නිර්මාණය කර එම නිර්මාණයට ජනාධිපති රන් සම්මානය හිමිකර ගත් අපූර්ව පාසල් ශිෂ්‍යයෙක් පිළිබඳ තොරතුරු ලද විගස අප එම ශිෂ්‍යයා පදිංචිව සිටින කෑගල්ල, රන්වල පුරාණ විහාරස්ථානය අසල පිහිටි
නිවෙස වෙත ඉකුත් 07 වැනිදා ගියෙමු.

රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ අෑත අතීතයේ සිටම මැණික් කර්මාන්තයට ඉතා ප්‍රසිද්ධය. පතල්කරුවන් විසින් සොයා ගන්නා මැණික් වර්ගවල නියම ප්‍රමිතිය සොයා බැලීම ඔවුන් කලක සිට කුඩා විදුලි පන්දමක් ආධාරයෙන් පරීක්‍ෂා කිරීමට පුරුදුව සිටිති. මෙම කුඩා විදුලි පන්දමට වඩා ක්‍රියාකාරීත්වයෙන් ඉතාමත් වැඩි අගයක් දක්වන සංයුක්ත මැණික් පරීක්‍ෂකයක් නිර්මාණය කිරීමට සමත්වී ඇත්තේ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ 12 වසර තාක්‍ෂණවේදය විෂය ධාරාව හදාරන ඊ.ඒ. විරාජ් චාමික නමැති උසස් පෙළ ශිෂ්‍යයකු වීම මෙහි ඇති විශේෂත්වයකි.

ඊ.ඒ. චාමික විරාජ් ශිෂ්‍යයා පවුලේ එකම දරුවාය. පියා ඊ.ඒ. දයාරත්න මහතා විශ්‍රාමික උප ගුරුවරයෙකි. මව පී.යූ. පුණ්‍යා විජේරත්න මහත්මියයි. ඇය දැනට කෑගල්ල උඳුගොඩ නාපෑල ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්යවරියකි.

උපතින්ම නව නිර්මාණ බිහිකිරීමේ හැකියාවකින් මෙලොව එළිය දැක ඇති විරාජ් චාමික ශිෂ්‍යයා මොනයම් හෝ නව නිර්මාණයක් බිහිකිරීමේ හැකියාවක් 6 ශේ්‍රණියේ සිට විද්‍යාලයේ තාක්‍ෂණවේද ආචාර්ය දිනේෂ් රත්නායක මහතා දිනක් දැක තිබිණි. ශිෂ්‍යයාගේ මෙම හැකියාවන් දැක ඇති ගුරුවරයාගේ මඟ පෙන්වීම මත 2011 වසරේදී ඉගෙනුම් ආධාරක උපකරණයක්ද නිර්මාණය කළේය. එයින් නොනැවතී තවත් අඩියක් ඉදිරියට තැබූ චාමික ශිෂ්‍යයා 2014 වර්ෂයේදී වැලිවලින් විදුලිය නිපදවීමේ විදුලිජනක යන්ත්‍රයක්ද නිෂ්පාදනය කර තිබුණේ අධ්‍යාපනය ලබන විද්‍යාලයේ ගුරු මවුපියන්ගේ හා ශිෂ්‍යයන්ගේ දෙනෙත් ඒ දෙසට විවර කරවමිනි.

2015 වර්ෂයේදී රථ වාහනවල දුම් පරීක්‍ෂා කිරීමේ උපකරණයක්ද 2016 වර්ෂයේ භූ කම්පන මාපකයක්ද, 2017 වර්ෂයේදී රිළවුන් පලවා හැරීමේ ඩේ‍රා්න තාක්‍ෂණයෙන් නිර්මාණය කරන ලද උපකරණයක්ද විරාජ් චාමික ශිෂ්‍යයා නිර්මාණය කර තිබීම අප රටේ පාසල් දරුවකු විසින් කරනු ලබන මහඟු නිර්මාණ අතරින් අතළොස්සක්ය.

සිය පියා නිවෙසේ කැඩෙන බිඳෙන භාණ්ඩ යළි සකසන අයුරු කුඩා කල සිට බලා හිඳිමින් ඒ තුළින් ඔහුගේද මනස වැඩිදියුණු වීමට පටන් ගෙන තිබිණි. නිතර නිතර අලුත් දෙයක් අලුත් සංකල්පයක් තුළින් නිර්මාණ බිහිකිරීමට නිතරම විරාජ් ශිෂ්‍යයා සමත්වී සිටී.

එහි ප්‍රතිඵලයක් ලෙස ඊළඟට ඔහු වෙනත් නිර්මාණයක් සිදුකිරීමට අදිටන් කර ගත්තේය. මැණික් ගලක පලුදු සොයා බලා ගැනීම, ඇත්ත මැණික් ගලක්ද, නැතහොත් ව්‍යාජ මැණික් ගලක්ද යන්න බලා ගැනීම, මැණික් ගලේ අංශක 360ම එකවර නිරීක්‍ෂණය කර බලා ගැනීම හා ලෝකයේ ඕනෑම තැනක සිට ශිෂ්‍යයා නිෂ්පාදනය කරනු ලබන සංයුක්ත මැණික් පරීක්‍ෂකයට මැණික් ගල ඇතුළත් කර ඒ සම්බන්ධයෙන් එහි ඇත්ත හා ව්‍යාජ බවට හඳුනාගත හැකි අයුරින් මෙම නව නිර්මාණය බිහිකර තිබීම තවත් සුවිශේෂී නිර්මාණයකි.

ඉවතලන කැමරා කොටස්, පරිගණක කොටස් එකතු කර සාමාන්‍ය දුරකථනයක විද්‍යුත් පරිපථයක් මඟින් මෘදුකාංගයක් හරහා මැණික් ගල හඳුනා ගත හැකි ආකාරයට ශිෂ්‍යයා මෙය නිර්මාණය කර තිබීමත් සුවිශේෂී කරුණකි. ලෙන්ස් එකක් පමණක් ජපන් රටෙන් ගෙන්නා ගත් බවත් ඉතිරි සෙසු කොටස් අපතේ යන අමුද්‍රව්‍ය එක්කොට නිර්මාණය කර ඇලවීම සඳහා ගම් බෝතලයක් මිලට ගත් බවත් ශිෂ්‍යයා පැවැසීය.

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ 2018 වසරේ පැවැති ප්‍රදර්ශනයේදී (පාසල්) කර්මාන්ත හා යටිතල පහසුකම් තරගාවලියට සිය නිර්මාණය වන සංයුක්ත මැණික් පරීක්‍ෂකය විරාජ් විසින් ඉදිරිපත් කෙරිණි.

මෙම තරගාවලිය හා ප්‍රදර්ශනය ඉකුත් සැප්තැම්බර් 14දා සිට 16දා දක්වා කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එම තරගාවලිය සහ ප්‍රදර්ශනය 'සහසක් නිපැයුම් 2018' ලෙස නම්කර තිබිණි.

ප්‍රදර්ශනයේදී කාගේත් මෙම සංයුක්ත මැණික් පරීක්‍ෂකය කෙරෙහි නෙත යොමුවී තිබිණි. එහෙත් කිසිසේත්ම සිය නිර්මාණයට ජනාධිපති රන් සම්මානය හිමිවෙයි කියා නොසිතූ බව චාමික විරාජ් සිනහ මුසු මුහුණින් පැවැසීය. මෙලෙස නිමාවට පත්වූ ප්‍රදර්ශනය හා තරගාවලියේ ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම පසුගිය ඔක්තෝබර් 26දා ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. තමාටද සම්මානයක් ඇති බවට නව නිපැයුම්කරුවන්ගේ කොමිසමෙන් දන්වා සිටියද ජනාධිපති රන් සම්මානය කිසිසේත්ම ලැබෙයි කියා ඔහු බලාපොරොත්තු වී නොමැත. ජනාධිපති රන් සම්මාන පසුව ජනාධිපතිවරයා අතින් විරාජ් චාමික ශිෂ්‍යයාට පලඳවද්දී තවත් වටිනා සහතික පතක්ද මුදල් ත්‍යාගයක්ද විදේශ රටක පැවැත්වෙන තරගාවලියකට සහභාගි වීමට අවශ්‍ය ගුවන් ප්‍රවේශපත්‍ර ඇතුළු දෑ ජනාධිපතිවරයා විසින් ශිෂ්‍යයාට පිරිනැමිණි.

ඔහු සිය සංයුක්ත මැණික් පරීක්‍ෂකය පිළිබඳ සිය හඬ අවදි කළේ මෙලෙසින්ය.

'මම මෙතෙක් කළ සෑම නිර්මාණයක් පිටුපස සිටින්නේ මගේ තාත්තා. මගේ තාත්තා ගෙදර ඉඳලා කොස්සක් කැඩුණොත් තිබුණට වඩා හොඳින් ශක්තිමත්ව හදනවා. මම පුංචි කාලේ මේවා දැක තිබුණා. ඊට පස්සේ මම කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ තාක්‍ෂණවේදය විෂය ධාරාව උගන්වන දිනේෂ් රත්නායක සර්ගෙන් වැඩිදුර ඉගෙන ගත්තා. එතැනදී මගේ මනස තාක්‍ෂණය පැත්තට වැඩි නැඹුරුවක් ඇති කරගන්න පුළුවන්කමක් වුණා.

දිනේෂ් රත්නායක සර් මගේ මේ ගමනට සෙවණැල්ලක් සේ ළඟින් සිට අද දක්වා කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම විද්‍යාලයේ විදුහල්පතිනි හේමා වික්‍රමරත්න, නියෝජ්‍ය විදුහල්පති ජයන්ත සර් ලබාදෙන සහයෝගය මම ඉතා අගය කර සිටිනවා.

නව නිෂ්පාදනකරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහේෂ් එදිරිසිංහ සර්රුත් මේ අවස්ථාවේදී අනිවාර්යෙන්ම මතක් කළ යුතු වෙනවා. මේ නිලධාරීන්ගේ සහායත් නැති නම් මට මේ තරම් දුරක් එන්න අමාරුයි. මගේ මවුපියන් දෙදෙනා ගැන අනිවාර්යයෙන්ම මතක් කළ යුතුයි. ඔවුන් දිවා රෑ නොබලා අධ්‍යාපන කටයුතුවලට මෙන්ම බාහිර රාජකාරි කටයුතුවලටත් උපරිම ශක්ති ප්‍රමාණයෙන් දායකත්වය ලබා දෙනවා. මගේ මේ ජයග්‍රහණය වෙනුවෙන් පිටුපස සිටින්නේ මගේ අම්මයි තාත්තයි.

ඒ වගේම දැනට සියයට අනූවක්ම සාර්ථක වෙලා තියෙනවා, පීඩන විපර්යාසයක් මඟින් ඕනම උසකට ජලය පොම්ප කිරීමට හැකිවන අයුරින් උපකරණයක් හදලා තියෙනවා. මෙම උපකරණය ක්‍රියා කරවීමට කිසිසේත්ම විදුලිය අවශ්‍ය නැහැ. පීඩන විපර්යාසය තුළින් වතුර ඉහළට යනවා.

මෙම නිර්මාණයද ඉදිරියේදී හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පරිසරයට හිතකාමී අයුරින් තෝරා ගන්නා ලද වල් පැළෑටි පමණක් මර්දනය කිරීම සඳහා වල් නාශකයක් මම සොයා ගෙන තියෙනවා. කිසිම ජීවිත හානියක් නැහැ. ඕනෑම ඉඩමක ඉක්මනින් වල් පැළෑටි පමණක් විනාශ වෙනවා.

ඒ කෘමි නාශකයට පරිසර වාර්තාව ලබා ගැනීමට ඉදිරිපත් කර තිබෙනවා. පරිසර හිතකාමී සෙවිලි තහඩු ලබන වසරේ නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මෙම නව නිර්මාණ සමාජගත කර සමාජයට, රටට ලෝකයට වැඩ දායක දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් මෙම සියලු නිර්මාණයන් කිරීමට බෙහෙවින් ආර්ථික අපහසුතා තියෙනවා. ආර්ථික අපහසුතාවලින් ජය ගතහොත් මෙම නිර්මාණවල ඵලය නෙළා ගැනීමට එතරම් කලක් ගත නොවන බව ප්‍රකාශ කර සිටියේ ශිෂ්‍යාගේ මුහුණේ පුංචි සිනහවක්ද ඉස්මතු කරවමින්ය.

දමුණුපොළ - චමින්ද ජයලත්


- මවුබිම