රනිල්ට අගමැති පුටුව නැති වුණේ මහින්දගේ ගමේ පන්සලේ බාරය ඔප්පු නොකළ නිසාද?

ලාංකේය දේශපාලකයෝ; මැකියා වෙල්ලි කුමාරයාණන්ට දුන් උපදෙස් සහ ෂෝයිලොක්ගේ අනගිභවනීය මස් රාත්තලම ඉල්ලා සිටීම හැර අන් කිසිවක් සිදු කර නැතැයි යන්නට උදාහරණ පහදාගනිමින් අප නයිගල රජමහ විහාර භූමිය කරා පැමිණ සිටියෙමු. එය පිහිටියේ වීරකැටිය මැදමුලන ගම්මානයට තදාසන්නවය. මෙහි පැමිණීමට නිමිත්තක් තිබේ. නිමිත්ත පිළිබඳ විශ්වාස කෙතරම් වුවත් එය පුද්ගලයකුගේ සදාචාරාත්මක භාවය පිළිබඳ ගැටලුවකි. ලාංකේය දේශපාලනයේ ලිබරලියානු පුද්ගල ශරීරවල දෙබිඩි බව පිළිබඳ
කදිම නිදසුනකි. ඒ සියල්ල පසෙක දැමූ විට ජනතා පරමාධිපත්‍ය කරපින්නාගත්ත දේශපාලනඥයන් එකී ජනතාවගේ සිතුම් පැතුම් මඟින් බලය ඩැහැගෙන ඉන්මත්තට ජනතා සිතුම් පැතුම් පයිසයකට ගණන් නොගන්නා බවට සාක්‍ෂියකි.

නිමිත්තේ කථකයා හිටපු අගමැතිවරයාය. ඔහු වර්තමාන අගමැතිවරයාට වඩා නිදහස් ලිබරල් සංස්කෘතික සහ දේශපාලන ප්‍රවණතාවකට අනුගත යැයි බොහෝදෙනා පිළිගන්නා මතය වේ. බැලූ බැල්මට පෙනී යන්නේද එවැන්නකි. හිටපු අගමැතිවරයා ක්‍රියාවට නංවන්නේ විවාහාරික බුද්ධිය සීමා නිර්ණයන්ය. ඔහු එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා හරහා මෙරට කණපිට හරවන්න උත්සාහ ගන්නා බවක් දිස්වේ.

ඒ දිසි මානයේදී නොපෙනී යන්නේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා, එක ගමකට එක වැඩක් යන්නෙහි දිගුවක්ම බවයි. ඒ අරුතින් ගත්කල ලාංකේය දේශපාලනයේ හැරවුම් ලක්‍ෂ්‍යය මේ වන තෙක් පොදු මහජනයාට හමුවී නොමැත. හැම විටකදීම හමුවී ඇත්තේ දිගු දුර ඇදීයෑම් පමණි. රනිල් වික්‍රමසිංහ මහතා හැරවුම් ලක්‍ෂ්‍යයක් යැයි කියන චින්තකයන් අතරින් බොහෝ දෙනෙක් ලිබරල් වෘක සම පොරවාගත් කොටලුවන් මිස අන්කිසිවෙක් නොවේ. එය වෙනම කතා කළ යුත්තකි.

ඉතිහාසයේ දිනක නයිගල රජමහ විහාරයට පැමිණෙන එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ හිතෛෂිවන්තයෝ අනුහස් පිළිබඳ පරසිදු බෝධීන් වහන්සේ ඉදිරිපිටදී බාර වන්නේ තමන් රටේ නායකත්වයට පත්වූ දිනක මෙහි පැමිණ එම බාර හාර ඉටුකරන බවයි. තමන් අදහන යම් යම් විශ්වාසයන් මත සැකසී සිටීමට ඇති අයිතිය අතින් ගත් කල එවැන්නක් නොසිදුවීමක නොවේ.

ඒ සඳහා අවහිරතාද නොමැතියි. ලංකා ජන සමාජයේ සදාචාර දර්ශනය හැම විටකදීම ඇදහීම මත පදනම්ව පවතී යන්න මුල්කරගත් විට එවැන්නක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට ඇති අයිතිය පිළිගත යුතුය. නමුත් සදාචාර දර්ශනයෙහිලා පැනනඟින ගැටලු අතර සද්භාවය සහ සදාචාරය අතර ප්‍රශ්නය ඉතාම වැදගත්ය. අප කතා බහ කරන මාතෘකාවේදී එය ප්‍රධානය. සද්භාවය යනු පැවැත්ම නමැති කාරණයය. සදාචාරය යනු යහපත් පැවැත්ම යන කාරණයය. පැවැත්මේ සහ සාදාචාරාත්මක වීමෙහි යන සම්බන්ධයේදී තමන්ගේ පැවැත්ම උදෙසා සදාචාරාත්මක බව තුට්ටුවකට මායිම් නොකිරීම පිළිබඳ උදාහරණයක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට ඇඟිල්ල දිගුකර හැක්කේ කෙලෙසද යන්න පිළිබඳව අදහසක් උපද්දවා ගැනීම සඳහා ඔහුගේ පක්‍ෂයේ සාමාජිකයකුටත් වඩා අනුගාමිකයකු වූ පියල් යසරත්න මහතාට ඇහුම්කන් දිය යුතුවේ.

"මම එක්සත් ජාතික පක්‍ෂයට බැඳුණේ බිම් මට්ටමේ ඉඳලා ජාතික මට්ටම දක්වා මට අදාළ කාර්ය භාරය ඉටුකරන්න. එහි කූටප්‍රාප්තිය වූණේ, මම පසුගිය පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු ලෙස බස්නාහිර පළාත් සභාව සඳහා තරග වැදීමයි. ඒ අවස්ථාව වන විට පක්‍ෂ අපේක්‍ෂකත්වය ලබා ගැනීමට බොහෝ දෙනා දැක්වූයේ මන්දෝත්සාහී බවක්. මොකද පක්‍ෂය ඒ අවස්ථාවේදී පහළට ඇදවැටීමකට ලක්වෙලායි තිබුණේ. මේ නයිගල පන්සලේ නායක හාමුදුරුවෝ සේදවත්ත පන්සලේ ඉඳලා තමයි උසස් අධ්‍යාපනය හැදෑරුවේ.

සේදවත්ත පන්සලේ නායක ස්වාමීන් වහන්සේ (අඹන්වෙල ඥානාලෝක හිමියන්) එක්සත් ජාතික පක්‍ෂයට හිතවත්. උන්වහන්සේ දෙනම සහ සුරනිමල රාජපක්‍ෂ මහතා සමඟ තමයි මම මුලින්ම නයිගල විහාරස්ථානයට පැමිණියේ. අප කණ්ඩායමක් ලෙස මෙම විහාරස්ථානයට පැමිණීමට මූලිකවම හේතු වුණේ මෙම විහාරස්ථානයේ අනුහස් පිළිබඳ නොයෙකුත් කතා ප්‍රවෘත්තීන් අසා තිබීම. මෙවැනි කරුණු කාරණා නිසා නයිගල රජමහ විහාරය ගැන විශාල භක්තියක් අප තුළ ඇතිවී තිබුණා.

මම නිරත වෙලා ඉන්න වෘත්තිය නිසා එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පිකා ප්‍රේමදාස මහත්තයාව මුලින්ම හඳුනගත්තා. ඊට පසුව ජෝශප් මයිකල් පෙරේරා මහත්තයා සහ පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක කියන මහත්වරු සමඟ සමීපව ඇසුරු කළා. මම කලින් කිව්වා වගේ ඒ කාලය තමයි එක්සත් ජාතික පක්‍ෂයේ සැබෑ පරිහානිය සිදුවී තිබූ කාලය. නායකත්වය අසලින් සිටියේ කීප දෙනෙක් පමණයි.

උදාහරණයකට කිව්වොත් පක්‍ෂ නායක, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා කතරගමට ගිහින් දෙවිපිහිට අයදින අවස්ථාවෙ එතුමා අතට පූජා වට්ටියක් ලකලැහැස්ති කරලා දෙන්න කෙනෙක් ඒ කාලයේ සිටියේ නැහැ. මම පූජා කරන්න ගත්ත පූජාවට්ටිය පවා එවැනි අවස්ථාවලදී මම එතුමා අතට දීලා තියෙනවා.

රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක කතරගම පැමිණි අවස්ථාවක අපි නයිගල රජමහ විහාරයට පැමිණිලා බාරයක් වුණා. එතුමා රටේ ආණ්ඩු බලය හිමිකරගත් පාලකයා වුණු දවසට ප්‍රථම රාජකාරීන් අතරින් මෙම නයිගල රජමහ විහාරයට පැමිණිලා එතුමා අතින් පහනක් පත්තු කරනවා සහ සෙසු අය විදියට අපි පුරා දින 10ක් නිර්මාංසව මෙම ස්ථානයේ භාවනායෝගීව ගතකරනවා කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වුණාට පස්සේ හැම අවස්ථාවකදීම බාරය පිළිබඳ දැනුවත් කිරීම් සිදුකළත් ඔහු එය කනකට ගත්තේ නැහැ. මුණගැහිලා බාරය පිළිබඳ දැනුවත් කරන්න අවස්ථාව ඉල්ලුවත් ඒ අවස්ථාව අපට ලැබුණේ නැහැ. බලය අහිමි කාලයට වඩා බලය හිමි කාලයේදී ඔහු වටා සිටිය පිරිස විවිධයි. ඒ නිසා එහෙම වෙන්න ඇති. එපමණක් නොවෙයි මෙම පූජස්ථානයට පැමිණිලා බාර වුණු මගේ හිතවතුන් පවා ඒ පිළිබඳ තැකීමක් සිදුකළේ නැහැ.

මම තීරණය කළා කවුරු මඟහැරියත් බාරය ඉෂ්ට කළ යුතුයි කියලා. එහෙම තීරණයකට ආපු මම මෙම ස්ථානයට ඇවිත් පුරා දින 10ක් නිර්මාංසව භාවනා කරන්න සූදානම් වුණා. හැබැයි මමත් දන්නවා බාරය ඉෂ්ට කිරීම සර්ව සම්පූර්ණ නැහැ කියලා. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ පුදබිමට පැමිණිලා පහනක් පත්තු කළාම තමයි අපි බාරය ඔප්පු කිරීම ආරම්භ කළ යුත්තේ. ඒක මගේ හිතේ තිබුණා. පසුගිය පොහොය දිනක මම බාරය ඔප්පු කිරීම ආරම්භ කරලා ඉතා සුළු මොහොතකින් මේ තරම් අනුහස් තියෙන බෝධින් වහන්සේගේ මහ විශාල අත්තක් කඩාගෙන වැටුණා. හැබැයි කිසිවකුට නියපිටින් සීරුමක්වත් සිදු නොවී තමයි ඒ සිදුවීම සිදුවුණේ.

බෝ අත්ත කඩාගෙන වැටුණු තැනට වැඩම කරපු පොඩි හාමුදුරුවෝ (මුරුතවෙල සුමනජෝති හිමියන්) පවසා සිටියේ මේ තත්ත්වෙ විශාල බාධාවක පෙරනිමිත්තක් කියලා. උන්වහන්සේ දැනගෙන සිටියා මම බාරය ඔප්පු කරන ආකාරය නුසුදුසුයි කියලා. නමුත් මම බාරය ඔප්පු කරන්න ගත්තේ මගේ හිතේ තියෙන ශ්‍රද්ධාවට.

ඒත් පොඩි හාමුදුරුවෝ කිව්වා නිසි පරිදි මිසක් බාරය ඔප්පු කරන්න එපා කියලා. ගම්වැසියන්ගේ විරෝධතාවකුත් පැන නැඟුණා. මම බාරය ඔප්පු කිරීම නතර කළා. වඩා වැදගත් දේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා බාරය හොඳින් දැන සිටීම සහ බාරවීමෙන් පසුව අගමැති ධුරයට පත්වෙලා කීප විටක් මෙම පූජා භූමියට පැමිණියත් බාරය ඔප්පු කරන්න කටයුතු නොකිරීම.

ඒක එතුමාගේ චරිත ලක්‍ෂණයක්. එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව යහපාලන කාල සීමාවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර නොගැළපීම්, හැලහැප්පිලි සිදුවන විටදී පවා මම රනිල් වික්‍රමසිංහ මහත්තයාට බාරය ඔප්පු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා. නමුත් ඔහු එය කමකට ගත්තේ නැහැ. ඉදිරි දිනකදී නැවත අගමැතිකම රනිල් වික්‍රමසිංහ මහත්තයාට හිමි වුණොත් එතුමා මුලින්ම සිදු කළ යුත්තේ වැරැදි නිවැරැදි කර ගැනීමක් ලෙස මෙම බාරය ඔප්පු කිරීම කියලයි මම විශ්වාස කරන්නේ.

ඒ අරුතින් රනිල් වික්‍රමසිංහ මහතා සිදු කර ඇත්තේ තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා උපයෝගී කර ගන්නා විශ්වාසයන් තහවුරු වීමෙන් පසු එම විශ්වාසයන් අතහැර දැමීමක්. විශ්වාස සඳහා වූ සාරධර්මයන් නොසලකා හැරීමකි. ඒ පිළිබඳ උදාහරණ සපයන්න ඔහුගේ හිතෛශිවන්තයෝ කරළියට පැමිණීම කෙරෙන් පෙනී යන්නේ කෙනෙක්ට තවත් කෙනෙක්ව සිතන්නේ කෙසේද යන්න වටහා ගැනීමට අවශ්‍ය නම්, ඔහුගේ නිශ්ශබ්ද ප්‍රකාශ කීපයක් විශ්වාස කරන්නේද නැද්ද පිළිබඳ දැන සිටීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. මිනිසුන් දෙදෙනකුට එකිනෙකාට සම්පූර්ණයෙන් වෙනස් හේතූන් දෙකක් නිසා එකම විශ්වාසයක් දරා සිටිය හැකි වුවත් ඒ විශ්වාසයන් දෙක අතරේ වෙනසක් නොමැති නම් ඔවුනොවුන් ක්‍රියාත්මක විය යුත්තේ එක් ආකාරයකටය.

පියල් යසරත්න මහතා පෙන්වා දෙන්නේ එවැනි යමක් නම් එය පැහැදිලිය. පියල් යසරත්න සාමාන්‍ය ලාංකේය දේශපාලන අනුගාමිකයකු ලෙස ගතහොත් රනිල් වික්‍රමසිංහ මහතා දිගටම සිදුකර ඇත්තේ එම අනුගාමිකයන්ගේ සිතුම් පැතුම් බලය ඩැහැ ගැනීමට අතකොළුවක් ලෙස භාවිත කිරීම පමණි.

සාමාන්‍ය ලාංකිකයන්ගේ සිතුම් පැතුම් අර්ථයක් ඇති දෙයක් බවට පත්වන සන්දර්භය වන්නේ ඒ පිළිබඳ සවිඤාණික වීම වුවත් එය රනිල් වික්‍රමසිංහ මහතාට බලය පිළිබඳ උපාය උපක්‍රමයක් පමණක් බව මෙහිදී හොඳින් පෙනී යයි. ජීවිතය පුරාවට "විශ්වාස" කරන බලපෑම් සහගත වන මානසික මට්ටම් කිහිපයක් පැවැතියත් රනිල් වික්‍රමසිංහ මහතාට ඒවා නොතේරෙනවා පමණක් නොව අවශ්‍ය විටකදී පමණක් ඒවා තේරුම් ගැනීමට ඔහු පෙලඹෙනවා යන්න මෙම සිදුවීම් දෙස සුපරීක්‍ෂාකාරී වන විට ගම්‍ය වන තවත් කරුණකි.

නයිගල රජමහ විහාරය මෙතරම් සුවිශේෂී වන්නේ ඇයිද යන්න සොයා බලන විට පෙනී ගිය වැදගත් කරුණ වන්නේ එම විහාරස්ථානයට අනුබද්ධිත අනුහස් පිළිබඳ කතා ප්‍රවෘත්ති සමාජයේ ඉහළ පැළැන්තියේ දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් අතම රඳවා ගැනීම සඳහා: ඔවුනොවුන් වෙසෙසින් උත්සාහ ගෙන ඇති බවයි. සාමාන්‍ය මිනිසුන්ට මොකටද විශ්වාස! අපට පමණයි විශ්වාස වැදගත් යන මතයේ එම දේශපාලනඥයන් සහ ව්‍යාපාරිකයන් සිට ඇති බව පැහැදිලි කිරීමට තවත් උදාහරණ කීපයක් වුව පෙන්වා දිය හැකි වුවත් එය මේ මොහොතට අදාළ වන්නේ නොවේ.

මෙම විහරස්ථානය සැබැවින්ම දැඩි මධ්‍යගත පාලනයකට උදාහරණයකි. මෙහි වැඩ වසන භික්‍ෂුන් වහන්සේ සැබෑ සුපේෂල භික්‍ෂුන් වහන්සේ ලෙස හඳුන්වා දිය හැක්කේ උන්වහන්සේලා මෙම විහාරස්ථානය විශ්වාසයන් සහ සිතුම් පැතුම් ඉටුකරදෙන විහාරස්ථානයක් බවට පාරට්ටු කිරීමට කිසිවිටක උත්සුක නොවූ සහ නොවේ යැයි බලාපොරොත්තු තැබිය හැකි නිසාය. පුරාවිද්‍යාව, මානව විද්‍යාව, ජාන විද්‍යාව ඇසුරින් විහාර ඉතිහාසය අප ඉදිරියේ දිගහළ අතිපූජ්‍ය මුරුතවෙල සුමනජෝති හිමියන් මුල්තැනෙහි තබා විහාරස්ථානයේ ඉතිහාසය හඳුනා ගැනීම වටී.

"දෙවැනි පෑතිස් රජුගේ සිට මහානාග රජු දවස දක්වා නයිගල විහාරයේ ඉතිහාසය දිව යනවා. මහනාග රජු තමයි රෝහණ රාජ්‍යයේ ආරම්භකයා. මහානාග රජු දක්වා ඉතිහාසය තුළ රෝහණ රාජ්‍ය පැවැතිලා තියෙන්නේ ප්‍රත්‍යන්ත ජනපද විදියට. ඒ ප්‍රත්‍යන්ත ජනපද පාලනය කරලා තියෙන්නේ ප්‍රාදේශීය පාලකයෝ. අනුරාධපුර මධ්‍ය රාජ්‍යයේ සිට පැමිණ රෝහණ රාජ්‍ය ස්ථාවර රාජ්‍යයක් බවට පත්කළේ මහනාග රජතුමා.

වළවේ ගඟ මිටියාවතේ තමයි මහානාග රජුගේ රාජධානිය පිහිටා තිබුණේ. එය හඳුන්වා ඇත්තේ මහනාවුළු පුරය ලෙසයි. මහානාග රජු දවස ගොඩනඟපු විහාරයක් ලෙසටයි මේ විහාරය හඳුන්වන්නේ. ජනප්‍රවාදය අනුව එම ස්ථානයේ විශාල සුදු නාගයෙක් වාසය කරලා තියෙනවා. සුදු නාගයා මිනිසුන් ඉදිරියේ පෙනීසිට අතුරුදන් වන්නේ බෝධීන් වහන්සේට නුදුරු ගල්තලාව ආසන්නයේ ඇති පොකුණක් අසලින්. මෙම තත්ත්වය මුල්කරගෙන තමයි මෙම ස්ථානය පන්සලක් එහෙමත් නැති නම් ආරාමයක් ගොඩනඟන්න හේතුවෙලා තිබෙන්නේ. පුරාවිද්‍යාත්මක සාක්‍ෂි සමඟ ඉතිහාසය ගළපා ගත්තොත් මේ පුදබිමේ විසිර තිබෙන ගල්කණු අනුරාධපුර යුගයේ මුල් යුගයේ ලක්‍ෂණවලින් අනූන ඒවා. පබ්බත විහාර ආකෘතියට අනුව ගොඩනැඟුණු විහාරස්ථානයක් තමයි මේ විහාරස්ථානය. විශේෂ කාරණය තමයි මෙම විහාරස්ථානයේ වැඩ සිටි රහතන් වහන්සේගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට සේවකයන් රැසක් රජ අණ අනුව සේවයේ නිරතව සිටීම. ඔවුන් යුරෝපාකරයේ වහලුන් වැනි ජන කොටසකට සමාන කළ හැකිය.

අලි වංශ සූත්‍ර දේශනාව කියලා ඉතා වටිනා පින්කමක් රහතන් වහන්සේලා විසින් සිදු කරනවා. එම දේශනාව අවසන් වශයෙන් සිදුකර ඇත්තේ මෙම විහාරස්ථානයේ. අනුරාධපුයේ සහ සිතුල්පව්වේ මෙම සූත්‍ර දේශනාව රහතන් වහන්සේ විසින් මහ විහාරයකදී පමණක් සිදු කරන්නක්. ඒ දේශනය අහන්න අහල ගම් 500ක මිනිස්සු පැමිණෙනවා කියලයි කියන්නේ. අනුරාධපුරයේ අලිවංශ සූත්‍ර දේශනාව සිදු කරන විටදී රෝහණ රාජ්‍යයේ මිනිස්සු එහි ගොස් තිබෙනවා. රෝහණ රාජ්‍යයේ එම දේශනාවක් කරන විටදී අනුරාධපුර මිනිසුන් මෙහි පැමිණ තිබෙනවා. ඒ සඳහා ඉදිකරපු දේශනාගාරයක නටබුන් අද පවා දැකගත හැකියි. ඉතිහාසය තුළදී කාල පබ්බත විහාරය කියලයි මෙම විහාරස්ථානය හඳුන්වා ඇත්තේ. පසුකාලීනව තමයි නයිගල විහාරය ලෙස හඳුන්වා දෙන්න පටන්ගෙන තිබෙන්නේ.

පසුකාලීනව විහාරස්ථානය නැවත සොයාගෙන ගොඩනඟද්දී නාග රූපයක් ගලේ කොටලා තිබෙන නිසා නයිගල කියල හඳුන්වන්න ඇති. ඉතිහාසයේ ඉඳලා වර්තමානය දක්වා මෙම විහාරස්ථානය නාගයන් සමඟ සම්බන්ධයි. විශාල සුදු නාගයෙක් පිළිබඳ ඉතිහාස කතාවේ සිට අද දක්වා නාගයන්ගේ ආරක්‍ෂාව මෙම විහාරස්ථානයට ලැබෙනවා. ඝර්ම කලාපීය පරිසර පද්ධතියක එහෙමට විශාල නාගයන් සිටිනවා කියන්නේ ආශ්චර්යයක්. මේ පුද බිමට පැමිණි ලාංකේය ජීව විද්‍යාඥයෙක් නාගයන් පිළිබඳ ඔහුගේ අදහස් පවසා සිටියා. සැබෑවටම විශ්වාස කරන්න වෙනවා විශාල ප්‍රමාණයේ නාගයන් සිටින බව.

ඔහු එලෙසයි පැවැසුවේ. විශේෂයෙන් නාග හැව කීපයක් අප නිරීක්‍ෂණය කළා. ඒවා විශාල ශරීර තිබෙන නාගයන්ට අයත් ඒවා. අඩි 6ක් 7ක් විශාල ශරීරයක් තිබෙන නාගයෙක් තවමත් විහාරස්ථානයේ ගැවසෙනවා. ඒ නාගයන්ගෙන් සාමාන්‍ය මිනිසුන්ට කරදරයක් නැහැ. තිබෙන්නේ ආරක්‍ෂාවක් පමණයි. ඒ නාගයා සුදුයි කියා මා හැඳින්වූවේ සතා ඇලි තත්ත්වයකට මුහුණ නුදුන් සතකු නොවන බවයි. සතා බොහොම ලස්සන විශාල ශරීරයක් තිබෙන සතෙක්. මෙම විහාරස්ථානයේ බෝධීන් වහන්සේ රෝපණය කළ ආකාරය පිළිබඳ වැදගත් මතය තමයි එය රහතන් වහන්සේ නමක් විසින් සිදු කළා කියන එක. පළමුව රෝපණය කළ බෝධීන් වහන්සේ කැලය ගිනිගත් අවස්ථාවක විනාශ වෙලා තියෙනවා. නැවත වරක් පැනනැගුණු අංකූර දෙකෙන් තමයි බෝධීන් වහන්සේ හටගෙන තිබෙන්නේ. මේ බෝධීන් වහන්සේ හැදිලා තියෙන්නේ මහා විශාල ගල්තලාවක. එය පිහිටීම ආශ්චර්යයක්.

පසුගිය දසකය පුරාවට දක්නට ලැබුණේ ජනප්‍රිය බුදු දහම තුළ පින් ලබාගැනීම, අදහස් මුදුන්පත් කර ගැනීම සඳහා පැවති අතිශය වියදම් සහගත යාතුකර්ම. ඒ අතින් ගත් කල රනිල් වික්‍රමසිංහගේ සහචරයන් නයිගල රජමහ විහාරයේදී සිදු කර ඇත්තේ එකී ප්‍රවණතාව පහළට ඇද දමන ආකාරයේ ක්‍රියාන්විතයකි. භාගදා එකී බාර හාර වීම රනිල් වික්‍රමසිංහ මහතාගේ සිත් නොගත්තේ ඒ නිසාද විය හැකියි.

හිටපු අගමැතිවරයා ස්වකීය පැවැත්ම සඳහා ආත්මය ගලවා ගැනීමේ ක්‍රියාවලියේ දිගින් දිගටම නිරතව සිටියේ තම දෙබිඩි ජීවිතයේදී සිංහල බෞද්ධ හැඩරුව සහිතව දෙඅත මත සුදු මල් වට්ටියක් රඳවා ගෙන. දෙබිඩ්ඩ තුළ ඇති සැබෑ ස්වරූපයේදී ඔහු සැම විටකදීම තමා ක්‍රිස්තියානි මූලධර්මවාදී ඉවන්ජෙලිකල් කල්ලි කණ්ඩායමක සාමාජිකයෙක් බව පෙන්වා සිටියා නොවේද?

- මවුබිම


gossip lanka